යුපුන් අබේකෝන්. කවුද යුපුන්? මේ ලියන මොහොත වෙනකොට යුපුන් ගැන මුළු රටම කතා වෙනවා. ඒත් විශ්වාස කරන විදියට යුපුන් ගැන නොදන්න අය බොහෝ දෙනෙක් ඉන්නවා. යුපුන් කියන්නේ ඉතිහාසෙ ප්‍රථම වතාවට මීටර් 100 තත්පර 10ට අඩුවෙන් දුවපු එකම ආසියාතිකයා. ඉන්දියානුවෙක්, පාකිස්තානුවෙක් හෝ වෙනත් දකුණු ආසියාතික කිසිවකුට මේ දස්කම කරන්න ලැබිලා නෑ. ඒ නිසා තමයි යුපුන් ගැන අපි කතා කරන්නේ. යුපුන් ගැන අපි ලියන්නේ. යුපුන් තත්පර 10ට අඩුවෙන් මීටර් 100 ඉසව්ව අවසන් කරපු ප්‍රථම දකුණු ආසියාතිකයා වගේම තත්පර 10ට අඩුවෙන් මීටර් 100 ඉසව්ව අවසන් කරපු 10 වැනි ආසියාතිකයා. ඔහුගේ තරග කාලය අනුව ගත්තම යුපුන්ට ඉදිරියෙන් ඉන්නේ ආසියාතිකයො තිදෙනෙක් විතරයි. ඒ, චීනයේ සූ බින්ට්න් තත්පර (9.83), කටාරයේ ෆෙමි ඔගොනෙඩේ තත්පර (9.91) සහ ජපානයේ රයොටා නයොකටා තත්පර (9.95) පමණයි.
යුපුන්ගෙ තරග නිමා කිරීමේ කාලය තත්පර 9.96යි. යුපුන් මේ දස්කම දක්වන්නේ ස්විට්සර්ලන්තයේ පැවැති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී. මේ තරගාවලියේ මීටර් 100 ඉසව්වෙ මූලික ඉසව්වේ තරගය තත්පර 10.11කින් නිමා කරන්න යුපුන් සමත් වෙනවා. ඒ විදියට පවැති තරගාවලියේ අවසන් තරගයේදී තමයි යුපුන් මේ දස්කම දක්වන්න සමත් වෙලා තියෙන්නේ. පහුගිය කාලය තුළ යුපුන් ගැන ලෝක මලල ක්‍රීඩා පිටියේ විශේෂයෙන් සඳහන් වුණා. ඔහුගෙ නම නිතර කියවුණා. ඒ, මීටර් 100 ඉසව්ව සම්බන්ධව ඔහු දිගින් දිගටම වාර්තා අලුත් කිරීමත් එක්ක. මැයි මාසෙ 25 වැනිදා යුපුන් ජර්මනියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.06කින් නිමා කරන්න සමත් වුණා. ඊට කලින් ආයෙත් ඉතාලියේ සැවෝනා නුවර පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර 10.15කින් නිමා කරමින් තවත් වතාවක් වාර්තාව අලුත් කළා. නැවත ජර්මනියේදී ඔහු මීටර් 100 ඉසව්ව තත්පර 10.09කින් නිමා කළා. 2020 සැප්තැම්බර් මාසෙ 08 වැනිදා නැවතත් ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 100 ඉසව්ව තත්පර 10.16කින් නිමා කරන්න යුපුන් සමත් වෙලා තිබුණා.
මේ විදියට යුපුන් දිගින් දිගටම මීටර් 100 ඉසව්වේ තරග වාර්තාව අලුත් කරමින්, තමන්ගෙ පෞද්ගලික දක්ෂතාව අලුත් කරමින් ඉදිරියට යන අතරතුරේ මීටර් 200 දකුණු ආසියානු වාර්තාව බිඳ දැමීමටත් සමත් වෙලා තිබුණා. ඒ, තත්පර 20.37කින් එම ඉසව්ව නිමා කරමින්. එම ඉසව්වේ පැරැණි ශ්‍රී ලංකා වාර්තාව විදියට තිබුණේ විනෝද් සංජයගෙ තත්පර 20.68ක දක්ෂතාව. ඒ වගේම දකුණු ආසියානු වාර්තා තිබුණේ ඉන්දියානුවකු සතුව. ඒ, අම්බ්ලන් බොගොහේන් සතුව. ඔහු තත්පර 20.52කට මේ ඉසව්ව අවසන් කරලා තිබුණා.
පන්නල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරපු යුපුන් උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත්තේ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විද්‍යාලය. ජෝෂප් වාස් විද්‍යාලය සාමාන්‍යයෙන් මේ වගේ ඉහළ දක්ෂතා සහිත ක්‍රීඩකයන්ට ප්‍රසිද්ධ පාසලක්. ජෝෂප් වාස් බිමෙන් දක්ෂතා සහිත ක්‍රීඩකයො විශාල ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. යුපුන් තමයි මේ නම් ගොන්න අතර අලුතින්ම ලියැවෙච්ච නම. යුපුන් මීට කලිනුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා පිහිටුවමින් සහ තරග දක්ෂතා දක්වමින් ඉදිරියෙන් හිටපු ක්‍රීඩකයෙක්. ඔහු මීටර් 100 × 4 ඉසව්වෙ දකුණු ආසියානු වාර්තාව පිහිටුවීමට සමත් වෙච්ච කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ, තත්පර 39.14කට මීටර් 100 × 4 ඉසව්ව නිමා කරපු චානුක සංදීප, හිමාෂ් හේෂාන් සහ විනෝද් සංජයත් එක්ක එකතු වෙලා. දැන් යුපුන් වීරයෙක්. යුපුන් ලෝක මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතයි. ඒ, මේ මාසෙ 15 වැනිදා සිට 24 වැනිදා දක්වා. ඒ වගේම 28 වැනිදා ඉඳලා අගෝස්තු මාසෙ 08 වැනිදා දක්වා එංගලන්තයෙදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලටත් යුපුන් සහභාගි වෙන්න නියමිතයි. යුපුන් කියලා කියන්නේ ඔලිම්පික් ක්‍රීඩාංගණයක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 100 ඉසව්ව වෙනුවෙන් තරගවැදුණු ක්‍රීඩකයෙක්. යුපුන්ට කලින් මේ දස්කම දක්වලා තිබුණේ 1996 අවුරුද්දේ චින්තක ද සොයිසා. චින්තකගෙන් පස්සේ මීටර් 100 ඉසව්වක් නියෝජනය කරපු ක්‍රීඩකයා වුණේ යුපුන්. යුපුන්ට එදා ලොකු දස්කමක් දක්වන්න බැරි වුණත් අපිට යුපුන් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න පුළුවන්. ඒත් යුපුන් මේ තරග ඉසව්වෙන් නව වාර්තාවක් තියලා, මේ නව වාර්තාව සටහන් වෙලා තිබුණු විද්‍යුත් පුවරුව පෙන්වමින් මෙහෙම කිව්වා.
“මම ඒක කළා. මම අවුරුදු ගානක් තිස්සේ මහන්සි වුණා. ඒ මහන්සියෙ, කැපකිරීමේ ප්‍රතිඵල මට හම්බවුණා. මම තමයි තත්පර 10ට අඩු ක්ලබ් එකේ අලුත්ම සාමාජිකයා. බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවෙ පළමුවැනියා මම. ආසියාවෙ ඉතිහාසෙ 10 වැනියා. මා එක්ක උන්නු අයට මම මේක කැපකරනවා. මාව විශ්වාස කරපු අයට මම කිසියම් දෙයක් ආපසු දුන්නා කියලා මම හිතනවා…”
එහෙම කියපු යුපුන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට, ‘මට කිසි කෙනෙක් උදව් කළේ නෑ’ කියලා කෙළින්ම ඇඟිල්ල දික් කරනවා. මලල ක්‍රීඩා සංගමය දැන් මොනවා කිව්වත් තත්පර 10.96කට තරගය නිමා කරපු ආසියාවෙ වේගවත්ම ක්‍රීඩකයා හරි නම් කියන්න තිබුණේ, ‘මලල ක්‍රීඩා සංගමයට ස්තුතියි’ කියලා. ඒත් එහෙම කියවා ගන්නට තරම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් අසමත් වුණා. ලංකාවෙ සියලු අංශ සියලු කණ්ඩායම් සියලු සංගම් දූෂිත වෙනකොට මලල ක්‍රීඩා සංගමයෙන් විතරක් නිර්දෝෂී සුමට සුකුමල බවක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් යුපුන්ලා ලංකාවෙන් බිහි නොවෙන්නෙ, යුපුන්ලා ලංකාව වෙනුවෙන් වැඩි කල් ක්‍රීඩා නොකරන්නේ ඇයි කියන එකට ප්‍රහේළිකා පුරවන්න අවශ්‍ය නෑ.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායමේ නායකයා විදියට සහභාගි වෙච්ච මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ වගේ අය අද කෝ කියලා අපි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙන් අහනවා. දන්නවා නම් ඉන්න තැනක් කියන්න. නමුත් අපි දන්නවා ඔහු ඉන්න තැන. ඇයි ඔහු ලංකාවෙන් ගියේ? ඔහු ගියේ ක්‍රීඩාව ගැන සම්පූර්ණයෙන්ම කලකිරිලා. යුපුන්ලත් මේ විදියෙ දස්කම් දක්වමින් පෞද්ගලිකව මේ හැකියාවන් අතරට එන අතරතුරේ ලංකාවෙ මලල ක්‍රීඩා සංගමයට, ලංකාවෙ බලධාරීන්ට, ක්‍රීඩා ඇමැතිතුමාට විශාල වගකීමක් තියෙනවා. ඒ වගේම යුතුකමක් තියෙනවා. මේ ක්‍රීඩකයො පෝෂණය කරලා ඉහළට ඔසවා තබන්න. ක්‍රිකට්වලට දෙන ආදරයම, ක්‍රිකට්වලට පාන සෙනෙහසම, ක්‍රිකට්වලට දෙන උණුසුමම මේ ක්‍රීඩකයන්ටත් දුන්නොත් ඔවුන් රට වෙනුවෙන් දෙයක් කරයි. ලෝකෙට අපේ නම අරගෙන යන්න, පදක්කම් අහේනියකින් පෙළෙන අපේ මිනිසුන්ට පදක්කම් ටිකක් අරගෙන එන්න යුපුන්ලාට පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒකයි අපි මේ වෙලාවෙ යුපුන් වෙනුවෙන් මේ ඉඩ වෙනුවෙන් වෙන් කළේ. යුපුන් කමෝන්… ඉස්සරහටම යන්න. රට වෙනුවෙන් දුවන්න. අපිට ආඩම්බර හිතෙන දේවල් කරන්න. අපි කොහේ හිටියත් යුපුන් වෙනුවෙන් අත්පුඩි ගහනවා. ජය වේවා කොල්ලා… ජය වේවා….

ජීවන පහන් තිළිණ










