රෝහලක් කියන්නේ මනුෂ්‍ය ජීවිතයක අවසාන බලාපොරොත්තුවයි. තමන්ගේ ආදරණීයයන්ගේ ජීවිත බේරාගන්න සිහිනය හදවතේ තබාගෙන මිනිසුන් රෝහල් දොරට තට්ටු කරන්නේ ඒ නිසයි. විශේෂයෙන්ම දුප්පත් අසරණ මිනිස්සුන්ට රජයේ රෝහලක් කියන්නේ ‘අපිටත් ජීවිතයක් තියෙනවා’ කියලා දැනෙන එකම තැන වෙන්නත් පුළුවන්. ඒත් ජීවිත බේරාගත යුතු ඒ බිත්ති අතරම බලාපොරොත්තු සදහටම මිහිදන් වනවිට ඒ වේදනාව වචනවලින් කියන්න බැහැ. Sri Lanka Latest News
හොරණ ප්‍රදේශයේ ජීවත් වූ තරුණ ස්වාමිපුරුෂයෙක් ප්‍රථම දරු ප්‍රසූතිය වෙනුවෙන් තම බිරිඳව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන්නේ දහසක් බලාපොරොත්තු ඇතුවයි. ඔවුන් මාස නවයක් පුරා කිරි සිහින මැව්වා. බිලිඳු ඇඳුම් මසාගත්තා. පුංචි සෙල්ලම් බඩු එකතු කළා. අපේ පුතා එනවා කියන සිතුවිල්ලෙන් ඔවුන්ගේ මුළු ලෝකයම පිරී තිබුණා.
මේ අතර, වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුව සහ ස්ථාන මාරු ලැයිස්තුවේ ගැටලුවක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අප්‍රියෙල් 09 වැනිදා සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණා. එවැනි දිනයක රෝහලට ඇතුළත් කළ මේ මවට ප්‍රසූත වේදනාව දැනී තිබුණේ ඒ අතරවාරයේයි. කෙසේ වෙතත් මෙවැනි වාතාවරණයක් තුළ ඇගේ කුසේ සිටි බිලිඳාට දිවි අහිමි වී තිබුණා. එසේ වුණේ රෝහල් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් බවටයි මව ප්‍රකාශ කර සිටියේ. මේ මවුපියන්ගේ සිහින බලාපොරොත්තු ඒ විදියට විනාශ වෙන්න ගතවුණේ හෝරා කිහිපයයි. නමුත් ජීවිතය ඔවුන්ට දුන්නේ ඒ සිහින බිඳදැමූ අඳුරු පණිවුඩයක්.
එම රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනෙක් රාජකාරි වේලාව තුළ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිට ඇති බවටද පසුව අනාවරණ වී තිබුණා.
‘මට තාත්තා නැහැ. මම හිතුවේ මගේ බඩේ තාත්තා ඉපදෙනවා කියලා…’ මේ අම්මාගේ වචනවල තිබුණේ සාමාන්‍ය කඳුළක් නෙවෙයි. ඒක අම්මා කෙනකුගේ හදවත පසාරු කරගෙන ගිය තුවාලයක්. ස්කෑන් පරීක්ෂණයෙන් පසු තම කුසේ පිළිසිඳගෙන ඇත්තේ පිරිමි දරුවෙක් කියලා දැනගත් දා ඇය සතුටින් පිරී ගියා. දරුවාට අවශ්‍ය සෑම දෙයක්ම සතුටෙන් සුදානම් කළා.
‘බබාව ක්ලීන් කරලා ගෙනත් දෙයි කියලා බලාගෙන හිටියට අන්තිමට කිව්වේ බබා මැරුණා කියලා…’ ඇගේ මේ වචන අහන ඕනෑම මවකගේ හදවත කම්පා වෙනවා. මාස 9ක් කුස තුළ රැකගෙන ජීවිතේ ලොකුම බලාපොරොත්තුව විදියට තුරුලු කරගන්න බලාගෙන හිටපු දරුවා තුරුලු කරගන්න කලින් සදහටම අහිමි වීම කෙතරම් වේදනාවක්ද?
‘මොකද්ද මගේ දරුවාට වුණේ? අපි කොයි තරම් නම් දරුවා ගැන බලාපොරොත්තු තියාගෙනද හිටියේ… දොස්තරලා අපිට කියලා තිබුණේ නිරෝගී දරුවෙක් කුස තුළ ඉන්නේ කියලා…’
පටාචාරා නොමල ගේකින් අබ සෙව්වා වාගේ මේ මවුපියන්ටත් ඒ දුක දරාගැනීමට නොහැකි වුණා. යන්න පුළුවන් හැම තැනකටම ගියා. කෑ ගැහුවා. ඇඬුවා අවසානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක් යොමුකරන්නට වුණා. දරු ප්‍රසූතියේදී තම බිලිඳා මියයාමේ සිද්ධියට අදාළ පැමිණිල්ලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබුණා. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියගේ සේවය තාවකාලිකව අත්හිටුවන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාකර තිබුණා. ඒ, ඔවුන් තම රාජකාරිය පැහැර හැර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිව තිබුණු නිසයි.
අදාළ දරු ප්‍රසූතියේදී මිකෝනියම් හෙවත් බිලිඳකු විසින් පිටකරන පළමු මළපහ සම්බන්ධව හටගත් ගැටලුවක් පිළිබඳ වාට්ටු භාර වෛද්‍යවරිය වාර 6කදී එම රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියව දුරකතනයෙන් දැනුවත් කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළිව තිබුණා. කෙසේ වෙතත් එම අවස්ථාවේ වෛද්‍යවරුන් දෙදෙනාම රෝහලේ නොසිට ඇති බවටද අනාවරණ වී තිබුණා, එම දුරකතන ඇමතුම්වලට වෛද්‍යවරුන් ප්‍රතිචාර නොදක්වා ඇති බවද සඳහන්ය. ඔවුන් සූතිකාගාරයටද පැමිණ නැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ විමර්ශනවලදී හෙළිව තිබුණා. අදාළ වෛද්‍යවරුන් දෙදෙනා රාජකාරි වේලාව තුළදී වෙනත් සැත්කමක් වෙනුවෙන් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී ඇති බවද හෙළිව තිබුණා.
ජීවිතයක් බේරාගන්න තිබුණු ඒ මිනිත්තු කිහිපය කෙනකුගේ නොසැලකිල්ල නිසා අහිමි වුණා නම් ඒකට වගකියන්නේ කවුද? මේ පවුලට අහිමි වුණේ දරුවෙක් විතරක් නෙවෙයි. අහිමි වුණේ ‘අම්මා’ කියලා අහන්න තිබුණු හඬක්. ‘තාත්තා’ කියලා දුවගෙන ළඟට එන්න හිටපු දරු පැටියෙක්. ගෙය පුරා පිරෙන්න තිබුණු සුන්දර හිනාවක්.
අදාළ වෛද්‍යවරුන් දෙදෙනා රාජකාරිය පැහැරහැර ඇති බවත්, දරු ප්‍රසුතියේදී දරුවාට අනතුරක් සිදුවීමට ඉඩහැරීම සහ එම කාලය තුළදී ආසන්න පෞද්ගලික රෝහලක රාජකාරි කිරීම මෙන්ම රෝහලෙන් බැහැර යන වෙලාව සටහන් කරන පොතේ අසත්‍ය තොරතුරු සටහන් කිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසා තිබුණේ මෙවැන්නකි.
‘විධිමත් විනය පරීක්ෂණයක් ඉදිරියේදී සිදුවෙනවා. ඒ අනුව තමයි මොනවද වෙන්නේ කියලා තීරණය කරන්නේ. මෙම වෛද්‍යවරුන් දෙදෙනා බැලූ බැල්මට සේවය පැහැර හැරීමක් සිදුකළ බවට ඔප්පු වුණා.’
මේ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අදහස් දක්වා තිබුණා. එම සංගමයේ උපසභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පවසා සිටියේ, ‘ලේබර් රූම් කවදාවත් අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අපි අදාළ කරගන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ප්‍රසව හා නාරිවේදය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ මූලිකත්වයෙන් තමයි මේ වගේ විනය පරීක්ෂණයක් තිබිය යුත්තේ. සූතිකාගාර සේවය කියන්නේ හදිසි ප්‍රතිකාර අවස්ථාවක්. යම්කිසි ගැටලුවක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව විනය පරීක්ෂණයක් කරන්න ඕනේ…’
මේ අතර, තවත් අනුවේදනීය සිදුවීමක් අපගේ හදවත් කම්පනයට පත්කරනු ලැබුවා. වැලිගම බටපල ප්‍රදේශයේ පදිංචි තලාරඹ ඉන්දසාර විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලැබූ හත් හැවිරිදි නෙහාන් තක්ෂිල ද සිල්වා නමැති දරුවෙකු මෙලොව හැර ගොස් තිබුණේ බොත්තම් බැටරියක් ගිල දැමීමෙන් ඇතිවූ රෝගී තත්ත්වය නිසයි. අදාළ රෝගී තත්ත්වයෙන් පසුවූ දරුවා සුවවී ඇතැයි පවසමින් නිවසට රැගෙනයාමට වෛද්‍යවරුන් ඉඩ හැර ඇති බවද වාර්තා වුණා. ඒ අනුව දරුවාට මෙවැනි ඉරණමක් අත්වුණේ වෛද්‍යවරුන්ගේ නොසලකා හැරීමක් නිසා බවයි දරුවාගේ මවුපියන් පවසා තිබුණේ.
බැටරිය ගිලදැමූ දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යුහුසුලුව යොමුකිරීමට මවුපියන් කටයුතු කර තිබුණා. රෝහලේදී ලබාගත් එක්ස්-රේ වාර්තා මගින් තහවුරු වී ඇත්තේ දරුවාගේ සිරුර තුළ කුඩා බැටරියක් සිරවී ඇති බවයි. තත්ත්වයේ බරපතළකම වටහාගත් වෛද්‍යවරුන් දරුවා පළමුව මාතර මහ රෝහලටත්, අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරුකර යැවීමට පියවර ගෙන තිබුණා. රෝහල්ගත කිරීමෙන් පසු දරුවාගේ ආමාශයේ තිබූ එම බැටරිය ඉවත් කළ රෝහල් බලධාරීහු, දින දෙකක නේවාසික ප්‍රතිකාරවලින් අනතුරුව දරුවා යළි නිවස කරා පිටත් කර යවා තිබුණා. මවුපියන් දහසක් බලාපොරොත්තු තබාගෙන දරුවා නිවස වෙත ගෙන ගියේ දැන් දරුවාට සුවවී ඇතැයි යන සිතුවිල්ලෙන්. නමුත් ගෙදර ආ දා පටන් පිටකොන්දේ, උදරයේ සහ හිසෙහි වේදනාවක් ඇති බව ඔහු පවසන්නට වුණා. ඒ අතර, පසුගිය 28 වැනිදා දරුවා පාසලේදී රුධිරය සමග වමනය කරන බවට පාසලෙන් ලැබුණු දුරකතන ඇමතුමකට අනුව වහාම මවුපියන් පාසල වෙත ගොස් කරාපිටිය රෝහලට ඇතුළත් කළද පසුව සිහිසුන් වූ ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සැත්කමකටද ලක් කෙරුණා. වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය දරුවාගේ ජීවිතය බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවද, ඉරිදා සවස් යාමයේ ඒ කුඩා හද ගැස්ම සදහටම නතර විය. කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා සහ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ඩී.ඒ. දිසානායක මහතා විසින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වූයේ පහළ බඩවැලේ ප්‍රධාන රුධිර නාළයකට බැටරිය මගින් සිදු වූ හානියෙන් හටගත් අභ්‍යන්තර රුධිර වහනය මරණයට හේතු වී ඇති බවයි.
කෙසේ වෙතත් දරුවාගේ මවුපියන් චෝදනා කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැලකිල්ල මෙම මරණයට හේතු වී ඇති බවයි.
වෛද්‍ය වෘත්තිය කියන්නේ රැකියාවක් පමණක් නොවේ. එය මනුෂ්‍ය ජීවිතයක් අතේ තබාගෙන කරන සේවාවක්. මුදල් තනතුරු පෞද්ගලික ලාභ මේ සියල්ලටම වඩා ඉහළින් තිබිය යුත්තේ රෝගියාගේ ජීවිතයයි. පවුලක සිහිනයක් බිඳවැටීම තවත් ලෝකයක් කඩාවැටීමක්. දරුවකු අහිමි වූ මවුපිය හදවත් ජීවිත කාලය පුරාම ඒ හිස් බව අරගෙනම වේදනාවෙන් ජීවත්වෙනවා.

නිලන්ති රේණුකා










