විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ සිදුකර ඇති නීති විරෝධී ආක්‍රමණවලට එරෙහිව අභියාචනාධිකරණය නියෝගයක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.Sri Lanka Latest News
පාරිසරික පදනම (EFL) විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව මෙම තීන්දුව ලබා දී ඇති අතර, ඔවුන් මෙම තීන්දුව සහ සිදුවීම පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
ඒ අනුව වනෝද්‍යානය තුළ සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අධිකරණය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව සඳහන්.
එමෙන්ම එම ස්ථානයේ ඉදිකර ඇති සියලුම නීති විරෝධී ගොඩනැගිලි ඉවත් කර, හානියට පත් ප්‍රදේශය යළි ප්‍රතිසංස්කරණය කළ යුතු බවට ද අධිකරණය වැඩිදුරටත් නියම කර තිබෙනවා.
වනෝද්‍යානයේ මායිම් නිවැරදිව සමීක්ෂණය කර ස්ථිර මායිම් සලකුණු යොදන ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ද නියෝග කර ඇති බව මෙම නිවේදනයේ සඳහන් වනවා.
මෙම නඩුවට පදනම් වී ඇත්තේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ V වන කොටස තුළ නිවාස, පල්ලියක් සහ ප්‍රජා ශාලාවක් ඇතුළු මහා පරිමාණ අනවසර ජනාවාසයක් ඉදිකිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ සිදුවීමක්.










