‘ජම්මු සහ කාශ්මීරය වෙන වෙනම යූනියන් ප්‍රදේශ දෙකකට බෙදීමට ඉන්දීය රජය ගත් තීරණය, දැඩි අසාධාරණයක් බව අපි එකහෙළාමා ප්‍රකාශ කර සිටිනවා. මෙම තත්ත්වයට නිසි විසඳුමක් නැතිනම් ජම්මු සහ කාශ්මීර රාජ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නය වෙනුවෙන් අපගේ උද්ඝෝෂණය තීව්‍ර කරනවා. ජම්මු සහ කාශ්මීරයට රාජ්‍යත්වය ලබාදෙන ලෙසට අප භාරතීය ජනතා පක්ෂයට බල කරන අතර, පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත අප විරෝධතා ව්‍යාපාරයන්ද පවත්වනවා. රාජ්‍යත්වය යනු ඔබේ අයිතිය සහ ඔබේ අනාගතයයි. ජම්මු සහ කාශ්මීරයට එය නැතිව ඉදිරියට යා නොහැකියි. මෙය සිදුවන්නේ නැතිනම් රාජ්‍යත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට පීඩනයක් ගොඩනැගෙනු ඇතිය. ඔවුන් එසේ නොකරන්නේ නම් අපි ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මධ්‍යස්ථයට කඩාවදින අතර, රට හරහා වීදි පුරාද කඩාවැදී අපගේ විරෝධතා ව්‍යාපාරයන් පවත්වනු ලබනවා…’ (Sri Lanka Latest News)
කුමක්ද මෙලෙස ඇසෙන තර්ජනාත්මක ප්‍රකාශය? මේ බව කියා සිටින්නේ කවරකු විසින්ද? අපට මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය අසන්නට ලැබුණේ යාබද රාජ්‍යය වන ඉන්දියාවෙනි. මෙයට දින කිහිපයකට පෙරදී මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායක සහ ලෝක් සභාවේ (ඉන්දීය පාර්ලිමේන්තුවේ) වත්මන් විපක්ෂ නායක රාහුල් ගාන්ධි විසිනි. දැනට වසර ගණනාවක සිට අර්බුදයකට ලක්ව තිබෙන ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ප්‍රශ්නයට අදාළව රාහුල් ගාන්ධි මෙම ප්‍රකාශය සිදුකළේ ජම්මුහිදී පැවැති දේශීය වෘත්තිකයන් සමග අන්තර්ක්‍රියා සැසියක් පවත්වන අතරතුරදීය. ඒ අතරම එදිනම කාශ්මීරයේදී මැතිවරණ රැලියක් අමතමින්ද ඔහු එම අදහසම ප්‍රකාශ කර සිටියේය. වත්මන් ඉන්දියානු රාජ්‍ය පාලනයට එරෙහිව රාහුල් ගාන්ධි සිදුකළ ප්‍රකාශය මගින් තවදුරටත් මෙසේ කියා සිටියි. ඔහුගේ වදනින් එය මෙසේය.
‘ඉන්දියාවෙ පාලක භාරතීය ජනතා පක්ෂය, විපක්ෂයේ ඉල්ලීම්වලට යටත් නොවන්නේ නම් තමන්ගේ පක්ෂ සන්ධානය බලයට පත්වීමෙන් පසුව ජම්මු හා කාශ්මීර රාජ්‍යත්වය වහා යථා තත්ත්වයට පත්කරනවා. අපට අවශ්‍ය වන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර එම ප්‍රදේශවල රාජ්‍යත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. මින් පෙරද ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක්ම දෙකඩ වීම සිදුවුණා. මේවා පාලකයන්ගේ වැරැදි නිසයි සිදුවන්නේ. ඉන්දීය ඉතිහාසයේ ප්‍රථම වතාවට තනි ප්‍රාන්තයක් යුනියන් ප්‍රදේශ දෙකක් බවට පත්කෙරුණු අවස්ථාව මෙයයි. මෙය ඉන්දියාවේ කෙදිනකවත් සිදුවී නැහැ. එය ලැජ්ජාවට පත්විය යුතු කරුණක්. මේ මගින් ප්‍රදේශවාසීන් පසෙකට දමා පිටස්තරයන්ට පාලනය ගෙන යෑමට අවස්ථාව ලබාදී තිබෙනවා….’
මෙම ප්‍රකාශය සිදුකරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ (ලෝක් සභාවේ) විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉතා ප්‍රබල ලෙස දෝෂාරෝපණය කළේ වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙතය. ඔහු තවදුරටත් මෙසේ කියා සිටින්නේය.
කාශ්මීරයේ ප්‍රධාන ආර්ථිකය රඳාපවතින්නේ එහි සිදුකෙරෙන ඇපල් වගා ව්‍යාපාරය මතයි. ඇමෙරිකාව ඇතුළු විදේශ රටවලට පවා එම ඇපල් පලදාව අපනයනය කරනවා. එහෙත් අගමැති නරේන්ද්‍ර මෝදි මේ ඇපල් ව්‍යාපාරය පවරා තිබෙන්නේ අදානිවරුන්ට සහ අම්බානිවරුන්ටයි. අගමැතිවරයා අම්බානිලාගේ සහ අදානිලාගේ රුපියල් කෝටි 16ක ණය පවා කපාහැර දමා තිබෙනවා. සත්‍ය ලෙසම මේ ආණ්ඩුව දුවන්නේ අම්බානි සහ අදානි වෙනුවෙන්ය.
මේ ආකාරයට වත්මන් විපක්ෂ නායක රාහුල් ගාන්ධි විසින් ඉන්දීය රජයටත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිටත් එරෙහිව සිදුකරන ලද තර්ජනාත්මක ප්‍රකාශය මේ වනවිට ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. මේ වනවිට රාහුල් ගාන්ධි ඉන්දීය විපක්ෂ නායකවරයා ලෙස බොහෝ ජනතාවාදී ප්‍රශ්න ගැන හඬ නගන නායකයකු ලෙස ප්‍රකටව ඇත. එහෙයින් දිනෙන් දින ඉන්දීය ජනතාව විශාල වශයෙන් ඔහු වටා එක්රොක් වන ආකාරයක්ද දක්නට හැකිය. ජම්මු සහ කාශ්මීරයේ රාජ්‍යත්වය නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා විසින් අවලංගු කරන ලද්දේ එම ප්‍රදේශ අනේවාසිකයන්ගේ පාලනය යටතට පත්කිරීමට යැයි රාහුල් ගාන්ධි චෝදනා කළේය. රාජ්‍ය පාලනය හැම විටම තමන්ගේ කැමැත්තට සියල්ල සිදු කරන බවද ඔහු චෝදනා කළේය.
මේ ආකාරයට වත්මන් ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි, ඉන්දියාව තුළ බොහෝ ජනතාවාදී දේශපාලනික මෙහෙවරක් සිදුකරන ආකාරය දක්නට හැකිය. දැනට 54 වැනි වියේ පසුවන රාහුල් ගාන්ධි යනු ඉන්දියාවේ හිටපු ප්‍රකට අගමැතිවරයකු වූ රජිව් ගාන්ධිගේ එකම පුත්‍රයාය. කොටි ත්‍රස්තවාදීන් විසින් රජිව් ගාන්ධි අගමැතිවරයා 1991 වසරේදී ඝාතනයට ලක් කළේය. ඉන්දියාවේ පැරැණිතම එනම් වසර 138කට පෙර ඇරැඹි ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයේ එකල නායකයා වූයේ රජිව් ගාන්ධි අගමැතිවරයාය. ශ්‍රී ලංකා දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් ඔහු ඝාතනයට ලක්වූ පසු පක්ෂ නායකත්වයට පැමිණියේ ඔහුගේ බිරිය වන සෝනියා ගාන්ධිය. ඇය පසුකාලීනව ඉන්දියානු ලෝක් සභාවේ (පාර්ලිමේන්තුවේ) විපක්ෂ නායක ධුරයටද පත්විය. ඇයට මුලින්ම තම ස්වාමියාගේ මරණයෙන් පසුව ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරය හිමිවූයේ 1999 දී වන අතර, ඇය තවද එම ධුරය හොබවයි. මෙවැනි වටපිටාවක් තිබියදී ගාන්ධි යුවලගේ පුත්‍රයා වන රාහුල් ගාන්ධි දේශපාලනයට පිවිසෙන්නේ 2004 වසරේදීය. එනම් දැනට වසර 20ක් නොකඩවා දේශපාලනයෙහි රැඳී සිටියි. 2004 මහ මැතිවරණයෙන් ඔහු අසුනක් දිනාගත් අතර, 2019 වසර දක්වාම ඔහු එම අසුන ජයග්‍රහණය කළේය. රාහුල් ගාන්ධි ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරය 2017 සිට 2019 දක්වා පමණක් දැරීය. ඔහු බොහෝ හැලහැප්පිලි මැද තම දේශපාලන ගමන පසුගිය වසර 20 පුරාවට ගෙන ආවේය. මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් සහ පරාජයටද පත්වෙමින් දේශපාලනයේ නිරත වූයේය. ඔහුගේ එම දේශපාලන ජීවිතය බොහෝ අත්දැකීම්වලින් පිරුණු එකක් විය.
රාහුල් ගාන්ධි නමැති මෙම සුවිශේෂ මිනිසාගේ ජීවිතයේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යයක් උදාවන්නේ පසුගිය 2024 ජුනි මාසයේදීය. එනම් මෙයට මාස 04කට පමණ පෙරදී පැවැති 2024 ඉන්දීය මහ මැතිවරණය පැවැති විටදීය. ලෝකයේ බොහෝ රටවල මැතිවරණයන් පැවැත්වෙන්නේ දිනක හෝ දෙකක කාලයක් තුළදීය. එහෙත් ඉන්දීය මහ මැතිවරණය යනු ලෝකයේ අංක එකට තිබෙන විශාලතම මැතිවරණ්‍ය වෙයි. එනම් මෙම මහ මැතිවරණය පැවැත්වීම සඳහා සති 06ක කාලයක් ගතවෙයි. ඉන්දියාවේ කෝටි 142ක ජනගහනයෙන් මිලියන 969ක් ඡන්දයට සුදුසුකම් ලැබීය. මෙවර 2024 ඉන්දීය මහ මැතිවරණය හරියටම දින 44ක් පුරා නොකඩවා පැවැත්වුණු අතර, ඉන්දීය පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 543ක් තෝරාගත්තේය. කෙසේ හෝ මෙම මහා දේශපාලන යුද්ධය සඳහා එරට දේශපාලන පක්ෂ මහා කැපකිරීමක් සිදුකරනු ලබයි. ඒ අනුව මේ ගැටුමේ ප්‍රධානතම ප්‍රතිවාදීන් දෙදෙනා වන්නේ ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයත්, ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයත්ය. මෙවර මැතිවරණය උදෙසා භාරතීය ජනතා පක්ෂය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ මෙහෙයවනු ලැබූ අතර, ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය වත්මන් විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ නායකත්වය යටතේ මෙහෙයවනු ලැබීය. මෙම පක්ෂයේ සභාපතිත්වය දරන සෝනියා ගාන්ධි තම දරුවන් දෙදෙනා වන රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි සමග මහ මැතිවරණය සඳහා විශාල කැපකිරීමක් සිදුකළේය. මෙහිදී සත්‍ය ලෙසම එම මෙහෙවර තම කරට අරන්, දිවා රාත්‍රී නොබලා කටයුතු කළේ රාහුල් ගාන්ධිය. ඔහු මාස ගණනාවක් පුරා මුළුමහත් ඉන්දියාව තුළදීම මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව සංවිධාන කළේය.
පසුගිය යම් කාලයක් පුරා ඉන්දියාව තුළදී ‘ගාන්ධි පවුල් දේශපාලන’ ඉන්දීය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එහෙත් පසුව රාහුල් ගාන්ධිගේ නිර්ව්‍යාජ කැපකිරීම මත ඉන්දීය ජනතාවට ඉන්දීය කොංග්‍රස් පක්ෂය ඉතා සමීප විය. මේ අනුව 2024 මහ මැතිවරණය තුළින් එම පක්ෂය විශිෂ්ට ජයක් ලැබීය. පාලක භාරතීය ජනතා පක්ෂය මැතිවරණ ජයග්‍රහණය ප්‍රධාන වශයෙන් දිනාගත් අතර, ඉන් පසුව දෙවැනි ස්ථානයට ඉන්දීය කොංග්‍රස් පක්ෂයද විශිෂ්ට ජයක් ලැබීය. මේ අනුව රාහුල් ගාන්ධිගේ දේශපාලන ජීවිතයේ කූටප්‍රාප්තිය උදාවූයේය. ඔහු 2024 ජුනි 09 වැනිදා ඉන්දියාවේ 12 වැනි විපක්ෂ නායකවරයා ලෙස තනතුරු ලබාගැනීමට සමත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හැරෙන්නට එවිට ඔහුට එතෙක් විපක්ෂ නායක තනතුරක් හිමිව තිබුණේ නැත. ඔහු ඉන්දීය පාර්ලිමේන්තුවේ වත්මන් විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන්නේ මේ අනුවය. මේ අනුව ඔහු අද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග ගැටෙන ප්‍රධානතම පුද්ගලයා බවට පත්ව ඇත. එසේම ජනතා ප්‍රශ්න ගැන නිර්භයව කතාකරන ජනතාවාදී දේශපාලන නායකයකු බවටද පත්ව ඇත.
දැන් මේ දිනවල නැවතත් ඉන්දියාවේ ඉතා උච්ච ලෙස මැතිවරණ උණුසුම ආරම්භ වී ඇති අතර, එනම් එළඹෙන ප්‍රාන්ත සභා මැතිවරණයට මුහුණ දීමට පක්ෂ සහ ජනතාව යුහුසුළුව කටයුතු කරති. ඒ අනුව විපක්ෂ නායක රාහුල් ගාන්ධි මෙවර තම පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට දිවා රාත්‍රී නොබලා කටයුතු කරයි. තවත් වසර කිහිපයකින් රාහුල් ගාන්ධි ඉන්දියාවේ අගමැති පුටුවේ වාඩිවනු ඇතැයි විවිධ පාර්ශ්ව අදහස් දක්වා සිටියි. මෙම ධෛර්යය අපගේ රටේ තරුණ දේශපාලකයන්ටද ආදර්ශයක් වනු ඇත. එය සත්‍යයකි.

ප්‍රියන්ත හෙට්ටිගේ










