ගුවන් යානාවල ඉන්ධන සංයුතිය වෙනස්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගනු ලැබූ සකුරායි පුද්ගලික ගුවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ එහි ප්‍රධාන ඉංජිනේරුවරයා අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සැකකරුවන් ඊයේ (10) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන්ගෙන් එක් අයෙකු 53 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා 46 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
මෙම පුද්ගලික ගුවන් සේවයට අයත් යානා 02ක් පසුගියදා පයාගල සහ කටාන යන ප්‍රදේශවලට හදිසියේ ගොඩබාන ලදී.
කටාන, කිඹුලාපිටිය ප්‍රදේශයට ඉන් එක යානයක් හදිසියේ ගොඩබාන විට එහි සිටි විදේශිකයින් දෙදෙනෙකු තුවාල ලැබීය.
මෙම සිදුවීම්වලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුකර ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් තාක්ෂණික වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව සැකකරුවන් විසින් මනුෂ්‍ය ජීවීතයකට හෝ වෙනත් තැනැත්තෙකුගේ පුද්ගලික ආරක්ෂාවට මෙන්ම අන්තරාදායක ලෙස හෝ නොසැලකිලිමත්කමින් හා එවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයෙකුට තුවාල හෝ බරපතළ තුවාල සිදුකිරීම සඳහා වන දණ්ඩ නීතී චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරුවන් අද මීගමුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.










