“රූපය සාපය වේ මගේ – ජීවය හානි සාද දේ” යන ගීය අප “ගැටව්” කාලයේ (පනහ දශකයේ) එක් කාලපරිච්ඡේදයක්දී අපේ කටේ නිරන්තරයෙන්ම රැඳී තිබුණකි. ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන්ගේ “සිරියලතා” නවකතාවට අනුව එඩී ජයමාන්න ඒ නමින්ම අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයේ (ඒ අවධියේ බයිස්කෝප්) රුක්මණී දේවී ඒ සින්දුව (එකල වහර) ගැයුවාය. (ඒ යුගයේ ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන්ගේ නවකතා චිත්‍රපට ගත කෙරුණු යුගය විය.)
ඒ සින්දුව අපට වැඩි වශයෙන්ම මතක හිටියේ ඒ සමයේ ඇත්ත වශයෙන්ම “සිරියලතාවක්” වූ රුක්මණීගේ ගායනයටත් වඩා අපට “උහුලන්නට” බැරිවුණේ ඇය අඬ අඬා වැළපුණු අන්දම නිසා අපේ වැඩිහිටියන් කී “තෙල්කරමතේ” අපේ ඉහටත් (හිසට) ගසාගෙන එමින් තිබුණු බැවිනි.
ඒ ගීතයේ “සාපය” යන්නෙහි තේරුම එසමයේ අපට “හරිහමං” (නිවැරදිව හෝ හරියටම) අන්දමට අවබෝධයක් නොවුණු අතර පොතපත වැඩි වැඩියෙන් කියවන්නට වූ කල ඩීමන් ආනන්දගේ වවුලාගේ සාපය, ෆ්‍රැන්කන්ස්ටින්ගේ සාපය ඉංගිරිසි නවකතාවක් වූ “වෙන්ඩෙටා” (VENDETTA) වැනි කෘති කියවන්නට වූ විට එහි අර්ථය පසක්විය.
සාපය “නාමපදය”ය. සාප කිරීම ක්‍රියාපදය වේ. ඒ අර්ථය දීම සඳහා (වැඩි වශයෙන්ම) දකුණු පළාතේ යෙදන වචනය “හැවිල්ල” වේ. “හවනවා” යන්න ක්‍රියාවයි.
මහා කිවි රැපියෙල් තෙන්නකෝන් සූරීන්ගේ විශේෂ ගණයේ පැදිපෙළක් වූ සුනිල් ශාන්තයෝ “දුදනොද බිඳ බඳ තෙද කඳ – කඳ දෙව්රද සාමිනේ” යන සේ ගැයුවෝය. (සුබැසියනේ, එහි සුමට ලෙස වදන් යොදා ඇති අන්දම විමසා බලත්වා. අද ඒ ගීය අසන්නටවත් නැති)
කිසියම් අන්දමේ බලවතකුගෙන් කිසියම් අන්දමක පීඩිතයකුට (දුබලයකුට) කෙරුණු අසාධාරණයකට “අඩුව” (පළිය, වාඩුව) දෙන ලෙසට පීඩිතයා විසින් වෙනත් බලවතකුගෙන් හෝ සොබාව ධර්මයාගෙන් කරනු ලබන ආයාචනයද සාපයකි.
තම කුකුළා සොරාගත් එකකු මරාදමන ලෙසට කතරගම දෙවියන්ට කෙරෙන වයෝවෘද්ධ කාන්තාවක්ගේ “කන්නලව්ව” (කන්නලාකාරිය) එවන් හැවිල්ලකි. ප්‍රබලයන් දුබලයනටද ඒ අන්දමේ සාප කරනු ලැබේ. තමාට නිසි ගෞරවය නොදැක්වීම ගැන උරණවූ “දුර්වාසස්” ඍෂිවරයා (ඔහු හොස්ස ළඟින් මැස්සකුටවත් යා නොහැක්කෙකි) ප්‍රේමයෙන් “මනෝගසා” සිටි සකුන්තලාගේ අතපසුවීමකට (නොදැනකළ) සාප කළ අන්දම මහා කවි කාලිදාසගේ “සාකුන්තලයේ” විස්තෘතය.
සාපය ගැන කතා සංස්කෘත සාහිත්‍යයේ විශේෂයෙන් දේවකතාවල බෙහෙවි. ඉංගිරිසි සාහිත්‍යයේද එමටය.
කිසියම් කෙනකුන් විසින් කරන ලද සාපයකින් අත්මිදීමටද කිසියම් සිද්ධියක් හෝ දෙයක් හෝ හේතුප්‍රත්‍ය වීමද (පාදක) අනිවාර්ය සිද්ධාන්තයකි. තම සාපයෙන් මිදීමට සකුන්තලාට හැකි වන්නේ දුෂ්‍යන්ත රජුගේ “මුදුව” දුටු කල යැයි දුර්වාසස් ඍෂි සාපකරමින්ම කීවේය.
ඉඳිකටුවක් ඇනී රජ කුමරිය මියයන බවට නපුරු සුරංගනාවක විසින් (එක්හැවිරිදි) රාජකුමරියකට කරන ලද සාපය සියක් වසකට නිද්‍රාවකට පත්වන අන්දමින් වෙනත් සුරංගනාවක විසින් තුනීකරන ලද අන්දමත් ඇගේ ඉරණම්කාර කුමාරයා පැමිණ ඇය සාපයෙන් මුදවා ගන්නා අන්දමත් කියැවෙන ඉංගිරිසි වෘතාන්තය “නිදන සුරූපිනිය” (SLEEPING BEAUTY) නොකියෙව්වෝත් ඇත්ද?
මන්තරකාරයකු විසින් යක්‍ෂයකු රුවා “ඇබ” (මුද්‍රා)ගසනු ලැබ මුහුදට දැමූ භාජනයක් ධීවරයකු විසින් ගොඩගනු ලැබූ අන්දම “අරාබි නිසොල්ලාසයේ” ප්‍රකට කතාවකි.
සාපය වනාහි කිසියම් සංසිද්ධියකින් හෝ කෙනකුන් හෝ වෙනත් කෙනකු අරබයා (අරමුණුකර-එල්ල කෙරෙන හෝ කරනු ලබන වින්නැහියකි (විනාශයකි).
නිර්දෝෂී මහරහතන් වහන්සේ කෙනකුන් උතුරන “තෙල්කටාරමක” පොවා (දමා) අපවත් කිරීමේ සාපය නිසා සොබාවධර්මය කම්පාවී මුහුද ගොඩ ගැලීමෙන් (සුනාමියෙන්) කැලණිය පාලනය කළ කාවන්තිස්ස රජුන් පමණක් නොව ඔහුගේ රාජ්‍යයද අතුගෑවී ගිය බැව් අපට සාපය පලදුන් බව කියන කතාවකි.
රජකමත් දී බින්න බස්සවා ගෙන මිනිහාකමටත් ගත් “හොරෙකු” විසින් දරුවන් දෙදෙනකුද වූ පසුව අතහැර දමන ලද අපේ “කුවේණි” නැන්දම්මාගේ සාපය “කුවේණි” අස්නේ අපූරුවට විස්තර කර තිබේ. තමාට කළ අපරාධයට ඇය කරන ලද සාපය අපේ රටට තවමත් පලදෙන බව “ළතෝනිගල” පැත්තේ වෙසෙන්නෝ කියති. (කුවේණිය ළතෝනි දුන්ගල (පර්වතය) පිහිටි ප්‍රදේශය අද එනමින්ම හැඳින්වෙයි)
“පොඩ්ඩක් හෝව්”
සාපය ගැන මෙසේ අටුවා, ටීකා, ටිප්පනි, වන්නම්, සට්ටම්, ගැටපද, චූර්ණිකා ඕනෑවටත් වඩා කියන්නට සිදුවූයේ අපේ රටටත් මොනයම් අන්දමකින් හෝ මේ අන්දමේ “හෙණපතයක්” (හෙණයක්) කැට (සිද්ධවී) ඇත්තේ කවුරුන් හෝ කරන ලද “සාපයක්” නිසා වෙන්නට බැරි නැතැයි විශාල මතයක් මේ වන විට සමාජගතවී ඇති හෙයිනි.
විශාලා මහ නුවර දුර්භික්‍ෂයට සහ බැමිණිතියා සායට පමණක් දෙවැනි වන්නාවූ වින්නැහියක් මේ වන විට දෙවසරකට වැඩිකාලයක් තිස්සේ අපි අත්විඳිමින් සිටින්නෙමු.
තෙල් නැත, ගෑස් නැත. කන්න දෙයක් නැත. යන “නැති බණේ” පෙන්වන ලැයිස්තුව මෙහිදී යළි යළිදු සඳහන් කිරීමේ අවශ්‍යතාව නැත. ඒ බැව් නොදන්නෝ නැත්තෝය.
හය වැනි වරටත් අගමැති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාත් ඉදිරියට තවත් අමාරු කාලයක් එන බවම කියනු ඇසීමෙන් හීන්දාඩිය දාන්නට පටන් ගත්තා නොව ඇඟේ “දියපට්ටා” (හිරිගඩු) නැඟෙන්නට පටන් ගත්සේය.
ඇයි හත් දෙය්යනේ, එතුමාත් සල්ලි අච්චු නොගසා සිටින්නට බැරි බවම කියන්නේ නම් මේ රටට “සාපයක්” පලදී ඇත්තා මිස වෙන මොන “කෙංගෙඩියක්” කියන්නද?
අප ලෝකෙට ණයයි කියන ඇමෙරිකානු ඩොලර් බිලියන පනස් හයෙන් (56,000,000,000) ඩොලර් බිලියන දහනවයක්ම (19,000,000,000) මේ වකවානුවේ රජය කරගෙන යන්නන් පිටරට බැංකුවල තම තමන්ගේ ගිණුම්වලට දමාගෙන ඇතැයි කියන සාපයම අපට පලදී ඇතැයි වැඩි මහජන මතයයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනම තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගැනීමට මේ රටේ අසරණයන් පිරිසක් පාස්කු මියයන තුරුම මුනිවත රැක උන්හයි නොකියා කියත්.
ඒ අසරණයන්ගේ රුධිරය ස්වර්ගයට මොරදෙන බවම කාදිනල් හිමිපාණෝද ප්‍රකාශ කළහ. එසේම ඒ සාපයෙන් කිසිවකුට හෝ ගැලවිය නොහැකි බවද කීහ. මෙන්න මේ ගැලවිය නොහැකි අන්දමේ ශාපය අප වෙළා තළා පෙළා ඇති සෙයකි.
නවීන විද්‍යාත්මක (තාක්‍ෂණික) උපකරණවලින් හෝ තහවුරු කළ නොහැක්ක පිළිගත නොහෙන බැව් ඇතැමුන්ගේ මතයයි. පිටරැටියන් කියන තුරු අපේ දේ අගේ නැති කොටසක්ද සිටිති. දැන් විදේශිකයන් ඒ ගැන සොයා බලන විට පාරම්පරික ඥානයක් ගැන අපේ උදවියද සොයන්නට පෙලඹී ඇත්තාහ.
රුසියාව හෝ ඇමෙරිකාව හෝ (මට හරියට නිච්චි (මතක) නැත. නවසිය හැත්තෑ ගණන්වලදී උඩු ගුවනට (අභ්‍යවකාශයට) විද්ද “ස්කයිලැබ්” නමැති යානයක් (අහස් ලබ්බක්) ආබාධයකට පත්ව කොයි මොහොතේ හෝ පෘථිවිය මතට පාත්වෙතැයි අනාවරණ කෙරුණු අවස්ථාවේ දී ඒ රට දිනයක් හා වේලාවක් නියමකර තම රටේ සමස්ත ජනතාවගෙන්ම පමණක් නොව ලෝවැසියන්ගෙන්ද එක් ඉල්ලීමක් කෙළේය. ඒ, නියම කෙරුණු වේලාවට සියලු දෙනාම ඒ යානය පෘථිවියට හානි නොවන අන්දමේ ඉහළ කක්ක්‍ෂයකට ප්‍රවේශවන ලෙසට සිත අරමුණු කරන ලෙසටය.
ඒ චිත්ත ශක්තියේ බලමහිමයක් වන විඥාන විදාරණයෙන් (MIND TRANSMISSION) ඒ කාර්යය ඉටුකරගත හැකි බව ඒ වන විට සනාථ කරගෙන තිබිණි. මේ කරුණ සඳහන් කළේ ගුප්ත දේ ගැන අවලාද තබන්නන්ට යමක් සිතන්නටය. (මේ රටේ වැදි පරම්පරාවෙන් යැයි කියමින් ගහක් ගලක් ගානේ තෙල් බේත් විකූණන වැද්දන් පමණක් නොව කලවැද්දන්ටත් හීනකුල ජ්‍යොතිෂය, යන්ත්‍ර මන්ත්‍ර බන්ධන විල්ලියලාට මෙන්ම පිල්ලියලාටත් තමන් කරන ශාස්ත්‍රය කුමක් දැයි යන්න දැන ගැනීම උදෙසා (ඉංගිරිසි දන්නේ නම්)“ඩිස්කවරීස් බිහයින්ඩ් ද අයන් කර්ටේන්” (DISCOVERIES BEHIND THE IRON CURTAIN) නමැති පොත් මාලාව කියවන ලෙසට මතක් කරමි)
ගුප්ත දේ ගුප්තමය. සාපය ගුප්ත අධ්‍යාත්මික ශක්තියකි. ගුප්ත චිත්ත ශක්කියකි. ධනාත්මක නොව ඍණාත්මක (විපත් සලසන) ශක්තියකි. අධ්‍යාත්මයෙන්ම සිතන පතන දේ ඉටුවන්නේ එහෙයිනි.
මේ ආණ්ඩුව බලයට පත් දා සිට පමණක් නොව ඊට පෙර සිටම ද වැඩි ජන කොට්ඨාසයකින් වාතලයට එක් වන්නේ ඍණාත්මක චිත්ත ධාරාය.
තිස් අවුරුදු යුද්ධය දිනූ බව සබැවි. එම සිද්ධි මාලාවේ දී මියගිය සහ අතුරුදන් වූවන් වෙනුවෙන් ඔවුන්ගේ නෑසියන්ගෙන් මවුවරුන්ගෙන් අදත් වා තලයට එක් වන්නේ මළගමේ අfඳා්නාය. දැල්වෙන්නේ ක්‍රෝධයේ පහන්සිළුය. යදින්නේ සාපයේ යාදිනිය.
මුළු යාපනය අර්ධද්වීපයම පසුගිය බදාදාට(18)යෙදුණු දහතුන් වැනි යුද සැමරුම පවත්වයි. මියගිය ඥාති මිත්‍රාදීන් දුවාදරුවන් සිහිකිරීම වෙනුවෙන් විශේෂ ස්මාරකයක් සහිත රථයක් ද උතුරු පළාත පුරා ගෙනයනු ලැබේ.
“දෙමළ ජනතාවට සිදුවූ අපරාධයට යුක්තිය ඉටුකරනු” යන්න රජයේ එක් තේමා පාඨයකි.මෙහි පෙරමුණ ගෙන ඇත්තේ මවුවරුන්ය. “වැදූ කුසේ කකියන බව” පුරාණයේ සිට එන සිද්ධාන්තයකි.ඔවුනගේ මොරදීම රිහිරි මාංශ ඇටමිදුළු පාරා හාරා යන්නකි.මේ ගැන තවත් අටුවා අවශ්‍ය නැත.
පාරම්පාරිකව කාන්තාරය ආශ්‍රිතව වෙසෙන්නන්ට මාංශ භක්‍ෂණයෙන් තොරවී පලාවර්ගවලින් පමණක් යැපෙන්නට කීම මුග්ධ ප්‍රකාශනයකි. ඒ වෘතය ඔවුනගේ ජානවලටද අන්තර්ගතය.
අපේ ඇතැම්හු ඔවුනගේ නිෂ්පාදන ප්‍රවාහන රථ කුඩුපට්ටම් කර ගිනි ලෑවෝය. බුදු දහමේ මාංශ වෙළෙඳාම අනුමත දෙයක් නොවේ. එහෙත් එය කිසියම් පිරිසකගේ ජීවන මාර්ගය සේම අයිතියකි. සිද්ධියේ සෙවණැල්ල ආණ්ඩුවේ බලවන්තයින් බව ඉස්ලාම් භක්තිකයින් වැඩි දෙනකුගේ මතය වූවේය.
ඇතැම් දේශපාලනඥයෝ තමන්ගේ බලය රැක ගැනීම සඳහා මුල්ලක (වසංවී) සිට ගිනි අවුලවති.
අයි එස් අයි එස්, තලේබාන් වැනි ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සහරාන්ලා වැනි අන්තවාදී කණ්ඩායමක් බළල් හස්තයක් කොට ගෙන මේ රට ලේ විලක් කරනු ලබන බවට බොරු බියක් මවා ජාතීන් අතර වෛරයම වගා කළෝය. පොහොර දැම්මෝය. දුවාදරුවන් ඇති මහජතාව බියෙන් ත්‍රස්ත කළාහුය. යළිදු ඇති විය හැකි මෙවන් බෝම්බ ප්‍රහාරවලින් ලක්වැසියන් බේරාගත හැකි ගැලවුම්කරුවන් අපම වේ දැයි කියාපෑහ. එමතුද නොව තමන්ගේ දිය රෙදි සෝදන්නා වූ මාධ්‍ය ලවා කටයුත්ත මදි නොකියන්නටම කරවා ගත්හ.
(බෝමබ බියට අමතරව තවත් බොරු බියක් උත්පාදනය කෙළේය. සිංහල ජාතිය වඳකිරීමට ආහාරපානවලට රසායනික ද්‍රව්‍ය එක්කරන බව කීහ. කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු රහසිගතව වඳ සැත්කම් කරන පුවතකින් රට දෙවනත් කෙරිණි. එපමණක් නම් මදෑ. පාස්කු ප්‍රහාරයෙන් පසුව නගර ගිනිබත් විය. ගෙවල් fදාරවල් බිමට සමතලාවී ගියේය. එකිනෙකා කපාකොටා ගැනීමට සැලැස්සුවේය. තමාගේ පැවැත්ම උදෙසා වෛරය වැපිරුවේය. ක්‍රෝධය රෝපණය කෙළේය. ඒ පසුපස දේශපාලන ගැත්තෝ අරක්ගෙන උන්හ. වින්දිතයෝ උදේ හවා සාපකිරීමකට පටන් ගත්හ.
තමන්ට අනුකම්පාව ලබාගැනීම උදෙසා ඝාතන සැලැස්මක් ක්‍රියාත්මක බව සමාජගත කෙළේය. නාමල් නමැත්තකු පෙරමුණේ රාළ කෙරෙව්වේය. ඡන්දෙන් පසු වගේ වගක් නැත.
එළිපිට “සුං මදනා”ය. එහෙත් කරළියේ සුදුරෙදි ඇඳ අතේ වැලමිට දක්වා පිරිත් නූල් බැඳ, “නක්ථිමේ සරණං අඤ්ඤං – මස්සිනේ දමලා අඤ්ඤං” ගාථාව හිතේ දරාගෙන අටමස්ථානය වැඳීමේ තේරුමක් නැත. පන්සල් ගියාට සිල්රෙදි බෙදුවාටද පලක් නැත. සුදුපාට අඳින රෙද්දට පමණක් සීමා කිරීමෙන් වැඩක් නැත. රෙද්ද ගලවා දැමූ විට සියලු ආමිසත් ප්‍රතිපත්තිත් දෙකම අහවරය. උහු වනාහි ‘රෙද්දේ ශීලවන්තයෝ’ය.
සෑම කෙනකුටම කැමති ආගමක් ඇදහීම මානව අයිතිවාසිකමකි. මළසිරුර භූමදානය නොකළේ නම් ඉස්ලාම් භක්තිකයකුට ස්වර්ගය ඒකාන්තයෙන්ම අහිමි වන බැව් අල්ලා දෙවියන්ගේ ඉගැන්වීමය.
කොරෝනා වසංගත සමයේ මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කරනු ලැබිණි. එසේ කරනු ලැබුවේ මහ ජාතියේ ඡන්ද පදනම බලාගෙන බැව් සමාජගත මතය විය. මේ නිසා පාලකයෝ කිසි දිනෙක අත්මිදිය නොහැකි අන්දමේ වෛරයකට පාත්‍ර වූහ. දෙජාතිය අතර ක්‍රෝධාග්නියට පිදුරු දැම්මේය. සාපය හිසමත තබා ගත්තේය.
රටක් පාලනය (තන්ත්‍ර) කෙරෙන පස් ආකාරයක් ගැන විෂ්ණු ශර්මන් පඬිවරයාගේ පංච තන්ත්‍රයෙහි දැක්වේ. වාද, භේද, සාම, දාන සහ දණ්ඩ ඒ තන්ත්‍ර පහ වේ. අපේ පාලකයන් බලයට ඒම වෙනුවෙන් මෙතෙක් යොදාගෙන ඇත්තේ ඒ අතරින් “භේද” ක්‍රමය වේ. මේ රටවාසීන් සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් ජාතිවලට බෙදා තිබේ. බෞද්ධ, හින්දු ක්‍රිස්තියානි වශයෙන් ආගමික බෙදීමය. උඩරට පහතරට වශයෙන් ප්‍රදේශ බෙදීමය. හකුරු, පදු, ගොයි ආදී ලෙස කුල බෙදීමය. ගුරු, ලිපිකාර, වෛද්‍ය ආදී වශයෙන් වෘත්තීය බෙදීමය. මේසා බෙදීම් බොහෝය. අඩු වශයෙන් විවාහයක් කරගැනීමට ගියද කරගන්නේ උඩරට පහතරට විවාහයක් දැයි යන්න පෝර්මයේ පිරවිය යුතුය.
පොදු වාහනයකත් පළමු පන්තිය තුන්වැනි පන්තිය වශයෙන් භේදයකි. මේවා නසනවා නොව වවනවාය. ඒ බලයට ඒමේ කෑදරකමෙනි. (අපේ හරකුන් මේවා කවරදා තේරුම් ගනියිද?).
විදේශගත ශ්‍රමිකයෝ “බලු දුක්” විඳ වාර්ෂිකව රුපියල් කෝටි අටසියයක් පමණ එව්වෝය.
එසේ මුදල් එවන පිරිසට හෝ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් හෝ අපේ පාලක අයියලා සත පහක දෙයක් කෙළේදැයි දෙවරක් සිතිය යුතුය. තමන්ගේ නම ලොකුකර ගැනීමේ අරමුණින් ගුවන් තොටුපොළ ක්‍රීඩා භූමි හැදුවා පමණි. ගසාකෑවා පමණි. විදේශගත ශ්‍රමිකයන් පමණක් නොව ඇසූ දුටුවන් පවා කියන්නේ “මේ අපරාධවලට හෙණ හත වැදියං” යන්නය.
දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආරම්භ කළේ සඟ, වෙද, ගොවි, ගුරු, කම්කරු යන වෘත්තිකයන් එකට කැටිකර පංච මහා බලවේගය නමින් රටේ ධාවක ජවය පුබුදුවා ගැනීමෙනි.
නොදන්නා මඟුලකට ගොස් වී ගොවිතැනට පමණක් නොව තේ එළවළු ආදී වගාවලටත් පොහොර ටික නැතිකර ගොවියෝ නැත්තටම නැතිබංගස්ථාන කැර දැම්මෝය. කුඹුරු ගොවිතැනින් තම දරුමල්ලන් පෝෂණය කළ ඔවුන්ගේ කෝපය පඹයන් පුලුස්සන අන්දමින් පඹයන්ට පහර දෙන අන්දමින් පසක් කර ගත හැකිය.
ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ එකම අනුශාසනාව ජනාධිපති ගෝඨාභය, අගමැති මහින්ද යන රාජපක්‍ෂ කුට්ටමටම ගෙදර යන ලෙසටය. (ඇත්තටම ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වී ඒ වෙනුවට අනුරාධපුරේ “ඥානක්කා” පත්කළහොත් රට මේ අගාධයෙන් ගොඩගත හැකි බව මහජන මතයකි. රෝහලක සුළු සේවිකාවකව සිට ඉතා කෙටි කාලයකදී යාන වාහන කෙත්වතු සහ මහා මන්දිර ලැබීමට තරම් වාසනාවන්තියක් වී නම් ඩොලර් “උනවා” දෙන්නටද බැරිකමක් නැතිවිය හැකිය. මන්ද? ප්‍රදේශවාසීන් පවසන අන්දමට ඇය ඩොලර් උපයන හොඳ මැෂිමක් බැවිනි. යෝජනාව ගැන සලකා බලත් වා.)
වෛද්‍යවරු, ගුරුවරු සමග කම්කරු ප්‍රජාව පමණක් නොව රටේ තරුණ පරපුර ප්‍රමුඛ සමස්ත ජනතාවම සති ගණනාවක් තිස්සේ වීදිබැස මොර දෙන්නේ රට කෑව ඇති අපට රට ඉතුරු කර මේ රටින් පිටමංවන ලෙසටය. ඒ අනුව මේ වන විට මේ රටේ පංච මහා බලවේගය පමණක් සමස්ත ජනතාවගේම මොරගෑම “මකබෑ වෙයව්” යන්නය.
උතුරේ යුද්ධය තමන් විසින්ම පමණක් දිනාගනු ලැබූ බවට උරුමක්කාර, පොල්මහ්කාර, අද්මිනිත්‍රක්කාර බලය ඇතිව ඔප්පුව ලියාගත් රාජපක්‍ෂ නඩයට පමණක් නොව ඒ නඩයේ දරු මුණුබුරන්ටත්, ඒ දරු මුණුබුරන්ගේ දරුමුණුබුරන්ටත්, ඒ දරුමුණුබුරන්ගේ දරු මුණුබුරන්ටත් යන පරිදි අනභිභවනීය රජවරුන් සේ මියපරලොව යන්නට තිබූ භාග්‍යය බලයට ඇති පෙරේතකම කෑදරකම නිසා නැතිකර ගත්තා පමණක් නොව මේ දක්වා සිටි කිසිදු නායකයකු පත් නොවූ අන්දමේ තුච්ච නින්දිත තත්ත්වයට පත්නොවුණාද නොවේ. මෙසේ වීමට හේතුව සමීකරණයක් වශයෙන් දක්වන්නේ නම් පිළිතුර විවිධ හේතූන් නිසා මේ රටේ සුවාසූ දහසක් මහජනතාව විසින් උදේ සවස කරනු ලබන සාපය බවයි. මේ රටේ මහජනතාවට ඕනෑම දුකක් විඳ පුරුදුය. ඒ පුරුද්දට අප හුරු වූයේ නන්දා මාලනී නෝනා කියන (ගයන) අන්දමට “මේ රටේ මහ එකා-ලයි උන්ගෙ පංතියය දීර්ඝ කාලයක් තිස්සේ ”සුරසැප විඳින්නේ අපේ දහඩිය මහන්සිය රිහිරිත් සමග සූරා උරාබී සුරසැප විඳින නිසාය.
එබැවින් මේ රටේ පාලකයන් අත්කර දුන් කුසගින්න සාපිපාසාව අපටත් අපේ දරුවන්ටත් හොඳට හුරු පුරුදුය. ඒ නිසා අපට නම් ඉන්දියාවේ යාචකයින් (හිඟන්නන්) චීනයේ පාසල් සිසුන් වැන්නන් එවන මොන දේ හෝ විලිලැජ්ජාවක් නැතිව භාරගත හැකිය. එහෙත් අපට හිතට අමාරු මහ රජාණනුත් එතුමාගේ පවුලේ බේබිලාත් සෙසු උදවියත් අරමුණු කරගෙනම මේ සහන පොදිය එවීම ගැනය.
“මේ රටේ සිටින අවසාන දෙමළාගේ සමෙන් (හමෙන්) සපත්තුවක් හදා පලඳිනතුරු නින්ද නොයන බව” හිටපු දේශපාලනඥයකු වූ කේ.ඇම්.පී. රාජරත්න නමැති මානසික ලෙඩා අප කුඩා කල කළ ප්‍රකාශයක් අද මෙන් සිහියේ තිබේ.
එළිපිට නොව රහසිගතව හෝ එමගින් පිට නොගිය අපේ ඇතැම් දේශපාලකයන් දැනුදු බලය උදෙසා ජාති භේදය වපුරන්නේය. මෙරට උතුරේ පමණක් නොව ඉන්දියාවේ තමිල්නාඩුවේ උදවිය ගැනද ඇතිකරනු ලැබුවේ එතරම් හොඳ ආකල්පයක් නොවේ. ඇතැමුන් කළ කී දෑ අපිම දනිමු. එහෙත් දැන් විලිලැජ්ජාවේ “අශූචි” බාල්දිය මේ රටේ පාලක කාරකාදීන් පෙරටු කරගත් අපටත් කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම හලාගෙන “අභිෂේකවන්නට” සිදුවී ඇත. ඇයි?
අපේ හිඟනකම දුටු ඒ ප්‍රාන්තයේ මහ ඇමැති කෝටි විසිඅටක සහනාධාර තොගයක් එවා ඇති හෙයිනි. ලෝකෙන් උතුම් රට වූ පෙරදිග ධාන්‍යාගාරය වූ පෙරදිග මුතු ඇටය වූ ශ්‍රී ලංකාවේ වෙසෙන අපගේ “ලජ්ජා” නහර අපේ පාලකයන් විසින් ඡේදනය කරනු ලැබ ඇති හෙයින් ජීවත්වෙනවා විනා නැතහොත් අපටත් සිදුවන්නේ ජපානයේ සියදිවි හානිකරගන්නා “හරාකිරි” ක්‍රමයටම අපටත් දිවිනසා ගැනීමටය. මේ අන්දමේ තුච්ච, නින්දිත, පාහර තත්ත්වයකට අප වැටුණේ ඇයි. ජනාධිපතිවරණය ඕං මේං කියා තිබියදී නාග ලොවෙන් මහා නාගරාජයෙක් කැලණි ගඟේ දිය දෙබෑකරගෙන මතු වූවේය. එසේ ආවේ බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලද කැලණියටය. ආවේ හිස් අතින්ද නොවේ. සර්වඥ ධාතු කරඬුවක්ද රැගෙනය. ඒ පිළිබඳ බුද්ධාලම්බන ශක්තිය සහ හාස්කම ගැන දවුල් හොරණෑ හේවිසි කුරප්පට්ටම් වාදනය කළෝ අපේ ගරුතර මහා සංඝරත්නයමය. උන්වහන්සේලාගේ අභිප්‍රාය ඉෂ්ට සිද්ධ වූවේමය.
බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන අන්දමට දෙවියන් බුදුන් විකිණීම එතරම හොඳ දෙයක් නොවේ. කැලණි පුරයේදීම තෙල් කටාරමක හොවා නිරපරාදේ මහරහතන් වහන්සේ කෙනකුන්ට අත්කළ ඉරණම ගැනත් ඒ හා පැමිණි “සාංදෘෂ්ටික” විපාක ගැනත් මේ රටේ නොදන්නෝ අල්ප වෙති. ඒ ගැන ලිපිය ආරම්භයේදීමද දක්වා ඇත. ඇත්ත වශයෙන්ම දැන් අපට අත්විඳින්නට සිදුව ඇත්තේ මේ කර්මස්ථානවල ප්‍රතිවිපාකද? සාපයද?
“කවදා පායයිද අපෙ දිනිසුරාණෝ ඕ..ඕ..
බුදු බව පතා දළ දන් දෙන ඇතාණෝ..ඕ..ඕ”
චන්ද්‍රසේන මාරසිංහ