විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන් ඒකාබද්ධව දෙවන වතාවටත් හමුවී රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබද සාකච්ජා කොට තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇති බව වාර්තා වේ.
මෙහි පළමු රැස්වීඹ ඉතා රහසිගත ආකාරයට ඉකුත් ජනවාරි 27 වැනිදා කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවැති අතර දෙවැන්න පෙරේදා දිනයේ පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.
මෙවර රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
ඊට අමතරව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න සහ ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී හරීනි අමරසූරිය ද සහභාගී වූහ.
එමෙන්ම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත් සහ මහාචාර්ය තිස්ස විතරණද ඊට සහභාගී වී සිටීමය.
මෙම හමුවේදී ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ණය නැවත කාලසටහන්ගත කිරීමට රජයට යෝජනා කිරීමට තීරණය කර ඇති අතර එම ණය සංශෝධනයෙන් පසු යම් විදේශ විනිමයක් රජයට ඉතිරි වන බවත්, ඉන්ධන, ඖෂධ ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට එය යෙදවිය යුතු බවට රජයට යෝජනා කිරීමටත් තීරණය වී ඇත.
එසේම, ණය ආපසු ගෙවීමේ කාලසටහන් නැවත සකස් කිරීම සඳහා ණය හිමියන් සමඟ යම් වැඩපිළිවෙළක් සකස් කිරීමේදී රජයේ සමාජ සුබසාධන ක්‍රියාමාර්ගවලට බලපෑමක් නොවිය යුතු බවටද තීරණයක් ගෙන ඇත.










