‘මෙන්න ගේම්. ‘අස්වැන්න කැපෙනවා. නැවෙන් හාල් ගෙනත් බානවා. වී මිල පහළට ගෙනත් සහල් මාෆියාව ගොවියාගේ වී ටික කුණු කොල්ලෙට කොල්ල කනවා. ඒවා ගබඩා කරල වැඩි මිලට පාරිභෝගිකයාට හාල් විකුණනවා. මේ දුෂ්ට චක්‍රය කඩන්න පුලුවන් අපි හඳුන්වා දීපු “ශක්ති” සහල් වැඩසටහනෙන් පමණයි. අපේ රජයකදී හාල් මාෆියාවට එරෙහිව නැවතත් “ශක්ති” සහල් වැඩසටහන පටන් ගන්නවා.’ යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.Sri Lanka Latest News
ඒ මහතා මෙසේද කීය.
‘‘රටේ ප්‍රදේශ රැසක ගොයම් කැපීම ආරම්භ කරලා තිබෙනවා. ඒ අතරතුරු පොන්නි සම්බා නැවෙන් බාන්නත් පටන් ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේදී වෙළද ඇමැතිවරයා කියලා සහල් රටින් ගේනවා කියලා. කෘෂිකර්ම ඇමැති කියනවා රටින් සහල් ගේන්නේ නෑ කියලා. අවසානයේදී වෙළඳ ඇමැතිවරයා ජයග්‍රහනය කරලා තිබෙනවා. ඒ අනුව පොන්නි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000 ක් ගොඩබාලා තිබෙනවා.
වී අලෙවි මණ්ඩලය සතොසට අලෙවි කළ සහල්වලින් රුපියල් බිලියන 20 වී අලෙවි මණ්ඩලයට ලැබිලා නැ කියලා කෘෂිකර්ම ඇමැති කියනවා. පසුගිය කන්න වල දිස්ත්‍රික් ලේකම්වරු හරහා සිදුකළ වි මිලදී ගැනීම්ද අසාර්ථක බව කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා. මුදල් අමාත්‍යාංශයෙන් ගොවි භාර අරමුදලට බිලියන 4 ක් මුදලක් ලබාදීමට තිබෙන බවත් ඒ මුදල ලැබි නැති බවත් ඒ මුදල ලැබුණොත්
වී අලෙවි මණ්ඩලය හරහා වි මිලදි ගන්නවා කියලා කෘෂිකර්ම ඇමැති කියනවා.
මහ කන්නයේ වී අස්වැන්න අති විශාලයි. මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 20 ක් මහ කන්නයේ ලැබෙනවා. මුලු අවුරුද්දටම රටට අවශ්‍ය වෙන්නේ සහල් මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 24 යි.
ආණ්ඩුව දන්නවා මිනිස්සුන්ට සහල් ගන්නවත් සල්ලි නෑ කියලා. ඒ නිසා මේ අවුරුද්දේ රටේ ජනතාව සහල් මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 24 ක් පරිභෝජනය කරන එකක් නැ. රටට අවශ්‍ය වන සහල් මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 24 මෙවර ලක්ෂ 20 ට බහිනවා. මහකන්නයෙන් විතරක් රටට අවුරුද්දටම අවශ්‍ය සහල් මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 20 ලැබිලා තිබෙනවා.
ආණ්ඩුව වී මිලදී ගත්තේ නැත්නම් මහ පරිමාන වී මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි වී මිල බස්සලා ඔවුන්ගේ ගඩඩාවල වී ගබඩා කරලා අවශ්‍ය වෙලාවට වී මෝල් හිමියන් සහල් මිල ඉහළ දමනවා. වී මිල බහිනවා හාල් මිල බහින්නේ නෑ.
මේ සඳහා එකම විසඳුම ශක්ති සහල් ව්‍යාපාරය. ශක්ති සහල් ව්‍යාපාරය හරහා සිදුකළේ කුඩා හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන්ට අවශ්‍ය ප්‍රාග්ධනය ලබාදුන්නා. ශක්ති සහල් ව්‍යාපාරය හරහා කුඩා හාල් මෝල් 300 ක් විතර විවෘත වුණා. ඒ සඳහා ගොවීන් 10,000 ක් පමණ එකතු වුණා. නමුත් ගෝඨාභය ඡන්දය දිනපු ගමන් ඒ වැඩපිළිවෙල නවත්වා දැම්මා.
ශක්ති සහල් ව්‍යාපාරය නැවත ආරම්භ කර කුඩා හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් ඒ සඳහා සම්බන්ධ කරගෙන ඒ සඳහා ගොවින් සම්බන්ධ කරගෙන සහල් වගා කරන සියලුම දිස්ත්‍රික්ක එකමුතුවක් විදිහට ශක්ති සහල් සමුපාකාර ක්‍රමය ආරම්භ කරනවා. ඒ හරහා ගොවියන්ට සහ පරිභෝගිකයන්ට සාධාරණ වී මිලක් සහ සහල් මිලක් ලබාදෙන්න කටයුතු කරනවා.‘‘










