ලෝකයේ අතිශය වැදගත් සහ සංවේදී මුහුදු මාර්ගයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධියේ’ පාලනය අමෙරිකාව සතු කර ගැනීමට ඉඩ ඇති බවත්, එම වැදගත් ජල මාර්ගය ආරක්ෂා කිරීම සහ පාලනය කිරීම වෙනුවෙන්, ප්‍රතිලාභ ලබන රටවල් විසින් අමෙරිකාවට මුදල් ගෙවිය යුතු බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය ජාලයක් වන “ෆොක්ස් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්” වැඩසටහන සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, “අපි එම සමුද්‍ර සන්ධිය අපේ භාරයට ගෙන එහි පාලනය ක්‍රියාත්මක කිරීමට හැකියාව තියෙනවා. අපි එහි භාරකරු බවට පත්වේවි. සමහරවිට අපි එයට ‘සමුද්‍ර සන්ධියේ ආරක්ෂක දේවදූතයා’ (Guardian Angel) කියලා කියාවි. ඒ වගේම අප කරන ඒ සේවයට අපට මුදල් ගෙවිය යුතුයි,” යනුවෙනි.
ගෝලීය බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය, මේ වන විට අමෙරිකා-ඉරාන ගැටුමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත.
ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ඉහළ ගොස් ඇති අතර ගෝලීය උද්ධමනය පිළිබඳ බියක්ද නිර්මාණය වී තිබේ.
“අපි එය ආරක්ෂා කරනවා. ඒ වෙනුවෙන් අපට විශාල මුදලක් ලැබිය යුතුයි. අනෙක් රටවල් ඉතා ධනවත්. ඔවුන් සිටින්නේ අපේ පැත්තේ. ඒ නිසා නිකන්ම මේ දේ කරයි කියලා අපෙන් බලාපොරොත්තු වෙන්න බැහැ,” යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.
අනුමැතියකින් තොරව නෞකා ගමනාගමනය සිදු වූ බව පවසමින් ඉරානය පසුගිය සෙනසුරාදා මෙම මුහුදු මාර්ගය වසා දැමූ අතර, එහි සාමය සහ ස්ථාවරත්වය ඇති වන තෙක් ගමනාගමන බලපත්‍ර නිකුත් නොකරන බව ඉරානය ප්‍රකාශ කර තිබුණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, “අපි ඔවුන් සමඟ එකඟතාවකට පැමිණ සිටියා. නමුත් ඔවුන් එය කඩ කළා. ඔවුන් සැමවිටම ගිවිසුම් කඩ කරනවා. අපි මේ වන විට ඔවුන් එක්ක ගිවිසුම් 10ක් විතර ගහලා තියෙනවා. ඒ නිසා මෙවර අපි ඔවුන්ට ඉතා දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා,” යනුවෙනි.
පසුගිය සති අන්තයේ සිට අමෙරිකානු සහ ඉරාන බලකායන් අතර දරුණු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරු වී ඇති අතර, ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානය තහවුරු කර තිබේ. මෙම තත්ත්වය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතී.











