රජය සම්මත කිරීමට සූදානම් වන විදුලිබල පනත, පනතක් ලෙස හැඳින්විය නොහැකි බවද, එය ලංකා විදුලි බල මණ්ඩලය විකුණා දැමීම සඳහා සකස් කරන ලද ටෙන්ඩරයක් බවද ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමය පවසයි.Sri Lanka Latest News
යෝජිත විදුලිබල පනතට එරෙහිව කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ කැඳවුම්කරු මෙම ප්‍රකාශය කළේය.
තම සංගමය රජයේ යෝජිත විදුලිබල පනතට විරෝධය පළකරන බව එහිදී පැවැසූ එම විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු මාද්දුගොඩ ගමගේ මහතා, පෙන්වා දෙනු ලැබුවේ, යෝජිත විදුලිබල පනතේ පළමු පිටුවේ 1969 අංක 17 සහ 2009 අංක 20 දරන විදුලි පනත් පරිචින්න කිරීමක් බවය. එහි දෙවැනි පිටුවේ කොටස් වෙළෙඳපළ ලැයිස්තුගත කිරීම සහ රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර පිළිවෙත් ලෙසද සඳහන් වන බවය.
‘යෝජිත පනතේ පළමු පිටුව දෙස බැලූ විටම විදුලිබල මණ්ඩලය විකිණීමේ සැලැස්ම පැහැදිලි වෙනවා. යෝජිත විදුලිබල පනතේ සියලු පිටුවල 2007 සමාගම් පනත යටතේ සමාගම් නිර්මාණය, කොටස් බෙදාහැරීම, පරිපාලන ලියාපදිංචි කිරීම් සහ ප්‍රතිපත්ති සැකසීම යන කාරණා පිළිබඳ විස්තර පැහැදිලි ලෙසම ඇතුළත් වෙනවා. මෙය මහජනතාව සහ විදුලි සේවකයන් පැහැදිලි ලෙසම රැවටීමේ කුමන්ත්‍රණකාරී පනතක්…’ යැයිද ගමගේ මහතා කීවේය.
මෙවැනි විදුලි පනතකට එරෙහිව 2002දී රංජන් ජයලාල් එම පනතට ගිනි තැබූ බවද, එසේ කොට පාර්ලිමේන්තු බලය ලබාගෙන ඔහු කඩුවෙල නගරාධිපති තනතුරට පත්වී ඇතැයිද, එදා පක්ෂ නායකයෙක් හැටියට මෙබඳු විදුලිබල පනතක් ඉදිරිපත් වූ අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයා එවැන්නකට තම පක්ෂය ඉඩ නොදෙන බව කීවත්, අද වනවිට රාජ්‍ය නායකත්වයම හොබවමින් එදා නොකරන බව කී දෑ කිරීමට ක්‍රියාකරගෙන යාම තරයේ හෙළා දකින බවද ගමගේ මහතා කීය.
2024 අංක 36 දරන විදුලි පනත ගිනි තබන බව කියමින් විදුලිබල මණ්ඩලයේ සේවක ඡන්ද 22,000 ක ඡන්දවලින් 98% ක පමණ ප්‍රමාණයක් ලබාගෙන බලයට පැමිණි ජනාධිපතිවරයා දැන් එම පනත සම්මත කිරීමට යාම හාස්‍යජනක යැයිද හෙතෙම කීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යාල සේවා සමිති සංගමයේ සභාපති රසික විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. විදුලිබල මණ්ඩලය දියුණු කළ යුතු නම් කළ යුත්තේ එය ප්‍රතිව්‍යුහගත කොට, කළමනාකරණය දියුණු කර ලාභ ලබන ආයතනයක් බවට පත්කරලීමයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










