බළලාට, බිලාලයා යැයිද නමකි. “මාර්ජාරයා” යනුවෙන් යෙදෙන බව “සරස්වතී අකාරාදිය” ග්‍රන්ථයේ දැක්වේ. දෙමළෙන් “පූනෛ”ය. බළලාට ඔය නාමපද සියල්ල වැඩිහිටියන්ගේ ඇමතුම්ය. එහෙත් අපේ සිංහල, දෙමළ සහ ඉංගිරිසි පොඩි දරුවනට නම් ඇත්තේ එක පොදු වචනයකි. ඒ “ඤාව්”ය. නැත්නම් “ඤාව්වා”ය.
ගෘහාශ්‍රිත සතා “බළලා” වුවද මිනිස් ඇසුරෙන් දුරස්ව සිටින “වනගතයා” වල් බළලා හෙවත් “වල්බාවාය”. (හෙළ බසෙහි වදනක් හැදෙන හැටිවත් නොදන්නා පණ්ඩිත මානීන් වල් අලියා “වන අලියා” කරගත් පරිදි වල් බාවා හෝ වල් බළලා හෝ “වන බාවා” හෝ “වන බළලා” හෝ කරගන්නටද පිළිවන)
ඈත අතීතයේ එක්තරා රටක මහා පණ්ඩිතයන් දෙදෙනකු වූයේය.
මිතුරන් වූ දෙදෙනා අතර වාදයෙක්වී. එක් අයකුගේ මතය “ජන්මයට වඩා පුරුද්ද ලොකු බවයි”. එහෙත් අනෙක් පඬුවා ඒ මතය බැහැර කළේය. “පුරුද්දට” වඩා ජන්ම ගතිය ප්‍රධාන බව හෙතෙම කීවේය.
“හරි මා ජන්මයට වඩා පුරුද්ද බලවත් බව සනාථ කර ඔබට පෙන්වනවා” එක් පණ්ඩිතයෙක් අනෙකාට අභියෝග කළේය.
“එසේ වුව හොත් හිමි” මම ඔබට අතවැසි වෙමි” මිතුරු පණ්ඩිත තෙමේ මිතුරාට “කෝචොක්” පාරක් දමමින් අභියෝගය භාරගත්තේය.
“ශිල්ප සත්වන දවස දක්වමි” යාළුවාද “රිටර්න්” එක දුන්නේය.
පුරුද්ද බලවත් යැයි කියන්නාට ඉතා කීකරු බැළලියක් සිටියාය. ඔහු ඇයට කීවාක්ම කරන්නට ඉගැන්වූවේය. පොතක් පතක් ගේන්නට තමා යමක් කරන තුරු පහනක් අල්ලා සිටින්නට ආදී දේ කරන්නට ඉගැන්වුවේය.
“හරි මගේ බැළලිට හොඳ පුරුදු ඉගැන්නුවා. ඇය දැන් බැළලියක් නොවේ. ඈ මගේ කීකරු දාසියයි. ඇවිත් බලන්න” හේ මිතුරාට කීවේය.
ඇත්ත නැත්ත බැලීමට පණ්ඩිත මිතුරා අනෙකාගේ නිවෙසට ගියේය. ඒ වෙලාවේ හොඳටම කරුවල වී තිබුණේය.
දෙදෙනා සුව පහසුව අසුන්ගෙන කතාබහට වන්හ.
“මෙහෙ එන්න අපි දෙන්න කතා කරනකං ඔය ලාම්පුව (පහන) අල්ලාගෙන ඉන්න” ගෘහ හිමියා බැළලියට අණ කෙළේය.
ඇය එසේ කළාය. පුරුද්ද බලවත් යැයි කී පණ්ඩිතයාගේ මුහුණේ ජයග්‍රාහී හිනාවක් නැඟී තිබිණි.
අනෙක් පණ්ඩිතයා ඔතාගෙන ආ යමක් බැළලියට පෙනෙන්නට මේසය මත තැබුවේය. ඒ මීයෙකි. ඌ පැන දිව්වේය. ලාම්පුව වීසි කළ බැළලිය මීයා පස්සේ පැන්නුවාය.
ඒ ගැමි උපහැරණයකි.
“මට බළලා හම්බ වුණොත් පරසක්වළ ගහනවා” යැයි, රා බී (කුල්) මත්වූ මීයෙක් සිංහ නාද කෙළේය.
“ඒ අසා සිටි ළමයෙක් බළලකු මෙන් ඇඬුවේ (කෑගෑ)ය.
“අනේ රාළහාමි, කාපු බීපු වෙලාවට කියන ඒව ගණන් ගන්න එපා” යැයි කියමින් මීයා නාහෙන් අඬන්නට වූයේය.
ඒ පැරණි ජන කතාවකි.
එක් ඍෂිවරයෙක් සිය දියණිය වශයෙන් හදාවඩාගත් බැළලිය ලෝකයේ මහාම බලවතාට විවාහ කර දෙමැයි සිතා ලෝක බලවතාවූ සූර්ය දිව්‍ය රාජයා කරා ගොස් විවාහ යෝජනාව කෙළේය.
“ඍෂිතුමනි, වැස්ස වළාහක විත් මා වසාගත් කල මගේ බලය අවසන්. මට වඩා බලවත් වළාහක දෙවියන් ළඟට යන්න” සූර්යා කීවේය.
ඍෂි තෙමේද එසේ ගොස් වළාහක දෙවියනට දියණිය පිළිබඳ විවාහ යෝජනාව ඉදිරිපත් කෙළේය.
“මට වඩා වායු (මාරුත) දේව බලවත්. ඔහු මා පළවාහරින තැන ගැන මට සිතන්නවත් නොහැකියි. එනිසා ඔබතුමා මාරුත දෙවියන් කරා යන්න”
ඒ උපදෙස් අනුව ගොස් ඍෂිවරයා මාරුතට විවාහ යෝජනා කෙළේය.
“අනේ මුනිතුමනි, මා කොපමණ බලවතෙක් වුවත් මහ වනාන්තරේ අසවල් ස්ථානයේ ඇති “තුඹසේ” (හුඹහ) එක අංශුවක් හෝ සෙලවිය නොහැකියි. ඒ ඔහු මට වජා බලවත් නිසා. ඔබතුමාගේ දියණියට සුදුස්සා ඔහුයි.”
ඍෂිවරයා තුඹස කරා ගිය විට තුඹස මෙසේ කිවේය. මේ වනාන්තරයේ වෙසෙන වෘෂභ රාජයාට කෝපාවිෂ්ඨ වූ විට මට ඇන පයින් මැඬ මා සුණුවිසුණු කරනවා. ඒ නිසා ඔබතුමා ඒ වෘෂභ රාජයාට දියණිය සරණකර දෙනු මැනැවි.
ඍෂිවරයාට වෘෂභ රජාගෙන් ලැබුණේ මෙවන් උත්තරයකි.
“අනේ ඍෂිතුමනි, මේ වනයේ වෙසෙනෙ කොටියාගේ හඬ ඇසෙන විට මට දුවන්න රට මදි. ඔබතුමා එතුමා ළඟට යන්න”
ඍෂිතුමා එසේ කළේය.
“කොටිරාළහාමි” මෙ සේ කීවේය.
“ස්වාමීනි, මට ගස් නගින්න ඉගැන්නුවේ අසවල් තැන වෙසෙන බළල්තුමා. එතුමා මගේ ආචාර්යවරයාණෝයි, ඔබතුමාගෙ දියණිය මගේ ගුරුතුමාට විවාහ කර දෙන්නේ නම් වටී”
ඒ ඍෂිතුමා ලෝකයේ බලවතා සොයා ගොස් අන්තිමේ දී ඒ බැළලිය ඒ බළලාට විවාහ කර දුන්ණේය.
“නිස්සාට නිස්ස මිස, කොස්ස නොවේ” යන උපහැරණය ගම්මුන් අතරට ආවේ ඉන් පසුවය.
සුනඛයාගේ ජන්ම ගතිය මිනිසා කෙරෙහි හිතෛෂීවන්තභාවයයි. එහෙත් බළල් වර්ගයාගේ ගතිය ඌ වෙසෙන නිවෙසට ඇල්ම දැක්වීම බව පර්යේෂණවලින් සනාථවී ඇත.
නොපෙනී යාමේ බලයක් ඇති බළලකු ගැන ලුවිස් කැරොල් ලියූ “ඇලිස් ඉන් වොන්ඩර් ලෑන්ඩ්” කෘතියේ විස්තෘතය.
බළලාට අමනුෂ්‍ය ආකර්ෂණික ගුප්ත බලයක් ඇතැයිද පෙරඅපරදිග මතයකි. ඌ මන්ත්‍රකාරියන්ගේ ඇසුරේ සිටි බවට කතා ගනන් පදම් නැත. රුසියාවේ “බාබායිගා” මන්ත්‍රකාරිය (යකින්න) ළඟද බළලෙක් සිටියේය.
මහ දෙරැහැ මැද්දේ බළලුන් පොරකෑම මහා “මූසලකමක්” බවද විපත්තිදායක බවද අදත් පවත්නා මතයකි.
බළලාට “පූසා” යන නාමයෙන්ද බෙණෙති. ඒ පදය ඉංගිරිසියෙන් “පූස්” Puss නැතහොත් “පූසි” Pussy යන්නෙන් බිඳගත් එකකි. ඉංගිරිසි “පූසා” සහ සිංහල “පූසා” අතර තේරුමේ විශාල වෙනසක් තිබේ. ඉංගිරිසි වචනයේ තේරුම ප්‍රසිද්ධියේ කීම සුදුසු නැත.
ඇතැම් දෙනා කිසිවක් නොදන්නා සේ “පූස් පාට්” එකෙන්ද සිටිත්. ඉංගිරිසියෙන් “ ෆෙලයින් ඇමිනිටි” Feline aminity පූස් පාට් එකය. බළලා (පූසා) පූස් පාට් එකෙන් සිටින්නේ ගොදුර ළංවන තුරුය.
බළල් පෙළපත ගැන කතා ටොන් ගණනක් තිබේ. දැන් ඇත්තේ නිකම් ටොන් නොව මෙට්ටි්‍රක් ටොන්ය)
එහෙත් මේ අල්ලපනල්ලේ “බළල් පුරාණය” (පරම්පරානුගත කතා) “බළල් වත” (වත්ථුව) ගැන කියන්න්ට සිදුවූයේ අපේ රෝහිත රාජපක්‍ෂ, මහත්තයාගේ (චිචී) සුරතලා වන බළලා අතුරුදන්වීමේ පුවත ඔහු විසින්ම පසුගියදා සමාජගත කරනු ලැබ තිබුණු බැවිණි.
බළලා සොයාදුන් කෙනකුට වටිනා ත්‍යාගයක් දෙන බවටද ප්‍රකාශ කර තිබිණි. එහෙත් අවසානයේදී ඒ සතා හමුවී තිබිණි.
සුරතලයට සතුන් ඇතිකිරීම සත්ව කරුණාවය. සත්ව කරුණාව උතුම් බව බුද්ධ දේශිත ධර්මයකි.
එංගලන්තයේ හිටපු අගමැතිනි මාග්‍රට් තැචර්ද සුනඛ ළෝලිනියකි. අපේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකද බලු සුරතල් අගේ කරන්නියකි. ඇය වරක් ඒ සුරතලා කැබිනට් මණ්ඩලයටද ගෙනා බව මට මතකය.
සුරතල් සතකු ඇති කිරීමෙන් හෘද රෝග ඇති නොවන බව වෛද්‍ය මතයකි.
අපේ රෝහිත රාජපක්‍ෂ මහතාටද සුරතලකු වශයෙන් “ටර්කිෂ් ඇන්ගේා්රා”Turkish Angora වර්ගයේ බළල් පැටවකු සිටීම අරුමයක් නොවේ.
“ටර්කිෂ් ඇන්ගේා්රා” වර්ගයට ඉතා දිගු පාරම්පාරික ඉතිහාසයක්ද ඇත. දාහත්වැනි සියවසට සමගාමී වර්ෂවල අභිජනනය කර වර්ධනය කර ඇතැයි පැරණි ලේඛනවලද විස්තර ලියැවී තිබේ. ඇන්ාගෝරාගේ මුල් පදිංචිය මධ්‍යම ඇනටෝලියාවේ වර්තමානයේ තුර්කි අන්කාරා කලාපයේ බව පැවසේ. ඇමරිකානු සහ බි්‍රතාන්‍ය බළලුන් ඇතිකරන්නන් විසින් ටර්කිෂ් ඇන්ගෝරා බළලා සමග පර්සියානු බළලා අභිජනනය කළ බව කියති. එකල පැටියකුගේ වටිනාකම ඩොලර් 900-1500 අතරේය. වටනාකමද ඉතා ඉහළ මට්ටමේය. මේ වන විට ඩොලර් 1500-3000 තරමේය. රුපියල්වලින් නම් ලක්‍ෂ තුනේ සිට ලක්‍ෂ හය දක්වා මට්ටමේය. අභිජනන (දෙමුහුන්) නව නිෂ්පාදනය අන්කාරා වූවේලු. උසස් ගෝත්‍රය, සම්මත ශරීර අනුපාතය සහ හැඩරුව, අඟ පසඟ අනුවද වටිනාකම වෙනස් වේ. නිල් පැහැති ඇස් ඇති බළලා මහත් හය්යෙන් (ශබ්ද නගා) නද දෙයි. ඊට හේතුව ඒ සතුන්ගේ ශ්‍රවණ ශක්තිය දුබල බව නිසාවෙන් යැයි කියති. “ටර්කිෂ් ඇන්ගේා්රා” බලලුන්ගේ ආයු කාලය අවුරුදු fදාළහත් දහඅටත් අතර වේ.
සුරතල් බළලකුගේ සුරතලය නොකඩවා දින ගණනක් වුවද බලා සිටිය හැකිය. හරියට අලි බලන්නා සේය. කොපමණ බැලුවත් ඇතිවීමක් නැත. මදිය.
බළලා මාංශ භක්‍ෂකයෙකි. පිළිහුඩු සුවඳ වැටුණු විට “කස්තිරං” අල්ලන්නේය. ඒ ජන්ම ගතියකි.
මම සැමදා උදේට බත්මිටක් මගේ නිවසේ පියැස්ස මතට විසිකර කාමරයට වී නිහඬව සිටින්නෙමි. එවිට මට මුළු ලොවම අමතකය.
රෝහිත රාජපක්‍ෂ මහතා සිය සුරතලා වෙනුවෙන් එපමණ පශ්චාත්තාපයට පත්ව සිටියේ එවන් සන්තෘෂ්ඨියක් ආත්සාත් කර ගත්තකු නිසා බව මම පසක් කර ගතිමි.
චන්ද්‍රසේන මාරසිංහ










