කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
මෙයට අමතරව රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබිනි සේවිකාවන්ට නිවසේ සිට රාජකාරිය කිරීම සඳහා අවස්ථාව සලසා දීමටද එහිදී තීරණය කෙරුණු බව හෙතෙම සඳහන් කළේය.
ජයසුමන මහතා මෙසේ පැවැසුවේ කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදීය.
මෙම තීරණ වලට අදාල චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අද හෙටම නිකුත් කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අනුව රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා වශයෙන් මුර දෙකකට සේවයට කැඳවීමට පියවර ගැනෙනු ඇතැයි පැවසූ චන්න ජයසුමන මහතා සෞඛ්‍ය නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා සෑම ආයතනයකම නිසි බලධාරියකු බැගින් පත් කිරීමටද එහිදී තීරණය කෙරුණු බව පැවසුවේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා එම කටයුතු සිදු කරනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.










