මුහුණු පොත පුරා බැලුවත් ලාල්කාන්තය. මෙහෙ බැලුවත් ලාල්කාන්තය. මේ වසර 1986 සිට 1990 දක්වා 60,000ක් ඝාතනයට පත්වූ ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ලාල්කාන්තගේ ක්‍රියාකාරකම්ය. දශක තුනකට පෙර මාගේ ජේ.වී.පී. දෙවැනි කැරැල්ල ග්‍රන්ථ මාලාව සම්පාදනයේදී අනුරාධපුරයට ගොස් ජවිපෙ දෙවැනි කැරලි සමයේදී සොයාගත් දේශපාලන ක්‍රියාකාරකම්වලින් ඔහුට අදාළ දෑ මෙහි කෙටියෙන් සඳහන්ය. Sri Lanka Latest News
10
ජවිපෙ දෙවැනි කැරලි සමයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාස 16 කලාප 5කට බෙදා තිබිණි. ඒ අනුව අනුරාධපුර නගර කලාපයට අනුරාධපුරය, විලච්චිය සහ තන්තිරිමලය ඇතුළත් විය. මැදවච්චිය හෙවත් උතුරු කලාපයට මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය සහ වවුනියාව දකුණ ඇතුළත් විය. එප්පාවල, තඹුත්තේගම, කැකිරාව, ගල්නෑව, ගල්කිරියාගම සහ රාජාංගනය කලාවැව කලාපයටය. හොරොව්පොතාන කලාපයට අයත් වූයේ කහටගස්දිගිලිය, හොරොව්පොතාන සහ ගලෙන්බිඳුණුවැවය. කලාප ලේකම්වරුන් වශයෙන් 1988 ජනවාරි වනවිට කටයුතු කළේ නොච්චියාගම ලාල් හෙවත් ජයන්ත, බෝධිනායක හෙවත් පොඩි දිනේෂ්, ජයසේකර ඇතුළු කිහිපදෙනෙකි. ඒ 1988 ආරම්භයේදී මුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාප 5ටම සිටි ජවිපෙ පූර්ණකාලීනයන් සංඛ්‍යාව 34කි. පසුව 1989 පෙබරවාරි වනවිට අනුරාධපුර කලාප 5න් එක් කලාපයකට පමණක් පූර්ණකාලීන සාමාජිකයන් 100කට ආසන්න පිරිසක් විය.
දෙවැනි කැරැල්ලේ මැද භාගය වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මයිලන්කුලම, මඩුකන්ද, ලුණුපැහිච්චාව, මහතුඩුගොල්ලෑව, ගෝනමරියාව, වැද්දාකන්ද, අඹගහවැව, පිහිඹියගොල්ලෑව, මැස්සලාව ඇතුළු ගම්මාන රැසක් ජවිපෙ කේන්ද්‍රගත වූ ගම්මාන අතර ඉන් කිහිපයක්ම ජවිපෙ මූලකඳවුරක් වැනි ප‍්‍රදේශ බවට පත්ව තිබිණි.
කුරුන්දන්කුලමේදී 1964 අගෝස්තු 18 වැනිදා උපන් කුරුගමගේ දොන් ලාල්කාන්ත හෙවත් කේ.ඩී. ලාල්කාන්ත හෙවත් ක්‍රිෂාන්ත ජවිපෙට සම්බන්ධ වූයේ 1982දීය. ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජවිපෙ පූර්ණකාලීනයෙක් වූයේ 1987දීය. ඔහුට ජවිපෙ පන්ති පවත්වන ලද්දේ පොළොන්නරුවේ යාය 13 ගුරුවරයකු වූ රන්බණ්ඩා විසිනි. (පසුව පුත්තලමේ සාලියවැව පදිංචිය) පසුව ලාල්කාන්ත නොච්චියාගම අනු කොට්ඨාසයක් භාරව සිටි දේශපාලන අංශයේ නායකයෙක් විය. ඔහුගේ මව එම්.එම් සෝමාවතී වූ අතර පියා කේ.ඩී. විල්බට්ය. එම දෙපළට ලාල්කාන්ත සහ දියණියන් 5කි. ලාල්කාන්ත පවුලේ එකම පිරිමි දරුවාය. අනුරාධපුරේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී (දිවංගත) ‘ලංකාදීප’ පුවත්පතේ අතුල බණ්ඩාර එකල මා සමග පැවැසුවේ ලාල්කාන්තගේ පවුලේ අයට හරකුන් 80ක් පමණ සිටි ගව පට්ටියක්ද කුකුළු ගොවිපළක්ද කුඩා ඌරු ගාලක්ද තිබූ බවය. බස් රියැදුරෙක් වූ අතුලගේ පියාද මීන්තලේ හන්දියේ පදිංචියට පැමිණ ඇත්තේ 50 දශකයේ අග භාගයේදීය. ඔහුටද එවැනි කෘෂි සහ සත්ව ගොවිපළක් හිමිව තිබිණි.
ජවිපෙ කැරලිකරුවන් පිරිසක් විලච්චිය පොලිස් කොට්ඨාසයට අයත් පණුබණ්ඩාගේ නිවසේ පිහිටි පොලිස් මුරපොළට ප‍්‍රහාරයක් එල්ල කළ අතර, එහිදී පොලිසියේ ප‍්‍රතිප‍්‍රහාරයෙන් කැරලිකරුවන් 7කට බරපතළ තුවාල සිදුවීම නිසා පසුබැසීමට සිදුවිය. එක් තුවාලකරුවකු වූ එප්පාවල තිම්මාගම ප්‍රේමරත්න ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා නතර වන්නේ ලාල්කාන්තගේ නිවසේය. (ප්‍රේමරත්න ජවිපෙ ක්‍රියාකාරිකයන් අතර ඉමහත් ආදරයට ලක්වූ කටියාය අම්මාගේ පුත‍්‍රයෙකි). එම තුවාලකරුවන් 7ටම බෙහෙත් කරන ලද්දේ අනුරාධපුර අභය ළමා නිවාසයේ පාලිකාව වන සෝමා මීදෙනිය විසිනි. රජයේ මාණ්ඩලික හෙද නිලධාරිනියක් වූ ඇය පරිවාස සහ ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ එම තනතුරට අනුයුක්ත කර තිබිණි. (වර්තමානයේ රජයේ විශ්‍රාමික මාණ්ඩලික හෙද නිලධාරිනියකි. ‘නුවර අම්මා’ බලන්නට ගියා යැයි ලාල්කාන්ත කියා ඇත්තේ මේ නැන්දම්මා ගැන විය යුතුය. ලාංකීය සංස්කෘතිය අනුව නැන්දම්මාද හඳුන්වනු ලබන්නේ අම්මා ලෙසිනි.) කලින් 1971 අප්‍රේල් 05 වැනිදා කැරැල්ල වනවිට සෝමා මීදෙනිය මහව රෝහලේ හෙදියකි. ඇය 1971 සිට ජේ.වී.පී. හිතවතියක් වූවාය. සෞඛ්‍යදාන ව්‍යාපාරයේ අනුරාධපුර ඒකකයේ පුහුණු කිරීම භාරව සිටි පස්දරු මවක් වූ සෝමා මීදෙනියගේ වැඩිමහල් දියණිය වූයේ දිල්රුක්ෂිය. ලාල්කාන්ත සහ දිල්රුක්ෂි අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ සිටම පෙම්වතුන් වූහ. (රුහුණ සරසවියෙන් අධ්‍යාපනය ලබා විද්‍යා උපාධිධාරිනියක වූ දිල්රුක්ෂි මීදෙනිය පසුව ලාල්කාන්තගේ බිරිඳ වූවාය. ඇය සරසවියට යන විටද ජවිපෙ සාමාජිකාවකි. වර්තමානයේ විශ්‍රාමික උපාධිධාරී ගුරුවරියකි)
විලච්චිය පොලිසිය විසින් තුවාලකරුවකු වන ප්‍රේමරත්න සිටි නිවසට කඩාවැදී ලාල්කාන්ත, අභය ළමා නිවාස පාලිකා සෝමා මීදෙනිය, මිනින්දෝරුවකු වන ගල්හේන, සර්වෝදය ගම් දහසේ ව්‍යාපෘතියේ නිලධාරියකු සහ තුවාලකරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකරන ලදී.
පසුව ජවිපෙ විසින් 1988 නොවැම්බර් 09 අනුරාධපුර බන්ධනාගාරයේ සිටි තංගල්ලේ අනුරාධපුර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් මුතුකුමාරණ හෙවත් රාජා හෙවත් ලොකු සරත්, රඹෑවේ මහින්ද හෙවත් කළු, පාලංචිකුලමේ කපිලවංශ ඇතුළු ජවිපෙ කැරලිකරුවන් 23 දෙනකු ප‍්‍රහාරයක් එල්ලකර මුදවාගන්නා අතර, එයට ලාල්කාන්තද අයත් විය. ඒ වනවිට ලාල්කාන්ත බන්ධනාගාරයට පැමිණ ගතවූයේ සති කිහිපයකි. කැරලිකරුවන් විසින් එහිදී අනුරාධපුර බන්ධනාගාරයෙන් රිපීටර් තුවක්කු 17ක්, රිවෝලර් 03ක්, පතොරොම් තුවක්කු 11ක්, පතොරොම් 310ක් පැහැරගන්නා ලදී. පසුව ලාල්කාන්ත පුවරසන්කුලම ග‍්‍රාමයේ නිවසක රැකවරණය ලැබීය.
කෙටි කලකින් නිදහස්වන අභය ළමා නිවාස පාලිකා සෝමා මීදෙනිය පසුව උඩපේරාදෙණිය ටිකිරි ළමා නිවාසයේ පාලිකාව ලෙස පත්ව යනු ලැබීය. අනුරාධපුර සන්නද්ධ ලේකම්ව සිටි වැලිමඩ ෆොන්සේකා හෙවත් නිමල්ට යළි එහිදී ලාල්කාන්ත හමුවීමෙන් පසු ජවිපෙ උතුරුමැද කලාපය භාරව සිටි යුද ලේකම් සහ දේශපාලන මණ්ඩල සභික ලලිත් විජේරත්න මුණගස්වනු ලැබීය. පසුව ලලිත් විසින් පොළොන්නරුව එගොඩපත්තුවේ ජවිපෙ කොට්ඨාස ලේකම් ලෙස ලාල්කාන්ත හෙවත් ක්‍රිෂාන්තට වගකීම් භාරදෙන ලදී. අරලගංවිල සහ වැලිකන්ද පොලිස් කොට්ඨාස දෙක එයට අයත්ය. මෙගොඩපත්තුවේ නායකත්වය හිමිවූයේද අනුරාධපුර බන්ධනාගාරයෙන් පලා ආ කපිලවංශ හෙවත් ෆාරුක්ටය.
පසුව යළිත් කදුරුවෙල බස් නැවතුමේදී අත්අඩංගුවට පත්වූ ලාල්කාන්ත වසර 03කට පසු නිදහස ලැබීය. වසර 2ක් බූස්සේ කඳවුරේ ජවිපෙ වැඩකටයුතුවලට ක්‍රියාකාරීව දායක විය. කඳවුරේ සිටි තරුණයන්ට සාමාන්‍ය පෙළ විද්‍යා සහ ගණිත විෂය උගන්වනු ලැබූ පිරිස අතර ඔහුද විය. 1992 අගභාගයේදී නිදහස ලැබීය. ගොවිතැනේ නියැළෙමින් රත්මලානේ පිහිටි ‘රන්වන් යෝගට්’ බෙදාහැරීමේ අනුරාධපුර ඒජන්සියක්ද පවත්වාගෙන ගිය ලාල්කාන්ත 1994 මහ මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ජවිපෙ වෙනුවෙන් ශ්‍රී ලංකා ප‍්‍රගතිශීලී පෙරමුණ හරහා තරග කළේය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත වසර 2000 වනවිට ජවිපෙ මුල්පෙළේ නායකයෙක් බවට පත්විය.
සෞඛ්‍යදාන ව්‍යාපාරයේ අනුරාධපුර ඒකකයේ 1989 සංවිධායකවරයා වූයේ එජාප ප‍්‍රබල ක්‍රියාකාරිකයකු වූ ගාමිණී කුසුම්ශාන්තය. ඔහු ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ බලමණ්ඩලයේ සභාපති වශයෙන්ද කටයුතු කළ අතර, එවක එජාප ආණ්ඩුවේ ඇමැති චන්ද්‍රා බණ්ඩාරගේ සමීපතමයෙකි. අරුණ දිසානායක (පසු කලෙක ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරයකු විය) ඇතුළු ජවිපෙ ක්‍රියාකාරිකයන් කිහිපදෙනෙක් 1988/89 අත්අඩංගුවට ගත් අවස්ථාවේදීද ඔවුන් නිදහස්කර ගැනීමට මැදිහත්වූ ගාමිණී කුසුම්ශාන්තද කැරලිකරුවන් විසින් පුබුදුපුරදී 1989දී වෙඩිතබා ඝාතනය කරන ලදී.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් කැකිරාව යුද හමුදා කඳවුර, පැල්වෙහෙර යුද හමුදා කඳවුර, පණ්ඩුලගම යුද හමුදා කඳවුර, වවුනියාවේ යුද හමුදා ජෝශප් කඳවුර ඇතුළු ස්ථාන ගණනාවකදී තිරස්චීන වධබන්ධනවලට මුහුණ දුන්හ. එවක උතුරුමැද පළාතේ ආඥාපති සහ හමුදා සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කළේ කර්නල් ආනන්ද වීරසේකරය. උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ප්‍රේමදාස උඩුගම්පොල 1988 මැද භාගයේදී රජය මගින් පත්කිරීමෙන් පසු පොළොන්නරුවේ මෙන්ම අනුරාධපුරයේදී තත්ත්වය වඩාත් දරුණු විය. අනුරාධපුරයේ ආරක්ෂක අංශ සහ පොලිසිය මගින් ඍජුවම ක්‍රියාත්මක වූ ‘කළු බළල්ලු’ නම් අතුරු හමුදාවක් ගොඩනැගිණි. එමගින් තරුණයන් සිය ගණනක් මහමග ප‍්‍රසිද්ධියේ මරාදමා තිබිණි.
දෙවැනි කැරැල්ලේ පරාජයෙන් පසු ජවිපෙ යළි ගොඩනැගීමේදී 1994න් පසු උතුරුමැද කලාපයේ ලේකම් වූයේ නන්දන ගුණතිලක හෙවත් සුමේධය. එමෙන්ම ජවිපෙ අනුරාධපුර දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරුන් වශයෙන් කුරුණෑගල ශාන්ත රත්නායක හෙවත් මොහාන්, විජිත හේරත් හෙවත් කැළුම්, සුරේන්ද්‍ර ජයරත්න, ගලෙන්බිඳුණුවැව කළු සේනාරත්න, කැබිතිගොල්ලෑවේ ගාමිණී කුලරත්න, කුරුණෑගල කුමාර, බකමූණ සෙන්පති සහ අනුරාධපුරයේ වසන්ත සෝමරත්න ඇතුළු කිහිපදෙනෙක්ම 1994 සිට 2018 දක්වා කටයුතු කරන ලදී.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න










