එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංගර් මහත්මිය ඇතුළු විශේෂ පිරිසක් අද (05) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ද්වීපාර්ශවීය කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. ඒ විපක්ෂ නායක කාර්‍යාලයේදී ය.
එහිදී විශේෂ අවධානයක් යොමු කළේ කොරෝනා ව්‍යසනය සහ ඒ හරහා මතුව ඇති අභියෝග පිළිබඳව ය. විශේෂයෙන්ම දැඩි පීඩාවකට පත්ව සිටින ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම උදෙසා අවශ්‍ය සහය විපක්ෂ නායකතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරියගෙන් ඉල්ලා සිටියේය. ඒ පිළිබඳව සිය විශේෂ අවධානය යොමු කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මේ සම්බන්ධයෙන් උපරිම මැදිහත්වීම සිදුකරන බවටද සහතික විය.
විවිධාකාර දේශපාලන මතිමතාන්තර සහ පරස්පරතා පැවතියද කොරෝනා ව්‍යසනය මැඩලීමට රජයට සහය ලබාදෙන බවත් කිසිවිටෙක සමගි ජන බලවේගය කොරෝනා ව්‍යසනය තුළින් දේශපාලනය නොකරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.










