පහුගිය සති අන්තය නිමා වෙන්නේ වැඩිහිටියන්ගෙ කතා දහස් ගානක් එක්ක. වැඩිහිටියන්ගෙ තෙල් පෝලිම්, කෑම පිළිබඳ ප්‍රශ්න, පොහොර ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, වැඩිහිටියො ආණ්ඩුවෙන් එහෙට මෙහෙට මාරුවෙන කතන්දර මේ සියල්ලම එළියට ආවා. හැබැයි අපි වැඩිහිටියො ගැන හොයාගෙන හොයාගෙන යනකොට කෝ අපේ දරුවො? අපට දරුවො අමතක වෙලා. අතපසු වෙච්ච වගකීම් එක්ක අපට ආයෙත් දරුවො ගැන හිතන්න කාලෙ ඇවිල්ලා. ඒ ගැන කියන්නේ ඔබ ඔබේ දරුවට හුඟක් ආදරේ නිසා. මේ පුංචි රටේ අම්මලා තාත්තලා දරුවො හදන්න කොච්චර නම් මහන්සි වෙනවද? දාහක් දුක් ගිනි ඉවසනවා. කුසේ දස මාසයක් තියාගෙන කලබල කරදර අස්සේ බේත්හේත්වලට තුට්ටු දෙක වියදම් කරන්න අමාරු මවුපියො පයින් ගාට ගාට ඉස්පිරිතාවලට ගිහිල්ලා බස්වල පොරකකා හිරවෙලා තෙරපිලා සායනවලට ගිහිල්ලා කොහොම හරි උත්සාහ කරන්නෙ දරු පැටියා නිරෝගීව මේ ලෝකෙට බිහි කරන්න. එතැනින් පස්සේ පුංචි පැටියාගෙ ඇඟ චුට්ටක් රත් වෙච්ච ගමන් ඉස්පිරිතාලෙට දුවගෙන යන්නේ බේත්හේත් ගන්න සල්ලි තියෙන හින්ද වත්, හැමදාම බොඩි චෙකප් කරගෙන ජීවිතේ පරිස්සම් කරගන්න දන්න හින්දවත් නෙවෙයි. පුංචි පැටික්කගෙ වේදනාව දුක උහුලගෙන ඉන්න බැරි හින්දා.
එහෙම ලෝකෙක එහෙම සමාජෙක ජීවත් වෙන අස්සේ නෝනාවරුනි මහත්වරුනි අපට දරුවො මඟහැරිලා කියලා ආයෙත් හිතෙනවා. ඒක කියන්න හේතුව යාපනේ අච්චුවේලි ප්‍රදේශයේ පුංචි කෙල්ලෙක් එනවා පොලිසියට. යාපනේ කිව්වම පොලිසියට දුරයි. අච්චුවේලි කිව්වම පොලිසිය ඊටත් වඩා දුරයි. මේවා අතිශය දුෂ්කර පැති. මිනිස්සුන්ට සාමාන්‍ය සිංහල ටික කතා කරගන්න කොහොමටවත්ම මේ ගම්වල බෑ. මිනිස්සුන්ට දෙයක් තේරෙන්නේ නෑ. ගොවිතැනක් බතක් කරගෙන ඉන්න අහිංසක මිනිස්සු මේ ගම්වල ඉන්නේ. මේ පුංචි දරුවා පොලිසියට දුවගෙන එන්නේ පොඩි උන් පොලිසියට තියෙන බයත් අමතක කරලා දාලා. ආරක්ෂාව හොයාගෙන පොලිසියට දුවගෙන එන තැනට පුංචි කෙල්ලෙක් අතරමං වෙනවා. ඒ අතරමං වෙලා තියෙන්නේ තමන්ගෙම ගෙදර. අම්මගෙ තාත්තගෙ අස්සේ. ඇවිල්ලා කියන්නේ මොකක්ද? ‘මට අම්මගෙන් තාත්තගෙන් වෙන කරදර ඉවසන්න බෑ මාමෙ…’ කියලා පුංචි එකා පොලිසියට ඇවිල්ලා කියනවා. පොලිසියෙ රාළහාමිලගෙ ඇස් උඩ යනවා. මාස ගානකින් ගෙවල් දොරවල් බලන්න යන්න විවේකයක් ලැබුණු නැති නිලධාරීන් කී දෙනෙක් අච්චුවේලි පොලිසියෙ ඉන්නවද කියන්න මම හරියටම දන්නෙ නෑ. හැබැයි ඉන්තේරුවෙන්ම කියන්න පුළුවන් එහෙම රාළහාමිලා අඩුම තරමින් හය හත්දෙනෙක් වත් මේ පොලිසියෙ ඉන්නව ඇති. ඒ මිනිස්සුන්ගෙ ඇස්වලට කඳුළු උණපු නැති එක පුදුමයි. ගෙදර යන්න බැරිවෙච්ච අම්මල නම් නැතුව ඇති. ඒත් පොලිස් කාන්තාවන්ගෙ පපුවට කිරි එරුණෙ නැති එක පුදුමයි. පොලිසියෙ ඉන්නෙත් මිනිස්සු. ඔය කාකි පාට නිල ඇඳුම අස්සේ හුඟක් වෙලාවට මනුස්සකම තියෙනවා. අපි හිතාගෙන ඉන්නෙ එහෙම නෑ කියලා. ඒත් එහෙම නෑ. අපිටයි වැරැදිලා තියෙන්නේ.
වයස අවුරුදු 12ක පුංචි කෙල්ලෙක් පොලිසියට දුවගෙන ඇවිල්ලා කියනකොට තාත්තා බීලා කරදර කරනවා, අම්මට ගහනවා, මට ගෙදර යන්න බෑ කියලා. ඉස්කෝලෙ නිල ඇඳුම පිටින් හිටපු පුංචි කෙල්ලව පරිස්සම් කරලා ගිහිල්ලා කෝපායි ළමා නිවාසෙට භාරදෙන්නේ පොලිසිය. ඒක හරි විසඳුමනෙ. නිවැරැදි විසඳුමද, සාර්ථක විසඳුමද කියන්න මම දන්නෙ නෑ. මොකද හේතුව ලංකාවෙ ළමා නිවාස සංකල්පයම එතරම් සාර්ථකව නිශ්චිතව නිවැරැදිව ක්‍රියාත්මක වෙන දෙයක් නෙවෙයි. ළමා නිවාස ඇතුළෙත් ළමයින්ට සිද්ධ වෙන්නේ තව තවත් අසරණ වෙන්න. වගකීමෙන් සහ සාක්ෂි සහිතව දැනුම් තේරුම් ඇතුව මේ කතාව ලියන්නේ. කවුරු හරි කෙනෙක් මට කිව්වොත් ඒවා ඔප්පු කරන්න කියලා මම ඔප්පු කරන්නෙ නෑ. හැබැයි මේක මෙහෙම වෙනවා කියන එක මගේ හෘද සාක්ෂිය වගේම ළමා නිවාස සම්බන්ධව දන්න ගොඩක් අයගෙ හෘද සාක්ෂිය දන්නවා. ඒකට කවුරු හරිද, කවුරු වැරැදිද කියන එක අපි දන්නෙ නෑ.
ඒ කතන්දරේ එහෙම වෙනකොට මොනරාගල සී.ටී.බී. බස් එකක පිටි පස්සේ බඩු දාන්න තියෙන කොටසේ ඉස්කෝලෙ ළමයි හතර දෙනෙක් යන වීඩියෝවක් සමාජ ජාලවලට එනවා. මේ වීඩියෝව ඇත්තද, බොරුද, මේක විනෝදෙට කරපු දෙයක්ද කියන්න අපි දන්නෙ නෑ. මේකෙ කාරණා දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි මේ දරුවො මේ විදියට යන්නෙ විනෝදෙට නම්, කොල්ලො කෙල්ලො තරුණ ළමයි මිනෝදෙට කරන ගොඩක් වැඩවලින් ඒ ළමයින්ට හානි වෙනවා කියන එක කියලා දෙන්න ඕනෙ වැඩිහිටියො. ළමයි විනෝදෙට වැවක ඔයක නාන්න යනකොට යන්න එපා පුතේ කියලා එක පාරක් ගහලා හරි ගෙදර තියාගන්නෙ උන් ගිලුණම දුක හින්දා. හැබැයි මේ දරුවන්ට කවුරුවත් ඒක කියල දීලා නෑ. පිටි පස්සෙන් ගිය බයිසිකලේ හාදයා කියනවා අපට ඇහෙනවා ‘යකෝ උඹලා වැටිලා මැරෙයි’ කියලා. ඔව් ඇත්ත. මොකද බස් එකේ ඩිකිය කියන එක හදලා තියෙන්නේ මිනිස්සුන්ට යන්න නෙවෙයි. අල්ලගන්වත්, පහසුවෙන් යන්නවත් මේකෙ පහසුකම් නෑ කියලා අපි විශ්වාස කරනවා. එතකොට මේ සිද්ධිය වුණේ කොහොමද කියන එක තවම අපි දන්නෙ නෑ. අදාළ බස් එකේ ඉන්න අයට නොදන්වා මෙහෙම ගියාද, නැත්නම් ඒගොල්ලන්ගෙ දැනුවත්කම මත මෙහෙම ගියාද, නැත්නම් මේ කොල්ලන්ගෙ දඩබ්බරකම හින්දා එහෙම ගියාද කියන එක අපට තේරුම් අරගන්න බෑ. මේ කොන්දොස්තර මහත්තයා මේකට විරුද්ධ වුණාද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මේ දරුවො ඇයි මේ තත්ත්වෙට වැටුණේ? ඇයි දරුවො මෙච්චර අනාරක්ෂිත? මේ කතන්දර බොහොම බරයි. බොහොම භයානකයි. මේවා තේරුම් අරගන්න අපහසුයි. හැබැයි අපට සිද්ධ වෙනවා කොහොම හරි මේක තේරුම් අරගන්න.
ඊයේ පෙරේදා උසාවි තීන්දුවක් දෙනවා තාත්තා කෙනකුට. 09 වැනිදා තමයි මේ තීන්දුව දෙන්නේ. වසර 54ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ 10ක වන්දියක්. රුපියල් 30,000ක දඩයක්. මේක මහ පුදුම කතාවක්. මේ දඬුවම නියම වෙන්නේ බිරිය විදේශගත වුණාට පස්සේ තමන්ගෙම ලෙයින් උපන් අවුරුදු 10ක පුංචි දුවව 2015 අප්‍රේල් මාසෙ පළමුවැනිදා ඉඳලා අවස්ථා කිහිපයකදීම ලිංගික අඩන්තේට්ටමට ලක්කරපු හම්බන්තොට සාමෝදගම පදිංචි 46 හැවිරිදි තාත්තා කෙනෙක්ට. මේ තාත්තාට අවුරුදු 54ක් හිරේ ඉඳලවත් මේ පව ගෙවාගන්න පුළුවන් වෙයිද කියලා අපි දන්නේ නෑ. ඒ තාත්තට එහෙම හිතුණෙ කොහොමද කියලත් අපි දන්නෙ නෑ. එහෙම හිතෙන තාත්තලා මේ රටට කොහොමද ලැබුණේ? ඒක ත්‍රස්තවාදී කණ්ඩායමක් කරපු දෙයක් නෙවෙයි. ඒක අපරාධකාරයෙක්, හොරෙක්, වංචාකාරයෙක්, කුඩුකාරයෙක් බලහත්කාරයෙන් කරපු දෙයක් නෙවෙයි. බේරෙන්න දුවගෙන ඇවිල්ලා ‘අනේ තාත්තෙ’ කියලා හැංගෙන්න ඉන්න තාත්තගෙ අතින් අපහරණයට ලක්වුණාම ඒ කෙල්ල දුවන්නෙ කවුරු ගාවටද? අම්මා ඉන්නෙ පිටරට. අම්මා රට ගියාට පස්සේ තමන්ගෙ හෙවණැල්ල වගේ රැකගන්න ඉන්නේ තාත්තා. සාමාන්‍යයෙන් දුවලට ආදරේ තාත්තලා කියලා තමයි මනුස්කමේ නීතිය ඇතුළේ අපට අහන්න ලැබෙන්නේ. එහෙව් ලෝකෙක මෙහෙව් දේවල් සිද්ධ වෙනකොට කොහොමද ඉවසන්නේ කියලා අපටත් හිත හදාගන්න බෑ. මනුස්සයො මනුස්සකම කොහේදෝ ගිහින් දාලා. මිනිස්සු තෙල් පෝලිම්වල. එතකොට කෝ මනුස්සකම? අපි කලින් දවසකත් ලිව්වා මට මතකයි. අපේ රටේ හිඟ ඩොලර් කියලා අපි කිව්වට, තෙල්, පාන්පිටි කියලා කිව්වට, සීනි කියලා කිව්වට, පොහොර කියලා කිව්වට ඇත්තටම අපේ රටේ හිඟ කිසි දෙයක් නෙවෙයි, මනුස්සකම. මනුස්සකම ඩොලර්වලට ගන්න බැරි නිසාද, නැත්නම් මනුස්සකම කඩේ විකුණන්න නැති නිසාද, පන්සලේ පල්ලියේ කෝවිලේ මනුස්සකම දෙන්න කෙනෙක් නැති නිසාද මෙහෙම වුණේ කියලා අපට හිතෙනවා.
දරුවො පරිස්සම් කරගන්න බැරිසමාජයක හෙටක් ගැන හිතන එක හීනයක්. ඒ හීනයෙ අපිත් අසරණ වෙලා. පුංචි පැටික්කෙක් මේ ලෝකෙ එළිය දකින්නෙ කිසිම දෙයක් නොදැන. අම්මගෙන් කිරි ටිකක් ඉල්ලගෙන බීලා ඔහේ වැටිලා නිදාගෙන ඉන්න පුංචි පැටව් ලොකු කරන්නේ අපේ මවුපියො. එහෙම ලොකු කරලා අපි රටට වටිනා මනුස්සයෙක් කළාට පස්සේ ඒ මනුස්සයටයි මේ රටේ අනාගතය භාර වෙන්නේ. එහෙම නැතුව අපි ඒ දරුවන්ව අපි අතින්ම විනාශ කරලා දැම්මට පස්සේ අපේ අනාගතය ගැන ආයෙ හිතන්නවත් අහන්නවත් දෙයක් නෑ. හරිම කනගාටුවෙන්, හරිම වේදනාවෙන් තමයි මේ කතාව ලියන්නේ. මේක හැඟුම්බර වෙන්න අවස්ථාවක් නෙවෙයි වෙන්න ඇති. ඒත් හැඟුම්බර නොවී බැරි අවස්ථාවකට දැන් අපි ඇවිල්ලා. අපි අසරණ වෙලා කියන්න කෙනෙක් නැතුව, කරන්න දෙයක් නැතුව. එක පුංචි පැටියෙක් ලංකාවට වෙලා තියෙන දේ ගැන, ලංකාවෙ දේශපාලනයට අද වෙලා තියෙන දේ ගැන කියන වීඩියෝවක් අපි දැක්කා. ඒක බැලුවම ඇත්තටම පපුව හෝස් ගාලා යනවා.
ජීවන පහන් තිළිණ










