ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා මරණයට පත්ව සිටි ස්ථානයේ තිබී සොයා ගන්නා ලද නාඳුනන ඖෂධ වර්ග පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කළා. Sri Lanka Latest News
අදාළ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුත්ත අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඒ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණකරු මිය ගොස් සිටි ස්ථානයේ තිබී සොයා ගන්නා ලද නාඳුනන ඖෂධ සමහරක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙන බවත් එම රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් දැනුම් දුන්නා.
ඊට අමතරව මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ද මෙතෙක් ලැබී නොමැති බවයි පොලිසිය අධිකරණය හමුවේ පැවසුවේ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අදාළ ඖෂධ පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත සිහිකැඳවීමක් නිකුත් කරන ලෙස නියම කළා.
ඊට අමතරව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියම කරනු ලැබුවා.
ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජුලි මස 22 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.










