පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සදහා ආණ්ඩුවට අවශ්‍ය තුනෙන් දෙකක විශේෂ බහුතර බලය ලබා දීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන් ආණ්ඩුවට දැනුම් දී ඇත.
ආණ්ඩුව ලබන අප්‍රේල් මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කරමින් සිටින අතර යහපාලන රජය විසින් සම්මත කළ නීති ඒ සදහා බාධකයක් වී තිබේ.
ඒ අනුව ආණ්ඩුවට යෝජනා කර ඇත්තේ මැතිවරණය පවත්වන ක්‍රමය සම්බන්ධයෙන් වූ යෝජනාවක් පාර්ලිමෙන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ගැනීම හරහා පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවකි.
නමුත් ආණ්ඩුවේ සුළු පක්ෂ රැසක් මේ වනවිට පළාත් සභා මැතිවරණ ක්‍රමයට විරෝධය පළ කිරීම හේතු කොට ගෙන ඒ සදහා තුනෙන් දෙකේ බහුතරය නොලැබී යනු ඇති බවට සැකයක්ද ආණ්ඩුවේ ප්‍රධානීන්ට මතුව ඇති බව දැනගන්නට ඇත.
මෙම තත්ත්වය වාර්තා වීමත් සමග සමගි ජන බලවේගයත් දෙමළ ජාතික සන්ධානයත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය තුනෙන් දෙකේ බහුතර බලය ලබා දීමට සූදානම් බව ආණ්ඩුවට නිල වශයෙන් දැනුම් දීමට පියවර ගෙන තිබේ.










