ආගමික සිල්පද වනාහි සමාජ විනය ස්ථාවර කිරීමට සකසාගත් ප්‍රඥප්ති සමූහයක් බව කවුරුන් හෝ ප්‍රකාශ කර ඇති බවක මතකයක් මට තිබේ.
සාධු සම්මත කවර දහමක වුවද තේමාව මිනිසා පෙරටුකොටගත් සමාජයක යහසාධක ගුණදායක පැවැත්මය.
මහා භාරතයේ ජනාධිපතිවරයකු සහ මහා විද්‍යාඥයකු වූ මහාචාර්ය අබ්දුල් කලාම්තුමා හමුවීමට මා භාග්‍ය ලද අවස්ථාවකදී එතුමා කළ ප්‍රකාශයක් මගේ හිතේ ඊයම් බරු කිඳාබැස්සා සේ තැන්පත්ව තිබේ.
ඒ මෙසේය.
(If there is righteousness in the heart,there will be beauty in the character.If there is beauty in the charcter,there will be harmony in the home.If there is harmony in the home,there will be unity in the village.If there is unity in the village there will be peace in the world.)
හදවතේ ධාර්මිකත්වය (යුක්තිය, සාධාරණත්වය සහ මනුස්සකම) ඇත්නම් චරිතය (පුද්ගලිකතවයේ) ප්‍රසන්නය. ප්‍රසන්න චරිතයක් ඇත්නම් නිවෙසේ සාමූහිකත්වය ඇතිවේ. නිවෙසේ සාමූහිකත්වය ඇත්නම් ගමේ (ප්‍රදේශයේ) එකමුතුකම තිබේ. ගමේ එකමුතුකම ඇත්නම් ලෝකය සාමයෙන් පිරේ.
බුදුන් වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ, මහමත්තුමා, මහා විෂ්ණු (හින්දු) වැනි ආගමික ශාස්තෘන් වහන්සේලාද මෑත යුගයේ උපන් සායිබාබා, පරමහංස යෝගානන්ද, ස්වාමි විවේකානන්ද, මහා බාබාජි වැනි දර්ශනවාදීහුද, ආධ්‍යාත්මිකව දියුණුව ලද්fදා්ද, ලොවට ප්‍රකාශ කළේ කරුණාව දයාව මෛත්‍රී අවිහිංසාව පාදක කරගත් ධර්මයකි. (කරුණා සීතලං හදයං) ඒ ධර්මයන්හි පොදු සාධකය වෙනත් කෙනකුට හිරිහැර නොවන අන්දමින් ජීවත් වීමේ ලෝකයටම එකඟ විය හැකි සමාජ ක්‍රමයකි.
“සබ්බේ තසන්ති මච්චුනෝ” (සියල්ලෝම මරණයට බිය වෙති) එමගින් තමන්ද අනුන්ද ආරක්‍ෂාවේ. “මාතාපිතූ උපට්ඨානං” (මවුපියන්ට සලකන්න) “ඤාත කාණංච සංඝහෝ” (නෑදෑයන්ට සලකන්න.) අදට වර්ෂ දෙදහස්පන්සිය හැටහතරකට (2564) පෙර උපන් බුදුන්වහන්සේ දෙසූහ.
ඊට වසර පන්සිය හැටහතරකට (564) පමණ පසුව උපන් ජේසුස්ස්වාමි දරුවාණෝද එපවත්ම කීහ. දස පනතක්ද පැනවූහ. මහමත්තුමානන්ද එමගින් ඉවත්ව ගියේ නැත. බුදුන්වහන්සේ පන්සිල්, අටසිල්, දසසිල් ආදී වශයන් යහගුණ ආරක්‍ෂා කිරීමට කරුණු මෙන්ම ශාසනයේ චිරස්ථිතිය පිණිස සංඝයා වහන්සේලාට ශික්‍ෂා පද දෙසිය විසිහතක් (227) පැනවූහ. කවුරුන් මොනවා කීවද හින්දු ධර්මය සහ බුද්ධ ධර්මයේ කර්මවාදය අතර වෙනසක් නැති තරම්ය.
මොඩිෆයි ධර්මය
හිරු අවරට යාමට පෙර (මධ්‍යාහ්නය පසුවීමට පෙර) දාවල් දානය (දිවා ආහාරය) වළඳන ලෙසට බුදුන්වහන්සේ පනවන ලද ශික්‍ෂා පදයකි (නීතියයි.)
හිරු අවරට හැරී (මධ්‍යාහ්නය පසුවී) දෑඟුලක් (අඟල් දෙකක්) ගතවන තෙක් “ලන්ච් ටයිම්” එක තිබුණාට කමක් නැතැයි සාසනයේ සිටි “අපි බුදු පුතුම්හ” (බුදු පුතුන්-සඟුන්) යැයි හඳුන්වාගනු ලැබූ “ චීවරධාරීන් පිරිසක් විසින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සියයකට පසුව බුද්ධ නියමයන්, තමන්ට අවශ්‍ය අන්දමට එසේ “මොඩිෆයි” කරගනු ලැබූහ.
මළකුණු නොකා සතකු මරාකෑම (හලාල්) ඉස්ලාමීය චාරිත්‍රයකි. වාලුකා කාන්තාරවල සර්පයන් අධික බැවින් සර්ප දෂ්ටයකින් මළ සතකුගේ මාංශ අනුභවය මරණ ගණනාවකට හේතුවිය හැකි බැවින් මරාකෑමේ චාරිත්‍රය අනුදත්තේය.
ඉතාම රත්පැහැ ගැනෙන තුරු රත්වූ යකඩ තහඩුවක් මත සිටගනිමින් සතකු ඝාතනය කළ යුතු බව ඉස්ලාම් නියමයයි.
ඒ අන්දමින් රත්වූ යකඩ තහඩුවක් මත සිට ඒ කාර්යය කිසිසේත්ම කළ නොහැකි බැවින් ඉන් ප්‍රකාශිතය සත්ව ඝාතනයෙන් වැළකීමයි. එහෙත් ආගමික සිද්ධාන්තයෙන් පිට නොයන අනුගාමිකයෝ රත්යවටක් වශයෙන් රතු තීන්ත ආලේපිත ලෑල්ලක් මත නැඟී සතුන් ඝාතනය කර භක්‍ෂණය කරත්.
ශාස්තෘ දේශිත (ධර්ම) මේ වන විට තමන්ට අවශ්‍ය පරිදි නමාගෙන ඇති බවට සාධක වශයෙන් ඔය කරුණු පෑම්හ. සියලුම ආගමික නායකයන් විසින් තහනම් කරන ලද අදත්තා දානය හෙවත් අදින්නා දානය නම් වූ සොරකම ලෝක ව්‍යාප්ත පිළිලයකි.
බුදුන් වහන්සේගේ ධර්මද්වීපයේම උන්වහන්සේගේ අනුගාමිකයන්ට පමණක් නොව ඔවුන්ගේ දුවා දරුවන්ටත්, මුණුබුරු මිණිබිරියන්ටත් “හුවගාතේ” (සුදහ ගින්නේ) මියයන්ටත් ලෝකෙට අතපා හිඟන්නන්ගෙන් පවා හිඟාකන්නටත් සිදුවී ඇත්තේ හොරාකෑම නිසාය.
එහෙත් අපේ නායක අයියලා සහ ගොයියලා හොරකම් කරන්නේ තමන්ට පමණක් නොව මතු මත්තේ ඉපදෙන්ට සිටින උන්ගේ හත්මුතු පරම්පරාවෙන් පවා ඉපදෙන උන්ගේ උන්ටත් ඇතිවෙන්නටය.
මන්ත්‍ර “අහන්නේ” (බලපාන්නේ) රජ කුලේ “නාගයින්ට” මිස ගෙම්බන් මීයන් ගිලින නාගයන් යැයි කියන “ගැරඬින්ට” නොවේ. ශාස්තෘ ධර්මයද එසේමය.
හොඳම උදාහරණය මෙසේය.
මාර පරාජය කර සියලු කෙළෙසුන් නසා බුද්ධත්වයට එළැඹීමට සිදුහත්තුමාණන් පිට දුන් ශ්‍රීමා බෝ හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොටගත් අටමස්ථානාධිපතින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මැයි අටවැනිදා වැඳ පිදූවා වූ මැණික් කටුවේ සිට වැලමිට දක්වාත් ආරක්‍ෂක පිරිත් නූල් ගැටගසාගත් “අනුන්ගේ දුම්මැස්ස” පවා අතගාන අපේ මහරජාණෝ නවවැනිදා ගාලුමුවfදාර අරගලයේ කොල්ලන්ට කෙල්ලන්ට දිගට හරහට යකඩ පොලුවලින් කෙළින්නට උ(හු)ගේ කටු ලෙවකන, පිං(පි) හෙවත් පක්කලි සර්විස් එකේ යෙදෙන ජොන්ස්ටා ප්‍රමුඛ ගස්තර සුනඛ පෝතකයන්ට අණ දුන්නෝය.
ලෝකයා රවටන්නට සුදු රෙද්දෙන් කුණුකය හෙවත් පංචස්කන්ධය වසාගන්නා මේ තෙමේ මහජන මුදල් සොරාගෙන සිල් රෙදි බෙදුවේය.
“මාතාපිතූ උපට්ඨානං” සහ “ඤාත කාණංච සංඝහෝ” බුද්ධ දේශිතයයි. එහෙත් එසේ කළ යුත්තේ මහජන දේපොළ හොරකම්කර නොවේ. තමන් “සම්මා ආජීව”ව උපයා සපයාගත් ධනයෙනි.
මහවුන්ට වීරකැටියේ ස්මාරක ඉදිකළේ මහජනයාගෙන් කොල්ලකෑ හත්කෝටියක් ධනයෙනි. ඊට වන්දි ගෙවිය යුත්තේ මේ රටේ මහජනතාවට සහ ඔවුන්ගේ අඹුදරුවන්ටය. එහෙත් සෑම සියලු ආගමකම ඉගැන්වෙන පරිදි මේ අපරාධවලට “සාංදෘෂ්ටික” (මේ ආත්මයේ) හෙවත් දිට්ඨ ධම්ම වේදනීය, ඊළඟ ආත්මයේ (උපපජ්ජවේදනීය) පමණක් නොව සසර වසන තුරාම (අපරාපරිය) අරිම්බු ගණනේ “ පඩිසන්” (විපාක) දෙන්නේමය.
බලු කපුටන් වශයෙන් ආත්ම ගණන් නැවත නැවත ඉපදෙන්නේය. නිරා දුක් විඳින්නේය. මේ පාප කර්මයේ විපාක “ප්‍රේත වත්ථුවේ” පැහැදිලිවම විස්තෘතය. ථෙර ගාථා සහ ථේරී ගාථාවලද එසේම විස්තර කර තිබේ. බලු කපුටන්ව උපදී.
දෙවියොත් හෙලුවෙන්
‘උපනත් පේතව පවු කොට නොපනත් – උගුරත් නොතෙමෙයි සුර ගඟ වැටුණත්’ ප්‍රේතයකුව උපන් කල්හි සුරගඟ (ගංගා) කටට වැටුණත් ඉන් බින්දුවක් හෝ පානය කළ නොහේ. පව්කාරකමේ මහත.
කෙළි යට කඩක් සඟවා යහළුවකු ගෙනේ – එළි කොට නැවත දුන් මිනිසකුට එතකිනේ විළි වැස්මක් නොමවිය දෙවි උවත් අනේ – කෙළියටවත් නොකරව් පව්කමක් අනේ… සොරකමේ විපාක “ලෝ වැඩසඟරාවේ” එසේ දැක්වේ.
කිතුනු දහමේ ප්‍රකාශිත අන්දමට සොරාගැනීම මෙන්ම සොරාකෑම ආරම්භ වූයේද මානවයාගේ ආරම්භයත් සමගය. දෙවියන් වහන්සේ මැවූ “ඒඩන්” උයනේ ඇපල් ගසේ “තහනම්ගෙඩි” ඒවා (කාන්තාව) විසින් සොරා කනු ලැබුවේය. ඒ පාප කර්මයට තවමත් සියල්ලෝම වන්දි ගෙවන්නෝය.
බුදුදහමේ මෙන් කිතුනු දහමේ “පුනරුත්පත්තියක්” නැත. (එවන් ආගමක් අක්‍රියවාදී ආගමක් ලෙස බුදුදහමේ ඉගැන්වේ) එබැවින් සාංසාරිකව වන්දි ගෙවීමක් නැත. පාපකර්මයට ලැබෙන විපාකය ස්වර්ගයට යා නොහැකිවීමය. සදාකාලික නිරයයි. එය දෙවියන් වහන්සේගේ විනිශ්චය දිනයේදී සිදුවන්නකි. පවුකාරයන් නිරයටත්, ධාර්මික ජීවිතයක් ගෙව්වෝ ස්වර්ගයටත් යැවෙති.
“ඔටුවකුට ඉදිකටු මලකින් රිංගා යාහැකි වුවත් පවුකාරයකුට ස්වර්ගයට ඇතුළු විය නොහැකිය.” ක්‍රිස්තු ධර්මයේ සඳහනි.
ශු.බයිබලයේ නික්මයාම පොතේ 20 වැනි පරිච්ජේදයේ දස පනතේ හත්වැනි පනතේ සොරකම ගැන මෙසේ ඇත. දෙවියන් වහන්සේ කතා කොට “සොරකම් නොකරවයි” ආඥා වදාළ සේක.
ඉස්ලාම් දහමේද පුනරුත්පත්තියක් නැත. දේව නීතියට අනුව සොරකමට විපාක වශයෙන් දිළිඳුව අංගවිකලව උපදින්නේ වෙයි. එහෙත් රාජ නීතියට අනුව විපාකය (දඬුවම) අංග ඡේදනයයි. අත් ඇඟිලි සිඳීමයි.
අඬන දරුවකුගේ කුසගින්නට යමක්, දරිද්‍රතාවෙන් පෙළෙන දරුවකුගේ අධ්‍යාපනය පිණිස පොතක් පතක් සොරාගැනීම පාපයක් නොවන බව ඉස්ලාම් ආගමේ ඉගැන්වෙන්නකි. මියගිය කෙනකු මිනිස් ලොව යළි ඉපදීමක් නැත. අල්ලාහ් දෙවියන්ගේ විනිශ්චය දිනය එළඹෙන තෙක් “මහ්ෂර්” නමැති පිටිටනියේ වෙසෙත්.
නිරයට උඩින් “ෂිරාතුල් මුස්තකීර්” නමැති පාලම තිබේ. ස්වර්ගයට යාමට ඒ පාලම තරණය කළ යුතුය. සොරාකෑමාදී පවුකළ උන් පහළ නිරයට වැටේ. පින් කළ උන් එතෙර වේ.
හින්දු ධර්මය යනු සෛව (ශිව) ධර්මයයි. ශිව දෙවියන් විසින් දේශනා කරන ලද ධර්මයයි. ශිව ආගම පිළිබඳ නිශ්චිත කාල නිර්ණයක් කළ නොහේ. ශිව ධර්මය වේද ග්‍රන්ථවල ලියා තිබේ. ඒ දැනට වසර හත් අටදහසකට පෙරාතුවය. ලෝකයේ පැරණිම ආගම(ක්) ලෙස සැලකේ. බුදුදහමත් ශිව දහමත් අතර දැඩි සම්බන්ධතාවක් ඇත.
පවු කළ උන් පාපය ගෙවෙන තුරු මැරි මැරී උපදිති. ඒ, කණුන්, කොරුන්, ගොළුවන්, ආබාධිතයන්, දිළින්දන්, උන්මත්තකයන් වශයෙනි. බුද්ධ ධර්මයේ නැවත ඉපදීම අවසාන චුති චිත්තය (මැරෙන මොහොතේ සිතට නැඟෙන අවසාන සිතුවිල්ලට) අනුව ඊළඟ උපත සිදුවේ. පාපකාරී අකුසල සිතුවිල්ලක් නම් උපත ඒ අනුවය. කුසල චෛතසිකයක් නම් ඒ අනුවය.
(චේතනා අහං භික්කවේ කම්මං වදාමි (මහණෙනි, මම චේතනාව කර්මයයි කියමි) බුදුන් වදාළ සේක. මේ පිළිබඳ සම්පූර් විස්තරය “කර්ම විභාගයේ” දැක්වේ)
බුදුන් කල විසූ එක් භික්‍ෂුන් වහන්සේ නමක් සිය සිවුරට (වස්ත්‍රයට) ආශාවෙන් මියගිය බැවින් සිවුරක “ඉනිකුණෙකු” වී උපන්නේල.
බුදුන් වහන්සේ සමග ඉතා කිට්ටු සම්බන්ධයක් පවත්වා ගෙන යමින් වෙහෙර විහාර තනවා නොයෙක් දානමානාදී පින්කම් කළ “කොසොල්” රජතුමාට මරණ මංචකයේදී පාපකාරී සිතුවිල්ලක් හිතේ ඇතිවී මිය පරලොව ගොස් ඝන වනාන්තරයක “පිඹුරෙකු”ව උපන් බව දහමේ සඳහනි. මියයන මොහාතේ සිතේ ඇතිවන සිතුවිල්ල (චුතිචිත්තය) යහපත් එකක් වනු වස් (සඳහා) සෑම සියලු මොහොතකම (නිරන්තරයෙන්) සිතේ හොඳ සිතුවිලි ඇතිකර ගන්නා ලෙස ඉගැන්වේ.
අපට කුකුසක් නැඟෙන්නේ එහිදීය.
සොරාකෑම සහ රජසැප ගැන සිතන රාජපක්‍ෂ නඩයට අවසාන චුති චිත්තයද රාජභෝජන සොරාකෑම ආදිය ගැන බැවින් ඒ සිතුවිල්ලකට අනුව නැවතත් මේ රටේම ජනාධිපති හෝ අගමැති හෝ තනතුරවලටම ඔය යක්කු ටික යළිත් ඉපදෙන්නට බැරිකමක් නැතැයි සිතෙන බැවින් ගත සළිත වේ.
අපායේ පාලක යම රජුගේ නඩු තීන්දුවට බියෙන් අතීතයේ විසුවෝ පවුකම් අත්හළහ. කිසියම් සිද්ධියක් නිසා මේ වන විට අපායේ යම රජු නැති හෙයින් අපේ බොහෝ දෙනෙක් නොබියව පවුකම් කරති.
අපායේ යම රජු නැති නියාව අපේ සීයා මට කියා දුන් කතාව මෙසේය.
අපේ ගමේ විසූ ලොකුබණ්ඩේ නමැති වෘත්තීය “මස් වැද්දාගේ” (වන සතුන් දඩයම්කරන්නා) අවසාන ඉල්ලීම තමා මිහිදන් කරන විටෙක ඒ සමගම තම කට පුංචාද (තුවක්කුව) යම ලෝකයට ගෙන යාමට මිනී පෙට්ටියටම දමන්නට කියේලු. ඔහු මියගිය පසුව ඔහුගේ ඥාතීන් ඔහුගේ ඉල්ලීම පරිදි තුවක්කුවද දැමූ හෙයින් ලොකුබණ්ඩේ යම රජු ඉදිරියට යන විට කට පුංචාද රැගෙන ගියේය.
ලෝදිය හැළිය උඩට කටු ඉඹුල ඇද වැටේ.
යම රජු ඒ කුමක් දැයි ඇසූ කල තමා මනුස්ස ලෝකයේදී දුම් ඉරූ පයිප්පය යැයි පිළිතුරු දුන් පසු තමාටත් වරක් දුම් ඉරීමට දෙන ලෙස යම රජු ඉල්ලුවේලු. දුමක් දැමීමට යම රජු තුවක්කුවේ කට තම මුවට ගත් වහාම ලොකුබණ්ඩේ කොකා ගැස්සුවෙන් යම රජු මියගියේලු. ඔහුගේ අවසන් කටයුතු කිරීමට මිනී පෙට්ටිය සෑදීමට කැපූ කටු ඉඹුල යමපල්ලන්ගේ නොසැලකිල්ල නිසා ලෝදිය හැළිය උඩට වැටී එයත් කැඩීබිඳී ගියේලු. එවක් පටන් අපායේ පාලක යම රජුත්, කටු ඉඹුලත් ලෝදිය හැළියත් යන සියල්ල නැති හෙයින් දැන් අපායට යන්න කිසිවකු බිය නැති හෙයින් සියලු දෙනා නොබියව පවුකම් කරත්ලු.

චන්ද්‍රසේන මාරසිංහ










