ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමට අදාළ සමාගමක හිමිකරු සහ ඊට අනුමැතිය දුන් රජයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කර තිබේ. (Sri Lanka Latest News)
අදාළ සැකකරුවන් රට හැර යාමට සූදානමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් කරුණු දැක්වීමෙන් පසු මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කළ බව වාර්තා වේ.
ඒ අනුව සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් ‘අරුණ දීප්ති’, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන සැකකරුවන්ට එරෙහිව නියෝගය නිකුත් කර තිබේ.
ව්‍යාජ ලේඛන සකස් කරමින් ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් ගෙන්වූ බව පැවසෙන ඖෂධ සමාගම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ක්‍රියාත්මකය.
එහිදී රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදුව ඇති බවට අනාවරණ වී තිබේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පත්කළ අනුකාරක සභාව මොරටුව විශ්වවිද්‍යාලයට උපදෙස් ලබාදී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති නමුත් සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගීමේදී එහි දායකත්වය පිළිබඳ අනුකාරක සභාවේ අවධානය යොමුව තිබේ.
දිවයින පුරා රෝහල් 723ක ස්ථාපිත කර ඇති ස්වස්ත තොරතුරු කළමනාකරණ පද්ධතිය, තවත් රෝහල් 436ක ස්ථාපිත කිරීමට කාල රාමුවක් සකස් කරන ලෙස ද අනුකාරක සභාව උපදෙස් ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
adaderana










