නිරිතදිග මෝසම් කාලයේදී එල්නිනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම නියං කාලයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකදී අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා පැවැසුවේ මෙම තත්ත්වය හමුවේ පානීය ජලය මෙන්ම සියලු වාරිමාර්ග කටයුතුවල ජල කළමනාකරණය සිදුකළ යුතු බවය.
එමෙන් මෙම පවතින උණුසුම් තත්ත්වය මෙම මස පුරාවමත් බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
‘අපි බලාපොරොත්තු වෙනවා මේ පවතින උණුසුම් තත්ත්වය මේ මාසය පුරාවටමත් අඩු වැඩි වෙවී ලබන මාසයේ සති 2ක් 3ක් පමණ පවතී කියලා. 20න් විතර පස්සේ නිරිත දිග මෝසම පටන් ගන්නවා. නිරිතදිග මෝසම පටන් ගන්නකොට මේ උණුසුම ටිකක් අඩුවෙනවා. ඒත් දැනට මේ දැනෙන දැඩි අපහසුකාරී තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා මැයි මාසේ 3 වැනි සතියෙන් විතර පස්සේ ගොඩාක් දුරට පහවෙලා යාවී.’
‘ඒත් එක්කම මේ නිරිතදිග මෝසමේදී එල්නිනෝ තත්ත්වයක් ආවොත් ජුනි, ජූලි, අගොස්තු වැස්ස අඩු වෙනවා සැප්තැම්බර් දක්වාම. නියං කාලයක් ඒවී. ඒ නිසා හැම අංශයෙන්ම පානීය ජලය, සියලු විදියට වාරිමාර්ග කටයුතුවලට ජලය කළමනාකරණය කරන්න සිදුවෙයි. විශේෂයෙන් ඉදිරියේදී ඒ ගැන අවධානය යොමුකරන්න වේවි…’ යනුවෙන් ඔහු සඳහන් කළේය.










