ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇනවුම් කර තිබෙන බවත්, සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇනවුම් කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කර තිබේ.
ලොව පුරා සියලු රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලුමක් පවතී. එම තරගකාරී තත්ත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමඟ සාකච්ඡා කර සහාය ඉල්ලා සිටි බව ජනාධිපතිතුමා සඳහන් කර සිටියේය.
ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිද භාවයකින් හා විධිමත්ව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර තිබේ.
මේ වන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් එන්නත ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දී ඇත.
ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙලෙන සියලු දෙනාට ද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.










