කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ ජුසේ මාවතේ පිහිටි ඉඩමක ඉදිකර ඇති බව කියන සුපිරි තෙමහල් නිවස සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එම නිවෙසේ පසුගියදා පැවැති දානමය පින්කමක ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැරීමත් සමග එම නිවෙස පිළිබඳ මුල් වරට බොහෝ දෙනා දැනුවත් වී තිබිණි. මේ අතර, අදාළ නිවෙස ඉදිකිරීමට ලාල්කාන්ත මහතාට මුදල් ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරී අභීත එදිරිසිංහ මහතා විසින් අනීතික ලෙස දේපළ උපයා ගැනීම පිළිබඳ තොරතුරු ලබාදීමට හඳුන්වා දී ඇති ශ්‍රී ලංකා පොලිසියේ 1818 විශේෂ දුරකතන අංකය වෙත පැමිණිල්ලක්ද පසුගියදා ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. මෙවන් පසුබිමක තම නිවෙස සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ‘ප්‍රකම්පන’ යූටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබිණි. පහත පළවන්නේ එම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගන්නා ලද කොටසකි. Sri Lanka Latest News
ප්‍රශ්නය
මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ?
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
මොකක්ද?
ප්‍රශ්නය
දානමය පින්කමක් ගෙදර තිබිලා. ඒක සමාජ මාධ්‍යයේ ගිහිල්ලා දැන් ඒක ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලටත් ඇවිල්ලා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
කාටද?
ප්‍රශ්නය
ජනතාවට… ජනතාවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ලාල් සල්ලි නෑ කියලා කිව්වේ, මාදිවෙල මන්ත්‍රී නිවාසවල හිටියේ, ඉස්සර කැබ් එකේ කෙහෙල් කැන් දාගෙන එන්න කියලා එහෙම තමයි ආවේ, පාක්ෂිකයෝ තමයි නඩත්තු කළේ. දැන් කොහොමද මෙච්චර කෝටි ගානක ගෙයක් ආවේ කියලා ජනතාව අහනවා.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
හැබැයි අද අපේ මාතෘකාව තිබ්බේ මේක නෙමෙයි.
ප්‍රශ්නය
ඔව්, අපි ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ මීට සති දෙකකට විතර කලින් යෝජනා කරගත්ත සාකච්ඡාවක්. ඊට කලින් වෙන එකක් පත්තු වෙලා.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
පත්තු කරලා තියෙන්නේ… පත්තු කළේ මම. ඔය වෙන කවුරුත් හොයාගෙන එහෙම නෙමෙයි. මෙහෙමයි, දැන් ඔය පහුගිය දිනයක අපේ ගෙදර තිබ්බා දානමය පින්කමක්.
අපේ අම්මා වෙනුවෙනුයි, තාත්තා වෙනුවෙනුයි, මියපරලොව ගිය අපේ කිට්ටුවන්තයෝ ඉන්නවා, ඒ වෙනුවෙන් දානයක් තිබ්බා. දැන් සමහරු හිතන් ඉන්නේ මම අලුතෙන් ගෙදරකට පදිංචි වුණා කියලා. එහෙම නෑ. මේ තිබ්බේ දානමය පින්කමක්.
අපේ පවුලේ අය තමයි මූලික. මගේ සහ අපේ නෝනාගේ දෙපැත්තේ කට්ටිය. තව ඔය වගේ වැඩක් කරනකොට දැනගත්ත අය ඉන්නවනේ. ඒ දැනගත්ත අයට එන්න කිව්වා. ඒ පාර කලින් දවසේ මම අපේ ජනාධිපතිතුමාගේ ලේකම්ට කතාකරනකොට මම කිව්වා හෙට මේ වගේ වැඩක් තියෙනවා ජනාධිපතිතුමාටත් ඉඩක් තිබ්බොත් චුට්ටක් ඇවිල්ලා යන්න කියලා. ජනාධිපතිතුමාත් ආවා. ඒ වෙලාවෙම තමයි අගමැතිනියටත් කිව්වේ. කලින් දාලා තිබ්බ ඒවා නෙමෙයි. ඉතින් අපි ඒක හොඳට කළා. ඊට පස්සේ තමයි ඔය කතාබහක් ඇති වෙලා තියෙන්නේ. අහපු ප්‍රශ්නයට සම්බන්ධ කළොත් මම චුට්ටක් කියන්නම්. ගොඩක් කියන්නේ නෑ තව කට්ටියට ඉඩ තියන්න ඕනේ ඇති තරම්.
දැන් මම පක්ෂයේ පූර්ණ කාලීනවනෙ වැඩ කළේ. මම පක්ෂයට සම්බන්ධ වෙන්නේ 82 ඉඳන් උදව්කරුවෙක් විදියට. මම සම්පූර්ණයෙන්ම දේශපාලනය කරන්න පටන් ගන්නේ 87 ඉඳන්.
ප්‍රශ්නය
එතකොට අවුරුදු 40කට ආසන්නයි.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
ඔව්, ඒ වගේ කාලයක් වෙනවා, පොඩ්ඩක් ගණන් හදලා බලන්න ඕනේ. ඒ වගේ වෙනවා. ඉතින් ඇත්තටම ඒ කාලේ අපි ගෙවල් දොරවල් ඔක්කොම අත්හැරලා ආපු අය. තියෙන ඒවා අක්කලාට, නංගිලාට, මවුපියන්ට කරගන්න කියලා අපි මේ වෙන වැඩකට ආවනේ. ඉතින් කොහොම හරි තාත්තා නැති වුණා. ඔය හැමෝම වගේ තාත්තගේ මළ ගෙදරටත් ආවා. ඒගොල්ලෝ දන්නවා ඒ හරියේ තියෙන්නේ මොනවද නැත්තේ මොනවද කියලා.
ප්‍රශ්නය
අනුරාධපුරේ කොයි හරියෙද?
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත
මාතලේ හන්දිය ආසන්නයේ. නුවර පාරේ. නුවර වැව ඉස්මත්තේ වගේ. ඊට පස්සේ අපි කතාවෙලා ඒවා ගරාවැටෙන හින්දා විකුණන්න තීරණයක් ගත්තා. හරි, ඒක කළේ ඇත්තටම පර්චස් කීයක් හරි මෙහෙන් ගන්නම තමයි. එහෙම තමයි කළේ. ඊට පස්සේ ඉතින් ඔය හැම තැනම බලලා බලලා හොයලා හොයලා ඔය දැන් ගේ තියෙන තැන, එතැන පර්චස් හතයි හයයි කෑලි දෙකක්. එක ළඟ කෑලි දෙකක් අරගෙන තමයි ගේ හදන්න පටන් ගත්තේ. ඔය වැඩ ඉවර කළා 2024 අග වෙනකොට ඉවර කරලා ඒ කාලේ තමයි ඒ ගෙදර පදිංචි වුණේ. ඊයේ පෙරේදා නෙමෙයි.










