‘වර්තමානයේ ලෝක යුද අර්බුදයත් සමග ශ්‍රී ලංකාව වඩාත් අවදානම් අවධියකට පිවිසෙමින් සිටින බව පෙනෙනවා. විශේෂයෙන් මැදපෙරදිග ගැටුම හේතුවෙන් රජයේ ණය තිරසරභාවය, පොලී අනුපාත ගතිකත්වය සහ වර්ධන අපේක්ෂාවන්, බාහිර කම්පනවලට වැඩි වැඩියෙන් නිරාවරණය වන ආකාරය දක්නට හැකියි. ශ්‍රී ලංකාවේ උද්ධමනය 7% ඉහළ සීමාව ඉක්මවා ගියොත් තිබෙන තත්ත්වය බොහෝ අර්බුදකාරී එකක් වෙනවා. ආර්ථික අර්බුදය අතිශයින්ම උච්ච වූ 2022 වසරේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 70% දක්වා දරුණු ලෙස ඉහළ ගියා. එහෙත් කෙසේ හෝ පසුගිය වසරවලදී උද්ධමනය පහත වැටෙමින් තිබෙනවා. ඒ අනුව වර්තමානයේ මෙරට උද්ධමනය 2% දක්වා පහත වැටී ඇති අතර, 2% සිට 7% දක්වා පරාසයක් සහිත 5%ක උද්ධමන ඉලක්කයක් යටතේ ශ්‍රී ලංකා මහබැංකුව ක්‍රියාත්මකව සිටිනවා. එහෙත් උද්ධමන අනුපාතය මහබැංකුවේ ඉහළ සීමාවට වඩා ඉහළ ගියහොත් එය සීමිත මූල්‍යමය ප්‍රතිපත්ති ගැනීමට සිදුවන තත්ත්වයක් බවට පත්වෙනවා…’ Sri Lanka Latest News
කුමක්ද මෙම බැරෑරුම් කතාන්දරය? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? ශ්‍රී ලාංකික ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ ප්‍රකට විද්වතකු වන ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා විසින් මෙම සුවිශේෂ ප්‍රකාශය සිදුකර සිටී. ආචාර්ය විජේවර්ධන යනු ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන මෙරට ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකි. ඔහු රටේ ආර්ථික ප්‍රතිපත්ති, මූල්‍ය කටයුතු සහ කාලීන ආර්ථික අර්බුදයන් පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයන් සිදුකරන විද්වතෙකි. මෙරට සහ විදේශීය විශ්වවිද්‍යාල කිහිපයකින් උපාධි හිමිකරගෙන ඇති ඔහු ආර්ථික විද්‍යාව, බැංකුකරණය සහ මූල්‍ය විශ්ලේෂණය ගැන පුළුල් පරිණත බුද්ධියක් ඇති විද්වතෙකි. ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා ඉහත සුවිශේෂ ප්‍රකාශය සිදුකරනු ලැබුවේ මෙයට දින කීපයකට ඉහතදීය. ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය :ක්‍ඵ්* විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයකදී ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේය. ලෝක යුද අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදය ගැන ඔහු තවදුරටත් මෙසේ අදහස් දැක්වූයේය.
‘උද්ධමන අනුපාතය මහබැංකුවේ ඉහළ සීමාවට වඩා ඉහළ ගියහොත් මහබැංකුවට යම් ආකාරයකින් සීමිත මූල්‍යමය ප්‍රතිපත්ති කිහිපයක් ගැනීමට සිදුවේවි. එහිදී ප්‍රධාන වශයෙන් දැනට තිබෙන පොලී අනුපාත වැඩිකිරීමට සිදුවන අතර මෙම තත්ත්වය මහබැංකුවට ඇති විශාලතම අභියෝගය යැයි මම විශ්වාස කරනවා. ආර්ථික අර්බුද සමයන්හිදී මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවෙනවා. මේ නිසා රජය දැනට භුක්ති විඳින අඩු වියදම් ණය ගැනීමේ දොරටුව අවසන් කිරීමට මෙම ඉහළ පොලී අනුපාත හේතුවිය හැකියි. මෙලෙස ශ්‍රී ලංකා මහබැංකුව විසින් දැඩි කොන්දේසි පැනවීමත් සමග ප්‍රතිමූල්‍යකරණ අවදානමද ඉහළ යනවා. උද්ධමනය 7% ඉහළ සීමාව ඉක්මවා ගියහොත් මෙම තත්ත්වය අනිවාර්යයෙන්ම ඇතිවනවා. මෙලෙස දුර්වල වර්ධනය සහ ඉහළ යන යෙදවුම් පිරිවැය මධ්‍යයේ අනුරූපී වැඩිවීමක් රහිත උද්ධමනයකට රට මුහුණ දෙනවා. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් වන අතර, එයින් මුළුමහත් රටම පරිහානියකට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ මූල්‍ය හා බාහිර මූල්‍යකරණ ආකෘතිය, අඛණ්ඩ ණය ගැනීම් සහ ප්‍රතිමූල්‍යකරණය මත දැඩි ලෙස රඳාපවතිනවා. එමගින් පොලී අනුපාත ද්‍රවශීලතාව සහ වර්ධනයේ මාරුවීම්වලට සංවේදී වීම සිදුවෙනවා. මෙම තත්ත්වය තවත් සරලව විග්‍රහ කළ හැක්කේ මෙලෙසයි. මේක හරියට ශ්‍රී ලංකාව ඉතා ‘විශාල ක්‍රෙඩිට් කාඩ්පතක්’ (ණයවර පතක්) සමග ක්‍රියාත්මක වෙනවා වගේ යැයි සිතමු. නිසි අයුරින් ණය ශේෂය ගෙවීමට නොහැකි නම් අදාළ පවුලට තවදුරටත් ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කිරීමට නොහැකි වී යනවා. මෙය හරියට රජයේ මූල්‍යකරණය සහ චක්‍රීය ණය මත යැපෙන නිවසක් අතර සමාන්තරයක් ගෙනහැර දැක්වීමක් ලෙසයි මම නිදර්ශනාත්මකව පැහැදිලි කර සිටියේ…’
රජයේ වත්මන් ආදායමෙන් පොලී ගෙවීම් සිදුකිරීමට රජයට ඇති හැකියාව නොවෙනස්ව පවතින නමුත් එම තත්ත්වය කල්පිරෙන ණය, වෙළෙඳපොළ තත්ත්වයන් සහ ආයෝජකයන්ගේ රුචිය මත රඳාපවතින බවද ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන පැහැදිලි කළේය. එසේම දේශීය ද්‍රවශීලතාව දැඩි වුවහොත් හෝ බාහිර මූල්‍යකරණ ධාරිතාව සීමාවිය හැකි බවටද ඔහු අනතුරු හැඟවීය. වත්මන් යුද්ධයේ හේතුවෙන් එසේ ඇතිවන ආර්ථික අවපාතය නිසා පොලී අනුපාත ඉහළ යෑමේ හැකියාවේ අවදානම වැඩිවන බවද ඔහු අවධාරණය කළේය. ආචාර්ය විජේවර්ධන තම දේශනයේදී මෙම අර්බුදය තවදුරටත් පැහැදිලි කර සිටියේය.
‘වර්තමාන බාහිර කම්පනය ප්‍රතිපත්තිමය නිසි ක්‍රියාමාර්ගයකින් තොරව ඇතිවන උද්ධමනය ඉලක්කගත පරාසයකට තල්ලු කළ හැකියි. නමුත් උද්ධමනය ඉහළ සීමාව ඉක්මවා යෑමේ පවතින නිසා එමගින් මහබැංකුවට මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමට සිදුවේවි. මෙහිදී මුදල් සහ මූල්‍ය ප්‍රතිපත්ති අතර පවතින අන්තර්ක්‍රියාකාරීත්වයද අවධානයට ගත යුතුයි. අනුපූරක මූල්‍ය ප්‍රසාරණයකින් තොරව මහබැංකුවට එම ඉලක්කය තුළ ඉහළ උද්ධමනය පවත්වා ගැනීමට නොහැකි වෙනවා. මෙම සාර්ව ආර්ථික අවදානම හරහා රට තුළ මන්දගාමී හෝ ඍණ වර්ධනයක් ඇතිවිය හැකියි. මෙම තත්ත්වය විරැකියාවට පවා හේතු වෙනවා. එසේම දරිද්‍රතා මට්ටම් ඉහළ ගොස් දරුණු සමාජ ව්‍යසනයකට පවා පත්වෙනවා. නිෂ්පාදනය සහ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රධාන ආනයනයන්ට බලපාන සැපයුම් සීමාවන් හේතුවෙන් වර්ධනය දුර්වල විය හැකියි. එසේම ගෙවුම් ශේෂ ස්ථාවරත්වය පවත්වා ගැනීමට නොහැකි වීම නිසා විදේශ විනිමය ගලාඒම දුර්වල තත්ත්වයකට පත්වෙනවා. මෙය විනිමය අනුපාතය මත විශාල පීඩනයක් ඇතිකරනවා. මෙම තත්ත්වය යටතේ සීමාසහිත සාර්ව ආර්ථික පරිසරයකට අප යොමුකරනවා…’
මෙම ආර්ථික අර්බුදයේදී ඉහළ යන බලශක්ති පිරිවැය ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයක් ලෙස ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන විසින් හඳුනාගනු ලබයි. ඉහළ යන ඉන්ධන මිල ආනයන බිල වැඩිකරන අතර, බාහිර අසමතුලිතතාවන් පුළුල් කරන බවද ඔහු අවධාරණය කරයි. වත්මන් යුද්ධය තව තවත් දිගින් දිගටම පැවතුණහොත් එයින් ශ්‍රී ලංකාවට සිදුවන හානිය ඉතා දීර්ඝකාලීන එකක් යැයිද ආචාර්ය විජේවර්ධන පැහැදිලි කර සිටියේය. මෙම තත්ත්වය හරහා ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාව දැනටත් වඩා මහා පෝලිම් යුගයකට තල්ලු කරනු ඇතැයි ඔහු අනතුරු හඟවා සිටියේය. යුද්ධය ඇතිවී සති තුනක පමණ ඉතා කෙටි කාලයකට මෙතරම් විනාශයක් රට තුළ ඇතිවී තිබීම සහ ඉදිරි කාලයේදී එම තත්ත්වය තව තවත් උත්සන්න වීම වැළැක්විය නොහැකි බවත් ආචාර්ය විජේවර්ධන අනතුරු හැඟවීය.

ප්‍රියන්ත හෙට්ටිගේ










