දූෂණය, පවුල්වාදය, වංචාව පිරුණු දේශපාලන සංස්කෘතිය පිළිබඳව තමන් දැඩි කලකිරීමකින් පසුගිය කාලය ගතකළ බව සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ ගාලුමුවදොර රාජපක්ෂ පාලනය එලවන විරෝධතාවට සහය දක්වමින් පවසනවා.
අද (13) ගාලුමුවදොර පිටියට පැමිණි රෝහණ වීරසිංහ පවසන්නේ. “අපිට මේ කාලයේ මීට එරෙහි නැගිටීමක් දකින්ට ලැබුණේ නැහැ. ඒ නිසා අපි උන්නේ හිත යටින් විඳව විඳවා. දැන් මේ නොකඩවා ගෙනයන මේ අරගලයට සම්බන්ධ නොවී සිටීමට තරම් අපේ හිත්වල දෙගිඩියාවක් තිබුණේ නැහැ. වෙන දේවල් දැක දැක පිළිකුලෙන් නිහඬව ඉන්න බැරිකම නිසා හදවතින්ම අවන්කවම මම මේ අරගල බිමට ආවා” යි රෝහණ වීරසිංහ පැවසුවා.
“මගේ පුතාල දෙන්න මේ අරගලකරුවන්ගේ පරපුරේ. මාව අද මේ අරගලය මැදට තල්ලු කිරීම ගැන මගේ පුතාල දෙන්නටත් මගේ බිරිඳටත් ස්තුතිවන්ත වෙනවා. නිහඬ සිටීමෙන් අපිට කළ හැකි දෙයක් නැහැ. අපේ යුතුකම මෙතනට සජීවීව ඇවිත් මේ අරගලයට සහය දැක්වීමයි. අපේ ආශිර්වාදයත් ධෛර්යය දීමත් කරන්න ඕනේ නිසයි මම මෙතෙන්ට ආවේ. මේ පාලක පවුලට මේ අරගලය විසින් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේනම් නැහැ. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා මේ කියන්නේ මොකක්ද කියලා නුදුරු දිනයකදීවත් ඒ අයට තේරෙවා කියලා. මම අවංකවම මේ විරෝධයට, අරගලයට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා” යි ඔහු ගාලුමුවදොර පිටියේ විරෝධය අතර තුර දී පැවසුවා.
අරගලකරුවන් සමඟ එක්ව කලකට ඉහත ලක්ෂ්මන් විජේසේකර විසින් ගයන ලද ඔහු විසින් තනු නිර්මාණය කළ ‘ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ…. ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ….’ ගීතයද අචාර්ය රෝහණ වීරසිංහ එහිදී ගායනා කරනු ලැබුවා.
මීට අමතරව අදවන විට රාජපක්ෂ පාලනය බලය පැන්නීමට දයාන් විතාරණ, අචාර්ය රත්නශ්‍රී විජේසිංහ, සෝමරත්න දිසානායක, ජයන්ත චන්ද්‍රසිරි, නිශ්ශංක දිද්දෙණිය, සෙනේෂ් දිසානායක, අජන්ත අලහකෝන්, සරත් ද අල්විස් ඇතුළු කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ගාලු මුවදොර පිටියට එක්ව තිබුණා.










