රනිල් වික්‍රමසිංහගේ නිවුස් ප්ලාන්ට් කල්ලිය මගින් අනෙකුත් පක්ෂවල අර්බුද ඇතිකිරීම සඳහා අතේ පැලවෙන බොරු සිය පවුලට අයත් මාධ්‍ය ජාලය ඔස්සේත්, එජාපයට හිතවත් සමාජ මාධ්‍ය ඔස්සේත් පළකරන ආකාරය ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප රටට අනාවරණ කළේ වරක් දෙවරක් නොවේ. මෙසේ රනිල්ට වාසිසහගත ආකාරයට අසත්‍ය පුවත් පළකළ ඇතැම් අවස්ථාවල කිසිදු හිරිකිතයකින් හෝ ලැජ්ජා බයකින් තොරව ආණ්ඩුවේ ප්‍රධානීන් පවා ඊට එක්කර ගත් ආකාරයක් පසුගිය කාලයේදී දැකගන්නට ලැබිණි. වරක් රනිල් අත්අඩංගුවට පත්ව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබද්දී රනිල්ගේ පැත්තෙන් මාධ්‍යවල පැළකළ පුවතක් වූයේ අගමැති හරිනි අමරසූරිය ජාතික රෝහලට පැමිණ රනිල්ගේ සුවදුක් විමසූ බවකි. මේ අසත්‍ය පුවත එකල කෙතරම් ආන්දෝලනයට ලක්වූවාද කියනවා නම් අවසානයේදී ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වූ රුක්ෂාන් බෙල්ලනට සිය තනතුර අහිමි වීමට තරම් එය දුරදිග ගියේය.Sri Lanka Latest News
මේ ආකාරයෙන්ම පසුගිය සතියේදීද තවත් අතිවිශේෂ පුවතක් යැයි කියමින් හිටි හැටියේම එජාපයට හිතවත් සමාජ මාධ්‍යවල පළවූ පුවතක් වූයේ ජනාධිපතිවරයා හා රනිල් අතර හදිසි හමුවක් සිදුව ඇතැයි කියාය. මෙය කෙතරම් තාත්වික ආකාරයට සමාජ මාධ්‍යවල පළකිරීමට රනිල්ගේ පැත්තෙන් කටයුතු කළාද කියනවා නම් මේ සඳහා උපයෝගී කොට ගෙන තිබුණේ රනිල්ගේ ආරක්ෂක අංශයේ සිටින එක්තරා නිලධාරියෙකි. මෙම නිලධාරියා පසුගිය සතියේ එජාපයට හිතවත් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවන් කිහිප දෙනකුටම කතාකොට හොර රහසේ ඔත්තුවක් දෙන ආකාරයට කියා තිබුණේ කීප දෙනකු සමග රනිල් ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කොට ඇතැයි කියාය.
ඒ අනුව මෙය අතිවිශේෂ පුවතක් ලෙස ඇතැමුන් සිය සමාජ මාධ්‍ය ජාලවල වාර්තා කිරීමට පියවර ගත්තද, බොහෝ දෙනකු මෙය රනිල්ගේ පැත්තෙන් එළියට දැමූ අතේ රෝලක් බව දැන එය තමන්ගේ මාධ්‍යවල පළ නොකිරීමට පියවර ගත් ආකාරයක්ද දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙම පුවත ඇතැම් වෙබ් අඩවිවල පළවීමත් සමග බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විමසමින් එහි ඇත්ත නැත්ත සොයා බලන ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම ඒ වනවිට මඩකළපුවේ සිටි ජනාධිපතිවරයාටද මෙවැනි පුවතක් සමාජ මාධ්‍යවල පළවී ඇති බවට වූ තොරතුර දැනගන්නට ලැබිණි. එම තොරතුර වාර්තා වීමත් සමග ජනාධිපතිවරයා අනෙක් පැත්තට, ‘එහෙනම් රනිල් ඊයේ රෑ මඩකළපුවට එන්න ඇති. මම දැන් දවස් දෙකක් තිස්සේ ඉන්නේ මඩකළපුවේ. මට එයාව හම්බවෙන්න පිස්සුවක් නෑ. අනික එයාගෙන් මට මොන උපදෙස් ගන්නද?’ යැයි කියමින් එම පුවත අවඥාසහගත ලෙස බැහැර කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපතිවරයා ඉලක්ක කර රනිල්ගේ පැත්තෙන් පළකළ එම අතේ රෝලටද ඒ හැටි දුරක් දුවන්නට හැකියාව ලැබුණේ නැත.










