පළාත් සභා ඡන්දෙ තියෙනවද නැද්ද? රටේ මිනිස්සුන්ට ඒක අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. අපි විශ්වාස කරනවා මේ ලිපියවත් මිනිස්සුන්ට එච්චර වැඩක් වෙන්නේ නැති වෙයි. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න තමයි තෙල් මිල වැඩිවෙනවද, බඩු මිල අඩුවෙනවද, බඩු මිල වැඩිවෙනවද, අරවා ගණන් යනවද, මෙව්වා ගණන් යනවද, වාහන ගෙන්නනවද, වාහන ගෙන්නන එක නතර කරනවද? මේ වගේ එක එක ජාතියේ ප්‍රශ්න තියෙනවා.Sri Lanka Latest News
ඩොලර් එකත් ඇත්තටම මිනිස්සුන්ට බලපාන ප්‍රශ්නයක්. උඩ යනවා, අඩු වෙනවා. බැංකු පොලී අනුපාත වැඩිකරන බව කියනවා, අඩු කරන බව කියනවා. මේවා ඔක්කොම ටික මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න. ඇත්තටම අපි විශ්වාස කරන්නේ නැහැ, මේ රටේ කිසිම විදියකින්, කිසිම තැනකදී, කිසිම අවස්ථාවකදී මේ රටේ මහජනතාවට මේ පළාත් සභා ඡන්දෙ තියෙනවද නැද්ද කියන එක ගැන තර්කයක් තියෙනවා කියලා.
හැබැයි මේ වෙලාවේ සාකච්ඡා කරන්න තියෙන මාතෘකාව තමයි කවුද මේ ටිල්වින් සිල්වා කියන්නේ? ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විශේෂ චරිතයක්. ඔහු විශිෂ්ටයෙක්, ඔහු අපූරු මනුස්සයෙක්. වරප්‍රසාද පස්සේ පන්නන්නේ නැති ජ්‍යෙෂ්ඨයෙක්. මාලිමාව මේ තැනට අරගෙන එන්න අප්‍රමාණව වෙහෙස වුණු හැබෑ දේශපාලනඥයෙක්. ඒත් ඔහුට මොකක්ද තියෙන බලය ඡන්දෙ ගැන කියන්න? ඔහු යාපනයේ ගිහිල්ලා ඡන්දෙ ගැන කියනවා, ඊට පස්සේ ආයෙත් ඡන්දෙ ගැන ඔහු කිව්ව කතා ටිකක් සමාජගත වෙනවා.
ඔහුත් එක්ක සාකච්ඡා කළ බව කියනවා, ඔහුත් එක්ක සාකච්ඡා කරන්න කිසිම වුවමනාවක් නැහැ. මොකද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත්, කිසිම ජනතා බලයක්වත් තියෙන කෙනෙක් නෙවෙයි. අපිට මතකයි රනිල් වික්‍රමසිංහත් එක වතාවක් ඔය වගේම පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා ඡන්දෙ තියන්නෙත් නැහැ, ඡන්දෙ තියන්න වුවමනාවක් නැහැ, ඡන්දෙ තියන්න සල්ලිත් නැහැ. ඡන්දෙත් නැහැ, සල්ලිත් නැහැ වගේ කතාවක්. දැන් මෙයාලාත් කියන්නේ ඒ බයිලෙමයි. ඡන්දෙත් නැහැ, සල්ලිත් නැහැ, ඡන්දෙ තියන්න විදිහක් නැහැ කියලා. තව කෙනෙක් කියනවා ඡන්දෙට සල්ලි වෙන් කළ බව ඔහු කිව්වා කියලා. ඔහු කියන්නේ මේ ටිල්වින් සිල්වා කිව්වා කියලා.
අපිට මාලිමාවෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඔබේ පක්ෂයේ ඉන්න, ඔබත් එක්ක දේශපාලනය කරපු, ඔබේ දේශපාලනයට උදව් කරපු, දේශපාලනයේ මුල් කාර්තුවේදී විශාල වෙහෙසක් ගත්තු, අර 3%ට බලය තියෙන කාලේ ඉඳලාම කටු කාපු, විප්ලවයේ කාලේ ඉඳලාම දුක් වින්ද, දරදිය ඇද්ද ඔබේ හිතවතාට ආදර ගෞරව දක්වන්න, සංග්‍රහ කරන්න පාවිච්චි කරනවාද ඔබ ඔය දේශපාලන බලය? ඔහුට තිබුණා පාර්ලිමේන්තුවේ ඇමැතිකමක් ගන්න, මේ සියල්ල කරන්න තිබුණා.
එහෙම කිසි දෙයක් නැතුව අපේ රටේ ප්‍රබල සහ ප්‍රධාන කාරණාව සම්බන්ධයෙන් මැදිහත් වීමේ හැකියාව ඔහුට නැහැ. අපි දැක්කා එක්තරා දේශපාලකයෙක්, ලාල්කාන්ත මහත්තයා අමුතු කතාවක් කියලා තිබුණා, කාටවත් ඕනෙ විදියට නෙවෙයි මේ රට පාලනය කරන්නේ, මේ රටේ තියෙනවා ක්‍රමවේදයක්, ඒ ක්‍රමවේදයට අනුව තමයි මේක පාලනය කරන්නේ, ඒ නිසා කවුරුත් මේකට මැදිහත් වෙන්න ඕනේ නැහැ කියලා.
එතකොට අපිට කලින් ආරංචියක් ලැබුණා අදෘශ්‍යමාන ආරංචියක්, යම් සිදුවීමක් සිද්ධ වුණා කියලා ඔය පැලවත්ත ඔෆිස් එකේදී. ඒකට ලාල්කාන්තගෙයි ටිල්වින් සිල්වාගෙයි නම් දෙක තමයි ගෑවුණේ. ඉතින් ඒක බොරුද ඇත්තද කියන්න දන්නේ නැහැ. ඒවා හුදු ආරංචි විතරයි, එහෙම වුණේ නැහැ කියලා කියන අය තමයි වැඩිපුර ඉන්නේ. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ගම් තුලානවල ජීවත්වෙද්දී අපි දන්නවා ගින්නක් නැතුවම දුමක් නගින්නේ නැහැ. දුමක් නගිනවා නම් කොහේ හරි කොනක ගින්නක් තියෙන්න ඕනේ. අතීත ගින්නක් හෝ වර්තමාන ගින්නක් හෝ අනාගතයේ ඇවිළෙන්න නියමිත ගින්නක් හෝ තියෙන්න ඕනේ. මොකද ගින්න ඇවිළෙන්න කලිනුත් දුම දානවා, හැබැයි පස්සේ ගින්න බෝ වෙනවා.
ඉතින් ඒ නිසා මෙව්වයේ අග මුල පැහැදිලි කරගන්න අපි දන්නේ නැහැ. කොහොම වුණත් දේශපාලන බලයක් නැති, පාර්ලිමේන්තුවේ හෝ අඩුම තරමේ ප්‍රාදේශීය සභාවකවත් පත්වීමක් නැති, ජනතා ඡන්දයක් නැති, ජනතාවගේ කැමැත්තක් අකැමැත්තක් ගැන දන්නේ නැති හුදු පුද්ගලයෙක්ට ලංකාවේ ඡන්දයක් තියෙන එක ගැන තීන්දු ගන්න බලය ආවේ කොහොමද කියලා අපි රටක් විදියට ප්‍රශ්න කරනවා. ඔහුට තවත් දේවල්වලට මැදිහත් වෙන්න මේ විදිහට පුළුවන්කම තියෙනවා නම් ඒක ප්‍රශ්නයක්. මෙවැනි තත්ත්වයක් යටතේ රටක් පාලනය කරද්දී ඒකට ඇඟිලි ගහන අය ඉන්නවා නම් ඒක ලොකු ගැටලුවක්.
ජනාධිපතිතුමාට ඕනෙ විදියට මේ රට පාලනය කරන්න හම්බවෙන්නේ නැත්නම් ඒක රටට බලපාන්න පුළුවන්. මොකද ජනතාව විශ්වාස කළේ ජනාධිපතිතුමාව. ඔහු විශිෂ්ටයෙක්, ඔහු දක්ෂයෙක්, ඔහු හොඳ මනුස්සයෙක් කියන එක මත තමයි මේ ඡන්දය දුන්නේ. ඔහුගේ හැකියාව තමයි මිනිස්සු දැක්කේ, ඔහු ගැන තමයි මිනිස්සු අධීක්ෂණය කළේ, ඔහු ගැන තමයි මිනිස්සු නිරීක්ෂණය කළේ. ඉතින් දැන් මේ වෙනකොට අපිට තේරෙන දෙයක් තමයි ඔහුට විතරක් තීන්දු ගන්න බෑ, ඔහුට අමතරව තව ගොඩක් දෙනෙක් මේකට මැදිහත් වෙනවා කියලා.
එහෙනම් මහත්තයෝ, ඒ මැදිහත් වෙන අය එක්කෝ ජනතාවට ප්‍රශ්න කරන්න පුළුවන් තැනකට අරගෙන එන්න. නැත්නම් එහෙම ජනතාවට ප්‍රශ්න කරන්න බැරි ඔබේ සීමාවේ ඉන්න අයට මේකට මැදිහත් වෙන්න නොදී ඉන්න. මොකද ලංකාවේ තියෙන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයක්. අපිට අපේ ජනතා නියෝජිතයා හරහා අපේ අදහස් ප්‍රකාශ කරන්නයි පාර්ලිමේන්තුව තියෙන්නේ. එහෙම නැතිව පාර්ලිමේන්තුව තියෙන්නේ නිකන් ආයතනයක් විදිහට වෙලා, ඒකටත් පිටින් තීරණ අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා නිකන් චාරිත්‍රයට මේක සාකච්ඡා කරන කතාකරන තැනකට නම් පත්කරගන්න එපා.
එහෙම වුණොත් එහෙම මේක භයානක තැනකින් කෙළවර වෙන්න පුළුවන්. ඒ භයානක තැන කියන්නේ මේ මාලිමාවේ කාටවත් රිදෙනවා කියලා වත්, එහෙම නැතුව මේ ප්‍රබල දේශපාලනඥයන්ට මොනවත් අහිමි වෙනවා කියලා වත් නෙමෙයි, බලය අහිමි වෙනවා කියලා නෙමෙයි, රටට රිදෙනවා. අපිට රිදෙනවා, අපි මහජනතාව. අපිට අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ, අපේ අනාගතය ගැන හිතන්න ඕනේ. අපි ගැන හිතලා තීන්දු ගන්න ක්‍රමවේදයක් මිසක අපි ගැන නොහිතා තීන්දු ගන්න හිතුවක්කාර ක්‍රමවේදයක් යටතේ මේ රට ඉස්සරහට ගියොත් ඒක භයානක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

ජීවන පහන් තිළිණ










