ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැත්කම් උපකරණ නොමැති වීම හේතු කොටගෙන රෝහලේ අක්ෂි සැත්කම් මුළුමනින්ම පාහේ නතර වී ඇතැයි රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම රෝහලේ ස්නායු, විකලාංග, අක්ෂි ඇතුළු අංශ කිහිපයකම සැත්කම් උපකරණ නොමැතිවීම හේතු කොටගෙන මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද, මේ වනවිට උගුර, කන, නාසය පිළිබඳ කළ යුතු සැත්කම් 75%ක ප්‍රමාණයකින් අඩාළව පවතින බවද එම ආරංචි මාර්ග කියයි.
උද්ගතව ඇති මෙම තත්ත්වය වඩාත් භයානක කරමින් හෙට අනිද්දා වනවිට හදවත් සැත්කම්ද සහමුලින්ම නතරවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.
මෙම තත්ත්වයට බෙහෙවින් බලපා ඇත්තේ පසුගිය කාලයෙහි රෝහලෙහි ශල්‍ය උපකරණ නොමැති වූ අවස්ථාවල ඒවා පිටතින් ගෙන්වා ගෙන සැත්කම් සිදුකළ ස්නායු ශල්‍ය වෛද්‍යවරියට චෝදනා එල්ලවීමේ සිද්ධියෙන් පසු රෝගීන්ට අවශ්‍ය ඖෂධ සහ උපකරණ බාහිරින් ගෙන්වා ගැනීමේ පිළිවෙත සහමුලින්ම මේ වනවිට නතරකර තිබීම බවද රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
උද්ගතව ඇති තත්ත්වය අනුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරු මෙන්ම සෙසු වෛද්‍යවරුද නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් රෝහල් ප්‍රතිකාර පතා ඇතුළත් කෙරෙන රෝගීන් දැඩි ලෙස අසීරුතාවට ලක්ව ඇතැයිද කියති.
මේ පිළිබඳ ‘මව්රට’ පුවත්පත එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතාගෙන් කළ විමසුමකදී ඔහු කීවේ රෝහලේ කටයුතු මෙන්ම ශල්‍යකර්ම කටයුතු ද සාමාන්‍ය මට්ටමට සිදුකර ගෙන යන බවයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










