මේ උදාවෙන්නේ 2025 වර්ෂය. 2024 ඉවරයි. පහුගිය දවස් 366 ඇතුළේ අපේ රටේ බොහෝ වෙනස්කම් සිද්ධ වුණා. බොහෝ දේ අපි බලාපොරොත්තු වුණාට වඩා වෙනස් වුණා. රටක් විදියට සමහර දේවල් ජයග්‍රහණ විදියටත්, සමහර දේවල් පරාජයන් විදියටත්, සමහර දේවල් සම සිතින් ඉවසා දරා සිටිය යුතු දේවල් විදියටත් හඳුනාගන්න පුළුවන් වුණා. (Sri Lanka Latest News)
2024 වර්ෂය ශ්‍රී ලංකාවේ සිද්ධ වෙච්ච ඉතාම සුවිශේෂ කාරණය වෙන්නේ ශ්‍රී ලංකාවේ සිද්ධවුණු දේශපාලන වෙනස්කම. මේ දේශපාලන වෙනස්කම කොයි තරම් බලපානවාද කියන එක අපිට දැනගන්න ලැබෙන්නේ 2025 වර්ෂයේදී. ඒකට හේතුව අලුත් ජනාධිපතිවරයා සහ අලුත් ආණ්ඩුව පත්වෙලා ඒ හැටි කාලයක් 2024 අවුරුද්දෙදි ගතවෙලා නැති නිසා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම වාමාංශික ජනාධිපතිවරයා පත්වුණේ 2024 වර්ෂයේදී. ඔහුට වැඩි කාලයක් නොගොස් තමන්ගේ පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමේ හැකියාව ලැබුණා. ඒ පාර්ලිමේන්තුව සභාග ආණ්ඩුවක් විදියට එහෙම නැත්තම් සමගිය මුල් කොටගත් බලවේගයක් විදියට, එහෙමත් නැත්නම් සන්ධානයක් විදියට, එහෙම නැත්තම් කාගේ හරි කෙනෙක්ගෙ උදව්වක් ඉල්ලගෙන ඉස්සරහට අරගෙන යන අටවාගත්ත පාලන බලයක් විදියට හඳුන්වා දෙන්න අවශ්‍ය වුණේ නැහැ. ඒකට හේතුව ඔවුන්ට ඉතාම ශක්තිමත් බලවේග සහිත තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුවක් ලැබුණා. දැන් කිසිම හේතුවක් නිසා අනුර කුමාර දිසානායකට හෝ ඔහුගේ කණ්ඩායමට බැහැ නිදහසට හේතු කියන්න. ඒකට හේතුව දැන් ඔවුන් සතුව තියෙන බලය ශක්තිමත්. ස්ථාවරයි, නිශ්චිතයි, පෙරළා දැමීමක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ තවත් මහ ඡන්දෙකදි විතරයි. ඒකට හේතුව මෙහෙම කණ්ඩායමක බලය උදුරාගෙන එකසිය දහතුනක් හදාගන්න පුළුවන් කෙරුමෙක් මම හිතන්නේ නෑ මේ රටේ බිහිවෙලා ඇති කියලා. මොකද ඒකට හේතුව මේ පාර්ලිමේන්තුවට පත්වෙච්ච මන්ත්‍රීවරු අතරින් අතිශය විශාල පිරිසක් නවක මන්ත්‍රීවරුන්. ඔවුන්ට වෙන කිසිම දේශපාලන ඇයි හොඳයිකමක් යාළු මිත්‍රකමක් නැහැ. බොහෝ දෙනෙක් ක්‍රියාකාරී දේශපාලනයේ නියැළුණු අය නෙමෙයි.
ඒ වගේම ලංකාවේ දේශපාලනයේ හිටපු ප්‍රබලතම දේශපාලකයෝ 60කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත්වුණු පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරුන් 60කට වඩා වැඩි ප්‍රමාණයකට පාර්ලිමේන්තුව පැත්ත පළාතක එන්න බැරි වෙච්ච අවුරුද්දක් විදියටයි 2024 වර්ෂය අපට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. 2024 වර්ෂය කොහොමත් අපිට නිල වශයෙන් බංකොලොත් ආණ්ඩුවක් විදියට බංකොලොත් රාජ්‍යයක් විදියට හඳුනාගත්ත වර්ෂයක්. ෂඵත් ණය මත යැපුණු වර්ෂයක්. නමුත් මේ සියල්ල නිමාවුණා 2024 වර්ෂය අගභාගය වෙද්දී. අපි බංකොලොත්භාවයෙන්ම මිදුණා. අපිට තවදුරටත් අපේ බලය රැකගන්නට අපේ රට පවත්වා ගෙන යන්නට ආධාර ණය ලබාගත යුතු බව පිළිගත හැකියි. නමුත් රටක් විදියට අපිට යම් හිස එසවීමක් සිද්ධ වෙච්ච වර්ෂයක් විදියට 2024 වර්ෂය හඳුනාගන්න පුළුවන්.
මීට කලින් වසරවල් කිහිපය ඉතාම තීරණාත්මකයි සහ භයානකයි. ඒකට හේතුව එකක් කොවිඩ්. කොවිඩ්වලට කලින් පාස්කු ප්‍රහාරය. ඉන් පස්සේ තෙල් අර්බුදය, ගෑස් අර්බුදය. මේ සියලු අර්බුද නිමාවුණු වසරක් විදියට 2024 වර්ෂය හඳුනාගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ තිබිච්ච දේශපාලන අරගලය යම් සමථයකට පත්වෙලා අරගලේ ප්‍රතිඵල නෙළාගත්තු වසරක් විදියට 2024 වසර හඳුන්වා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. 2025 වර්ෂය උදාවෙන්නේ මේ සියල්ලත් එක්ක. අලුත් අරුණැල්ලක් අපිට ලැබෙනවා. දැන් දේශපාලන බල පෙරළි සඳහා මේ 2024 වර්ෂයේ තිබුණු ඉඩකඩ 2025 වර්ෂයේ ඇහිරී යනවා. 2025 වර්ෂයේදී බල පෙරළියක් සිද්ධ වීමේ සම්භාවිතාව අතිශය සීමිතයි. ඒ වගේම මේක මැතිවරණ වර්ෂයක් විදියට අපට හඳුන්වා දෙන්න බෑ. 2024 කියලා කියන්නේ ප්‍රබල ප්‍රධාන මැතිවරණ දෙකක් පැවැති වර්ෂයක්. නමුත් මේ වසරේදී එම ප්‍රධාන පෙළේ ප්‍රබල මැතිවරණ පැවැත්වෙන්නේ නැතිවේ යැයි අපි විශ්වාස කරනවා. ඒකට හේතුව ජනාධිපතිවරණයක් හෝ මහ ඡන්දයක් මේ අවුරුද්දේ නොතියනවා කියන විශ්වාසය අපිට තියෙන නිසා.
අධ්‍යාපනය නංවාලීම රටේ විශාල වගකීමක්. මේ ආණ්ඩුව ගැන අපි හුඟාක් බලාපොරොත්තු තියලා තියෙන්නේ. ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවීම වගේ දේවල් ගැන බලාපොරොත්තු එක්කයි මේ අවුරුද්ද උදාවෙන්නේ. ගුරුවරුන්ගේ වැටුප් පළමු වැටුප් තල දහය අතරට ගේන එක මේ ආණ්ඩුවේ පොරොන්දුවක්. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න පුළුවන් නම් මේ වෙලාවෙ අපේ රටට අවශ්‍ය කරන අධ්‍යාපන වෙනස කරන්න ඉතාම පහසු වෙයි. ඒ වගේම ටියුෂන් නියාමනය කියන්නේ මේ වෙලාවෙ රටේ ඉතා විශාල අවශ්‍යතාවක් විදියට තියෙන දෙයක්. ඒක 2025 දී ක්‍රමවත්ව කරනවා නම් නරක දෙයක් නෙමේ.
ඒ වගේම කර්මාන්ත සහ කෘෂිකර්මය වෙනුවෙන් කරනවා නම් හුඟක් දේවල් තියෙනවා කරන්න. අපි හොඳටම දන්නවා පහුගිය කාලේ ඉඳන් අපේ රටේ හාල් ප්‍රශ්නයක් තියෙනවා. ඒක වහන්න මොන සෙප්පඩ විජ්ජා දැම්මත් වැඩක් නෑ. මීළඟ මහ කන්නයේදී ඔය අවුල හත්අට ගුණයකින් වැඩි වෙනවා. ඒකට සාධාරණ සහ සාර්ථක විකල්පයක් හදාගන්නම වෙනවා. ඒ වගේම පොහොර ප්‍රශ්නය වගේ හත්පොළේ ගාගන්නෙ නැතිව ප්‍රායෝගික විකල්පවලට යන නව වසරක් ආවොත් නම් ලොකු දෙයක්.
මේ වසරේදි කර්මාන්තය නගාසිටුවීම සඳහා නිශ්චිත ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. එහෙම නැතුව සුද්දෝ එනවා කියලා උඩ පැන පැන හිටියොත් වෙන්නේ අපිට 2025 වසරෙදිත් අපේ තියෙන අරමුණුවලට යන්න බැරි වෙන එක.
සංචාරකයෝ ලංකාවට එන්නෙ නිකම්ම නිකං බලල යන්න නිකම්ම නිකං ඉඳලා යන්න නෙවෙයි. ඒකට අලුත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. මහා මාර්ග සංවර්ධනය දැන් තියෙන තත්ත්වයෙන් හුඟක් ඉහළට යන්න ඕනේ. මොකද මේ වෙලාවේ මහා මාර්ගවල තියෙන්නේ කඩාවැටුණු ස්වභාවයක්. ‘හැදුවා හැදුවා හැදුවා’ කිව්ව පාරවල්වලින් 50%කට වඩා පහුගිය වැස්සට කැඩුණා. කාපට් ගැලවිලා ගිහිල්ලා. ගල් මතුවෙලා. කොන්ක්‍රීට් පාරවල්වලින් 90%ක්ම දැන් විනාශයි. මේ පාරවල් ටික හරියට හදාගත්තේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැහැ. කෘෂිකර්මය නංවාලන්න බැහැ. ක්‍රමවත් වැඩපිළිවෙළක් හදන්නේ නැතුව කිසිසේත්ම මිනිස්සුන්ට යන්න එන්න පුළුවන් පාරවල් ටිකක් නැතුව රටක් දියුණු කරන්න බැහැ.
ඊළඟට මේ බලශක්ති අර්බුදය. මුළු ලෝකයම දැන් ඉන්නේ බලශක්ති අර්බුදයක. බලශක්තිය කියන්නේ ඉතා වටිනා සම්පතක්. බලශක්ති අර්බුදය රටේ නිශ්චිත පැය ගානක් තිස්සේ දවස් 365ම ඉර එළිය වැටෙන රටක අපිට බැරි ඇයි අවශ්‍ය කරන ප්‍රමාණයට සූර්ය විදුලිය නිෂ්පාදනය කරගන්න? ඇයි අපිට බැරි ජල විදුලිය නිෂ්පාදනය කරගන්න? මොකද ඉහළින් පහළට වැටෙන දියඇලි සහ ටර්බයිනර් කරකවාගත හැකි ජල මූලාශ්‍ර ලංකාවේ ඕනෙ තරම් තියෙනවා. ඒ වගේම තමයි සුළං බලය. රටකට සුළං බලය මෙච්චර තියෙද්දි ඇයි අපි සුළං මෝල් මගින් නිෂ්පාදනය කරන විදුලිය පාවිච්චි නොකරන්නේ රටේ? ඉතාම සුළු වශයෙන් මේ හැමදේම පාවිච්චි කළත් ප්‍රමාණවත් විදුලි බලය අපි නිෂ්පාදනය කර ගන්නේ නෑ. වැඩි ප්‍රතිශතයක් නිෂ්පාදනය කරගන්නේ පිටරටින් ගේන තෙල්වලින්. ඒ තෙල්වලට විශාල මුදලක් ගෙවන්න සිදුවෙනවා, වැඩිපුරම අපේ රටේ තියෙන්නේ ඩීසල් විදුලි බලාගාර නිසා. තාප බලාගාරවලින් තමා අපි විදුලිය නිෂ්පාදනය කරගන්නේ.
ඒ නිසා මෙන්න මේ සෙල්ලම් ටික නතර කරන අවුරුද්දක් උදාවෙයි කියලා අපි විශ්වාස කරනවා. ක්‍රීඩාවත් දැන් ලංකාවේ ඇත්තටම සෙල්ලමක් නෙමෙයි ගේම් එකක්. අපිට හොඳටම තේරෙනවා ලංකාවේ ක්‍රීඩාව විකුණගෙන කාලා ඉවරයි. ඒ නිසා අපි දන්නවා දැන් රටට ඉන්නවා ක්‍රීඩකයෙක් වෙච්ච ක්‍රීඩා ඇමැතිවරයෙක්. ඒ නිසා මේවා කරන්න පුළුවන් වැඩ. බැරි නෑ. උත්සාහය තමා වැදගත්. රටක් කියන්නේ සෙල්ලම් කරන්න තියෙන පිට්ටනියක් නෙමෙයි එක එක්කෙනාට. ඒක මතක තියාගෙන හරියට වැඩ කළොත් 2025 වසර සුබ නව වසරක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

ජීවන පහන් තිළිණ










