දකුණු අප්‍රිකාව සමඟ ඊයේ (30) පැවති තරගයේ අවසන් පන්දුවාරය යැවීම සඳහා ළහිරු කුමාර යොදාගත්තේ ඊයේ දිනයේ සිටි හොඳම පන්දු යවන්නා ඔහු නිසා බව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී භානුක රාජපක්ෂ පැවසීය.
සුපිරි 12දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වු තුන්වන තරගය ඊයේ දකුණු අප්‍රිකාව සමඟ පැවති අතර තියුණු තරගයකින් පසු කඩුලු 4ක අමිහිරි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
එහිදී ජයග්‍රහණය වෙනුවෙන් දකුණු අප්‍රිකාව අවසන් පන්දුවාරයට ලකුණු 15ක් රැස්කරගත යුතුව තිබූ නමුත් ළහිරු කුමාර යැවු එම පන්දුවාරයේදී පන්දු 5කින් එම ඉලක්කය සපුරා ගත්තේ ශ්‍රී ලංකාවට පරාජය උරුම කරමිනි.
අවසන් පන්දුවාරය යැවීමට ළහිරු කුමාර යොදාගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රීඩා විචාරකයින් අතර දැඩි කතාබහක් මතුවිය.
ඒ අනුව ඊයේ තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී භානුක රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් මෙලෙස පිළිතුරු දුනි.
“අපේ ප්‍රධාන පන්දුයවන්නන් 5ක් ඉන්නවා. අපි හැමවෙලේම යන්න ඕනේ හොඳම අවස්ථාවට. ළහිරු කුමාර අන්තිම පන්දුවාරය වෙනකම් හොඳට පන්දු යවලා තිබ්බේ. ඉතින් ඒ ඕවරේ යෝකර් දෙකක් දාන්න තමයි සැලසුම වුණේ. ඒක සැලසුමේ වැරැද්දක් නෙමෙයි. ඊළඟ තරග දෙක අපි හොඳට සෙල්ලම් කරොත් ලොකු අවස්ථාවක් තියෙනවා. අන්තිම මාස 6 හෝ 7 ගත්තොත් අපි කණ්ඩායමක් ලෙස සෑහෙන්න දුරක් ඇවිත් තියෙනවා.”