දෙමළ ජනතාවට යුද්ධයේදී සිදු වූ හානිය ඇතුළු දේශපාලන විසදුම් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ජා කිරීමට තමන් සුදානම් බව දෙමළ ජාතික සන්ධාන (TNA) නායක ආර්. සම්බන්දන් පවසනවා.
පවතින පාර්ලිමේන්තුව ජනතා මතය නියෝජනය නොකරන හෙයින් එය විසුරුවා හරිය යුතු බවයි ඔහු සදහන් කරන්නේ.
“දෙමළ ජනතාවගේ සමාජ ආර්ථික හා දේශපාලනික අභිලාෂයන් දිනා ගැනීමට ජන බලය ලබා ගත් පක්‍ෂය හැටියට දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කතා බහ කරන්න ලැහැස්තියි. ඒත් අපි අපේ ප්‍රතිපත්ති අත් හරින්නේ නැහැ. ජනතාව විසින් පළවා හරිනු ලැබූ රාජපක්ෂලාගේ නියෝජිතයා ලෙස රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට තරඟ කළ බැවින් අපි ඔහුට ඡන්දය දුන්නේ නැහැ.
උතුරු නැගෙනහිර ජනතාව අපිට බලය ලබා දුන්නේ දිගු කලක සිට දිනා ගන්නට සටන් කරන අපේ ජනතාවගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගන්න. අපේ උත්සාහය ද දෙමළ ජනතාවගේ ජාතික අභිලාෂයන් දිනා ගැනීමයි. ඒ සඳහා අපි හැකි සෑම අවස්ථාවක්ම යොදා ගන්නවා. දෙමළ ජනතාව ගේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් සහ යුද්ධයේදී ජනතාවට සිදුවූ හානියට ආණ්ඩුවේ වගවීම ඇතුළු වැදගත් විෂයන් ගැන ජනාධිපති වික්‍රමසිංහ සමඟ සාකච්ජා කරන්නේ දෙමළ ජනයාගේ අභිලාෂයන්ට හා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති අත් හැරීමකින් තොරවයි.
රටේ ජනතාව එකතුවෙලා රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව අරගල කිරීම තුලින් මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ අවසානයේ ගෝඨාභය රාජපක්‍ෂ ඔවුන්ගේ ධුරවලින් පළවා හැරියා. මේ නිසා ඇතිවූ පුරප්පාඩුවට රාජපක්ෂලාගේ සහයෙන් පළමුව අගමැතිකමත් පසුව ජනාධිපතිධුරයත් රනිල් වික්‍රමසිංහ ලබා ගත්තා. මේක ව්‍යවස්ථාවට අනුකුල වෙන්න පුළුවන්. ඒත් සදාචාරාත්මක නැහැ. ඒ හින්දා අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගැනීමේදී අපි වික්‍රමසිංහට සහාය දුන්නේ නැහැ. ජනතා කැමැත්තට එරෙහිව අපිට වැඩ කරන්න බැහැ” යි දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් පවසනවා.