අද (27) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ජනතාවාදී විපක්ෂයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවැසීය. (Sri Lanka Latest News)
‘‘රටේ ජනාධිපතිවරයා සහ කතානායකවරයා නීතියට පටහැනිව අවනීතිකව කටයුතු කරන තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කතානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කරමින් තිබෙනවා. මේ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂවල සහයෝගය ලැබී තිබෙනවා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න නීත්දුව කතානායකවරයා ක්‍රියාත්මක කරලා නෑ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ වගන්ති 57 න් 35 ක් සංශෝධනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නා. නමුත් කතානායකවරයා එම වගන්තිවලින් කොටසක් සංශෝධනය නොකර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවට පිටුපාලා තිබෙනවා. ඒ සඳහා නීතිපතිවරයා තමන්ට උපදෙස් ලබාදුන් බව කතානායකවරයා ප්‍රකාශ කරනවා. නීතිපති කියන්නේ රජයේ නීතිඥයා. ශ්‍රේෂ්ඨාධිකරණය තිබෙන්නේ ඊටත් ඉහළින්. ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවක් නීතිපතිවරයාට වෙනස් කරන්න බෑ කියලා කතානායකවරයා දන්නේ නෑ මේ සම්බන්ධයෙන් කතානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම කතානායකවරයා සහ ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා ව්‍යවස්ථාදායක සභාවේ බලතල උල්ලංඝනය කරමින් පොලිස්පති පත්කිරිම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීලා තිබෙනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රටේ පුරවැසියන්ට වද හිංසා පනවලා තිබෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙන අවස්ථාවක තමයි පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන්ව පත් කරන්නේ. රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමේ සිදුකරන්නේ පොලිසිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , නීතිය උල්ලංඝනය කළ පුද්ගලයෙක් පොලිසියේ ප්‍රධානියා ලෙස පත් කිරිමෙන් ජනතාවට පොලිසියෙන් ලැබෙන සාධාරණය කුමක්ද?
රටේ ජනාධිපතිවරයා මහජන මතයකින් පැමිණි කෙනෙකු නෙවෙයි. ඔහු බලයට ආපු ගමන් කළේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ අරගල භුමියේ සිටි පුද්ගලයින් පලවා හැරියා. එතන වර්තමාන පොලිස්පතිවරයාත් හිටියා. ඒ වගේම රටේ පීඩාවට පත්ව සිටින ජනතාව සමඟ සමගි ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකළ උද්ඝෝෂණයට පහර දෙන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකොන් අණ කරලා තිබෙනවා. පොලිසිය සිදුකළ පහරදීමෙන් සමගි ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකළ උද්ඝෝෂණයට පැමිණි 10 ක් තුවාල ලැබුවා. මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කිරිමට සමගි ජන බලවේගය බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නීතිඥ කණ්ඩායම කටයුතු සිදුකරනවා. එවැනි පුද්ගලයෙකුට තමයි අද පොලිස්පති ධූරට ලබාදීලා තිබෙන්නේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට පාස්කු ඉරිදා කොමිසන් සභාවෙනුත් චෝදනා කිහිපයක් එල්ල වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා නීතිගරුක, චෝදනාවට ලක්නොවුන පුද්ගලයෙන් නොවිය යුතුයි.‘‘










