යුදමය වාතාවරණය හමුවේ වුවත්, ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම ඇමෙරිකාවට පැමිණෙන බව, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ අවධාරණය කර තිබේ. Sri Lanka Latest News
ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව සම සත්කාරකත්වය දරන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී, තමන්ට නියමිත තරග ඇමෙරිකාවෙන් බැහැරව මෙක්සිකෝව වෙත මාරු කරන ලෙස ඉරානය කළ ඉල්ලීමක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් මීට දින කිහිපයකට පෙර ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණි.
තාක්ෂණික හා සංවිධානාත්මක බාධාවන් හේතුවෙන් එම ඉල්ලීම ඉටු කළ නොහැකි බව එවිට නිවේදනය කෙරිණි. ඉරානය ලෝක කුසලානයට සහභාගී වීමේ වැදගත්කම පෙන්වා දුන් ඉන්ෆැන්ටිනෝ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, තරගාවලිය ආරම්භ වන විට ලෝකයේ සාමකාමී වාතාවරණයක් උදාවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය.
‘ඉරානය අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි. ඔවුන් නියෝජනය කරන්නේ එරට ජනතාවයි. ඔවුන් තරගාවලියට සුදුසුකම් ලබා ඇති අතර, ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට දැඩි අවශ්‍යතාවක් තිබෙනවා’ යැයි ජියානි ඉන්ෆැන්ටිනෝ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
තරග කාලසටහනට අනුව ඉරාන කණ්ඩායම සිය මූලික වටයේ තරග දෙකක් ඇමෙරිකාවේ කැලිෆෝනියාව් ඉන්ග්ල්වුඩ් නුවරදීත්, අනෙක් තරගය සියැටල් නුවරදීත් ක්‍රීඩා කිරීමට නියමිතය. ඇමෙරිකාව සහ ඉරානය අතරේ පවතින දේශපාලන සහ යුදමය තත්ත්වය ක්‍රීඩාවට බාධාවක් කර නොගත යුතු බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ ස්ථාවරය වී ඇත.










