1948 : පළමු ‘නිදහස් දිනයේ’ පත්තර මුල් පිටු

සියවස් ගණනාවක් තිස්සේ බටහිර ජාතීන්ගේ පාලනයට යටත්ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස හිමිවී මේ වසරේ පෙබරවාරි 04 වැනි දිනට වසර 77කි. දීර්ඝ කාලීන අරගල, සාකච්ඡා මෙන්ම ඉන්දියානු උපමහද්වීපයට නිදහස ලැබීමේ බලපෑම යන විවිධ හේතු නිසාවෙන් 1796 සිට බි්‍රතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි 04 දින ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් හිමි විය. එතැන් පටන් වසරක් පාසා නිදහස් උත්සවය සැමරීම සිදුකරනු ලබයි.
මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ වසර හැත්තෑහතකට පෙර ශ්‍රී ලංකාව නිදහස ලැබූ ආකාරය එකල මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයයි. Sri Lanka Latest News
‘අද පටන් ලක්වැසියෝ ලෝකයේ නිදහස් ජාතීන්ට සමානයි’
දිනපතා පළවන පුවත්පතක් වන දිනමිණ පුවත්පත 1948 පෙබරවාරි 04 දින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය සඳහන් කර තිබුණේ ඉහත පරිදිය. එහි තවත් උපශීර්ෂ යටතේ කරුණු වාර්තා කර තිබෙන අතර නිදහස සම්බන්ධයෙන් පුවත්පතේ පළකර ඇති වාර්තාවේ කොටසක උපුටා ගැනීමක් පහත දැක්වේ.
‘අද ලංකාව සම්පූර්ණ නිදහස් හා ස්වතන්ත්‍ර රාජ්‍යයක් ලෙස කැනඩාව, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය යන නිදහස් රාජ්‍ය අතර ස්ථානයක් ගන්නා බව බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවර සී.ආර්. ඇට්ලි මහතා ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් ලංකාවේ අග්‍රාමාත්‍යවර ඩී.ඇස්. සේනානායක මහතා වෙත එවන ලද පණිවුඩයේ සඳහන් වේ.’
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව ඇති පුවත්පත් අධ්‍යයනය කිරීමේදී, නිදහස් දිනයට මාස කිහිපයකට පෙර සිටම ජාතික ධජය සම්බන්ධයෙන් පැවැති විවාදයන් ද පුවත්පත් වාර්තා කර තිබුණු අයුරු නිරීක්ෂණය විය.
1948 පෙබරවාරි 04 දිනමිණ පුවත්පතේ මුල පිටුවේ ඒ වන විට සම්මත කරගෙන තිබූ ධජයේ රූපයක් ද ඇතුළත් කර තිබේ.

සිරකරුවන් 1886කට නිදහස
පුවත්පත පුරා විවිධ ආයතන මුදල් ගෙවා නිදහස් උත්සවයට සුබපතා පළකළ දැන්වීම් රැසක් ද විය.
පුවත්පතේ සිවුවැනි පිටුවේ සඳහන් පරිදි නිදහස වෙනුවෙන් බන්ධනාගාරගතව සිටි සිරකරුවන් 1886 දෙනකුට නිදහස ලබාදීමට ද කටයුතු කර ඇත.
එමෙන්ම එම පිටුවේම ‘අමුත්තන් පිළිගැනීම’ ශීර්ෂය යටතේ, නිදහස් උත්සවය වෙනුවෙන් බි්‍රතාන්‍යයන් පැමිනුණු අමුත්තන් වන ග්ලෝස්ටර්හි ආදිපාදවරයා ඇතුළු දූත කණ්ඩායම ඉදිරියේ රටේ ගෞරවය ආරක්ෂාවන අන්දමින් රටේ පුරවැසියන් හැසිරිය යුතු බවද එහි සඳහන්ය.
1948 පෙබරවාරි 05 වැනි දින දිනමිණ පුවත්පතේ පළමු පිටුවම පාහේ වෙන් වී ඇත්තේ නිදහස් උත්සවය පිළිබඳ වාර්තාවන්ටය. අග්‍රාණ්ඩුකාරවරයා විසින් නිදහස් චතුරස්‍රයේදී දිවුරුම් දීමෙන් අනතුරුව ආරම්භ වූ නිදහස් උත්සවය පිළිබඳව ද එහි වාර්තා කර තිබේ.
එහි එක් ශීර්ෂ පාඨයක නිදහස් උත්සවය සම්බන්ධයෙන් පළකර ඇත්තේ මෙසේය.
‘කොළඹ නගරය එකම මඟුල්ගෙයක් වැනි වීම
දස දීගුන් කනින් නාදකරමින් ඇරඹුණු නිදහස් උත්සවය’
ශ්‍රී ලංකාවේ ඒ වන විට පැනනැගී තිබූ ජාතිවාදී කෝලාහල ද නිදහස නිසා දුරුවෙතැයි එක් ශීර්ෂ පාඨයක සඳහන්ය.
නිදහස වෙනුවෙන් ‘සිංහල ජාතිය’ විශේෂ කලාපයක්

එවක පළ වූ සතිපතා පුවත්පතක් වන ‘සිංහල ජාතිය’ පුවත්පතේ විශේෂ කලාපයක් නිදහස් දිනය වෙනුවෙන් නිකුත් වී ඇත. පිටු පනහකට ආසන්න ප්‍රමාණයක් පුරා මුදල් ගෙවා පළකළ සුබපැතුම් පණිවුඩ රාශියක් එහි අන්තර්ගත විය.
නිදහස් දිනය සඳහා වන විශේෂ අතිරේකයේ තෙවැනි පිටුවේ සිට නිදහස පිළිබඳ විස්තර පළකර තිබේ. එහි ශ්‍රී ලංකාවට නිදහස හිමිවන ‘1947 ලංකා ස්වාධීනතා පනත’ සැකෙවින් විස්තර කර තිබේ.
මෙම විශේෂ කලාපය පුරා විවිධ සුබපැතුම් පණිවුඩ, කවි පන්ති රැසක් පළවී ඇති අතර එහි එක් පිටුවක නිදහස ලැබීම සම්බන්ධයෙන් ලිපියක් සහ පාසල් ශිෂ්‍යාවකගේ කවි පන්තියක් පළකර ඇති අතර එහි පිටු අංකය අපැහැදිලිය.
එලෙස පළකර ඇත්තේ එවකට මරදාන මහබෝධි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ චන්ද්‍රානි එස්. කටුගොඩ ආරච්චි නම් ශිෂ්‍යාවකගේ නිර්මාණයකි.
1948 පෙබරවාරි 10 පුවත්පතේ පළමු පිටුවේ වැඩි ප්‍රමාණයක් වාර්තා කර ඇත්තේ ද නිදහස් උත්සවය සම්බන්ධයෙනි. එහි ප්‍රධාන ශීර්ෂ පාඨයට යටින් ‘ලක්ෂ සංඛ්‍යාත විදුලි බුබුළුවලින් සෑම නගරයක්ම ආලෝකමත් වෙද්දී ඝණ්ටා නාද හා ඔල්වරසන් මධ්‍යයේ ලංකාම්බරයේ උදාවූ ස්වාධීනත්වයේ සූර්යයා’ යනුවෙන් නිදහස හඳුන්වා දී තිබේ.

මුල් ජාතික ගීය
මෙම පුවත්පත් වාර්තාවේ ඇති විශේෂම කරුණක් වන්නේ ජාතික ගීය සම්බන්ධයෙන් පළවී ඇති වාර්තාවයි. ජාතික ගීයක් තෝරාගැනීම වෙනුවෙන් පැවති තරගයේ දී ජයග්‍රහණය කළ ගම්පොළ ජිනරාජ විද්‍යාලයේ කණ්ඩායම ගායනා කළ ගීතය, ජාතික ගීය ලෙස නිදහස් දින ගුවන් විදුලියේ ප්‍රචාරය කළ බව වාර්තාවේ සඳහන්ය.
මෙම ගීතය රචනා කර ඇත්තේ පී.බී. ඉලංගසිංහ විසින්ය. මේ ගීතය වර්තමානයේ භාවිත වන ජාතික ගීය නොවේ.
මහජන මුදල් නාස්ති කළ මහජන නියෝජිතයන්ට විවේචන

1948 පෙබරවාරි 17 පළවූ සිංහල ජාතිය පුවත්පතේ තවදුරටත් නිදහස් උත්සවය පිළිබඳ වාර්තා කර තිබේ. නිදහස් උත්සවයට පැමිණි රාජකීය අමුත්තන් මහනුවර දළදා මාලිගාවට ගොස් නැවත පිටත් වන තොරතුරු එහි වාර්තා කර ඇත.
එම මුල් පිටුවේම නිදහස් උත්සවය උදෙසා මහජන මුදල් නාස්ති කළේ යැයි නායකයන්ට නිර්දය විවේචනයක් එල්ල වී තිබේ. නිදහස් උත්සවය සඳහා ලක්ෂ දහතුනක් වියදම් කර ඇති බවත් එයින් රුපියල් 16,000ක් ගිනිකෙළි සඳහා වියදම් කර ඇති බවට එම විවේචනයේ සඳහන්ය. එහි උපුටාගැනීමක් පහතින් දැක්වේ.
‘විවිධ වූ කෙළිසෙල්ලම් සඳහා ඉමක් කොනක්, ලවක් දෙවක් නැතිව මහජන මුදල් නැතිනාස්ති කළ මේ මහජන නියෝජිතයන් යැයි කියවාගන්නා අය අන්ත ලජ්ජාවකටත්, නිර්දය හෙළාදැකීමකටත් පාත්‍ර වූයේ මේ ගිනිකෙළිය නිසාය. සාමාන්‍යයෙන් ගමේ පන්සලක ගිනිකෙළියක් මීට වඩා දර්ශනීයය. එහෙත් දහපහළොස්දහක් යෙදූ මේ ගිනිකෙළිය නත්තලකට ගෙයි පිටිපස්සා පැත්තට වී අවුරුදු හයේ හතේ ළමයින් කරන රතිඤ්ඤා පත්තු කිරීමකට දෙවැනි නැත.’
එහි දෙවැනි පිටුවේ නිදහස් උත්සවයේ ඡායාරූප පළකර තිබෙන අතර ශ්‍රී ලංකාවේ නිදහස නිමිත්තෙන් ඉන්දියාවේ ද සැමරුමක් පැවැත් වූ බව වාර්තා කර තිබේ.
නිදහස වෙනුවෙන් කෝච්චි පනහක්

1948 පෙබරවාරි 04 ‘සිලෝන් ඩේලි නිවුස්’ ඉංග්‍රීසි පුවත්පත ද සිය මුල් පිටුව වෙන්කර ඇත්තේ නිදහස සම්බන්ධයෙන් වාර්තා කිරීමටයි.
‘නව ඩොමීනියන් ලංකාවේ උපත’ යනුවෙන් එහි ප්‍රධාන ශීර්ෂ පාඨය සඳහන් කර ඇත. එමෙන්ම නිදහස් උත්සවය වෙනුවෙන් කොළඹ පැමිණෙන ජනතාව සඳහා දුම්රිය වාර 50ක් යොදා ඇති බව, සිරකරුවන් නිදහස් කිරීම, කෞතුකාගාරයේ පවත්වන්නට යෙදී තිබූ විශේෂ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ද මුල් පිටුවේ වාර්තා කර තිබේ.
1948 පෙබරවාරි 05 ‘සිලෝන් ඩේලිනිවුස්’ පුවත්පතේ පළමු පිටුවේ, නිදහස ලැබීම, ‘නිදහසේ නව යුගයක ආරම්භය’ ලෙස ප්‍රධාන ශීර්ෂ පාඨය යටතේ වාර්තා කර ඇත.
නිදහස් උත්සවයට සමගාමීව පාර්ලිමේන්තු පරිශ්‍රයේ (වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ) සර් පොන්නම්බලම් රාමනාදන්ගේ පිළිරුවක් එවක කතානායකවරයා වූ ඒ.එෆ්. මොලමුරේ විසින් විවෘත කළ ඡායාරූපයක් පළකර තිබේ. එමෙන්ම ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ‘සිංහ ධජය’ එසවූ බවද පුවත්පතේ මුල පිටුවේම සඳහන්ය.
චීනය, ඔස්ටේ්‍රලියාව කැනඩාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ඇමෙරිකාව වැනි රටවලින් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එවූ සුබපැතුම් පණිවුඩද එහි පළකර තිබේ.
නිදහස සම්බන්ධයෙන් එකල පළවූ බොහෝ පුවත්පත් වාර්තා කර තිබූ අතර, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව දැනට ඇති ප්‍රධාන හා පැහැදිලි තත්ත්වයේ ඇති පුවත්වල වාර්තා පමණක් මෙහි දී අප සඳහන් කර තිබෙන අතර ආසන්න කාලයේ දී විවිධාකාර වාර්තා සහ ලිපි පළවී ඇති බව ද සඳහන් කළ යුතුය.
(බීබීසී සිංහල වෙබ් අඩවියෙනි)










