අයිතිය උදෙසා මාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගියදා සම්මන්ත්‍රණයක් සංවිධාන කර තිබුණා. ‘වඳ දොස්තර’ ලෙස නමක් පටබැඳ තිබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් එහිදී සභාව අමතනු ලැබුවා. වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා එහිදී අදහස් පළකරමින් සඳහන් කර සිටියේ තමන් සිරගතව සිටි සමයේ ප්‍රබල පාතාල කල්ලි නායකකු වූ මාකඳුරේ මදූෂ් සමගද දින කිහිපයක් ගතකළ බවත්, ඔහු තුළ තිබුණු මනුස්සකම පාර්ලිමේන්තුව තුළ සුදු ඇඳගෙන සිටින එකම පුද්ගලයකු සතුවවත් තිබේ යැයි මොහොතකටවත් තමා විශ්වාස නොකරන බවයි. (Sri Lanka Latest News)
තමාව බොරු චෝදනාවන්ට හසුකර වරදකරුවෙක් කරන විට රජයේ වෛද්‍ය නිලධාරිවරුන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නිහඬව සිටි නමුත් ඔහුගේ බිරියට දෙවැනි දරුවා ලැබෙන විට ඇයගේ සිසේරියන් සැත්කම පවා සිදුකළේ තමා යැයිද වෛද්‍ය ෂාෆි එහිදී පවසා සිටියා. පහත පළවන්නේ වෛද්‍ය ෂාෆි සිදුකළ සම්පූර්ණ කතාවයි.
ඔබතුමාලා ඉදිරියේ කතාකරන්න අවස්ථාවක් උදාකරන්න කැපවීම් කරපු, යථාර්ථය වෙනුවෙන් සටන් කරපු යම්කිසි දෙයක් මට දැනෙනවා මේක ලේසියෙන් වෙච්ච දෙයක් නෙවෙයි. ලංකාවම එකතු කරගෙන තනි මනුස්යෙක් ජාතියක් මුල් කරගෙන කරන්න ගිය අපරාධයක්. ඉදිරියට ඒක දිනාගෙන මනුෂ්‍යත්වය, ජාතිකත්වය දිනන්න සෑහෙන සටනක් ගිහින් තියෙනවා කියලා මට දැනෙනවා. ඒ නිසා යථාර්ථය වෙනුවෙන් සටන් කරපු සියලු දෙනාට මගේ හදවතින්ම ස්තුතිය පුදකරන්න මේක අවස්ථාවක් කරගන්නවා. නම් කියන්න ගියොත් සෑහෙන පිරිසකගේ නම් මට කියන්න වෙයි. මට සිදුවෙච්ච දේවල් මුල්කරගෙන මේ කතාව කරනවා නම් පැය 3කට වඩා මට කතාකරන්න සිදුවෙයි. ඒ තරම් දේවල් මගේ හිතේ තියෙනවා. මම කෙටියන් කිව්වොත්, අපි සියලු දෙනාම මේ රටට ආදරෙයි. අපේ ඊළඟ පරම්පරාවට හොඳ ලංකාවක්, සියලු දෙනාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් ඉතිරි කරන්න ඕනේ කියන මතයේ ජීවත් වෙන මනුස්සයෙක් මම.
මගේ කතාව පටන්ගන්නේ 2015දී දේශපාලනය පටන්ගත්ත ගමන්ම. මම දුෂ්කර ප්‍රදේශයක් වෙච්ච කලාවැව විජිතපුර ඉඳලා ආපු කෙනෙක්. අපි හැදුණේ සිංහල පරිසරයේ. අපේ තාත්තාගේ සීයා විජිතපුර රජමහා විහාරයේ පොඩි හාමුදුරුවරුන්ට පාලි භාෂාව උගන්වපු කෙනා. ඒ ගෞරවය ඒ රජමහා විහාරයේ අදටත් අපිට තියෙනවා. එහෙම පරිසරයක හැදිච්ච අපිට කවදාවත් ජාතිවාදයක් කියලා දෙයක් තිබුණේ නෑ. හැබැයි මම වගේම ඔබ සියලු දෙනාමත් කැමැතියි අනාගත ශ්‍රී ලංකාව ඉතාම සුන්දර රටක් වෙලා අපේ ළමයින්ට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ කියලා.
අපේ තරුණ තරුණියෝ මේ දවස්වල පාස්පෝට් එක ගන්න කලින් දවසේ රෑ ගිහින් පෝලිම්වල ඉන්නවා. සිමෙන්ති පොළොවේ නිදාගන්නවා. කන්නත් නෑ, බොන්නත් නෑ. වැසිකිළියට යන්නවත් පහසුකමක් නෑ. අපේ තරුණ පරම්පරාවට සිදුවෙලා තියෙන දේ දැක්කම ඇත්තටම කනගාටුයි. මේ රට දාලා යන්න ඕනේ කියලා හිතනවා නම්, මුලින්ම රටෙන් යන්න ඕනේ කෙනා මම වෙන්න ඕනේ. නමුත් මම කවදාවත් එහෙම හිතන්නේ නෑ.
හැම සෙනසුරාදාම මගේ බිරිඳට මාව මුණගැහෙන්න ශානි සර්ලා විනාඩි 20ක් දීලා තිබුණා. ඒ මොහොතේ මම කනගාටු වෙනවා. මම ඒ දවස් ටික ගතකළේ මාකඳුරේ මදූෂ් එක්ක. එකට නිදාගත්තේ. එකට කෑවේ බිව්වේ. මම ඔහුගෙන් දැක්ක මනුස්සකම පාර්ලිමේන්තුවේ සුඳු ඇඳගෙන ඉන්න අයගෙන් දකින්න ලැබෙන්නේ නෑ කියලා මම හිතනවා. එහෙම අවස්ථාවකදී මම කලකිරිලා මානසික පීඩනයකට පත්වෙලා ඉන්නකොට දෙවියන්වහන්සේ මට පණිවුඩයක් එවනවා. මට ලැබුණා පොලිස් නිලධාරීන් කන කෑම පාර්සලයක්. ඒ කෑම පාර්සලේ ඔතුලා තිබුණු පත්තර කඩාදාසියේ තිබුණේ ආචාර්ය හේමන්ත සේනානායකගේ ලිපියක්. කෑම පාර්සලේ දිගඇරලා බලද්දී ඒකේ මගේ කතාව තියෙනවා. ඒ වෙලාවේ මට පත්තරයක් කියවන්න, රේඩියෝ එක අහන්න, ෆෝන් පාවිච්චි කරන්න, අනිත් අයත් එක්ක කතාකරන්න නෑ. ඒ කිසිම දෙයක් නැතුව මම ඉන්නකොට ඒ ශක්තිය ධෛර්යය මට ලැබුණා. ඒ වගේ ජන කොට්ඨාසයක් ඉන්න රටක් මේක. ඒ වගේ හොඳට හිතන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක් මේක.
සමස්ත සිංහල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්ලපු කිහිප දෙනෙක් ඉන්නවා. දවසක් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය අංශයේ ප්‍රධානියා මට හමුවුණා. ඒ වෙලාවේ ඔහු කතාව පටන්ගත්තේ, ‘ෂාෆි, සමස්ත සිංහල ජාතිය වෙනුවෙන්ම මම ඔයාගෙන් සමාව ඉල්ලනවා’ කියලා. මම කිව්වා එහෙම කියන්න එපා සර් කියලා. සමස්ත සිංහල ජාතිය නෙවෙයි මේක කළේ. මට මතකයි මාත් එක්ක වැඩකරපු නිලධාරිනියක් සී.අයි.ඩී. එකට ගෙන්වපු වෙලාවේ මාව දැකලා මට දණගහලා වැන්දා. අපි එහෙමයි ජීවත් වෙන්නේ. මම වෛද්‍යවරයෙක් විදියට ඉපදුණේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ. සේවය කළේ ඒ ස්ථානයේ. මම වෛද්‍යවරයෙක් විදියට බිහිවුණේ ඒ ස්ථානයේ. ඒ නිසා මම හිතන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහල තමයි මගේ මහ ගෙදර කියලා. අපේ පවුලක වුණත් අපි අතර පොඩි පොඩි ගැටලු ඇතිවෙන්න පුළුවන්. සහෝදරයන් අතර වුණත් ඒ වගේ ගැටලුවක් ඇතිවුණාම ගෙදරින් යන එක නෙවෙයි ඒකට විසඳුම වෙන්නේ. ඒ හින්දා අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ කියන එකයි මම දකින්නේ.
හොඳ දේවල් කරන, හොඳ විදියට ජීවත් වෙන, හොඳ දේවල් වෙනුවෙන් සටන් කරන පිරිසක් ඉන්නවා ඕනෙම වෘත්තියක. ඒ වගේම නරක දේවලට යොමුවෙන, තමන්ගේ වාසිය වෙනුවෙන් ඕනෙ දෙයක් කරන්න පුළුවන් අයත් ඉන්නවා. අවංකවම කියනවා නම් පාදෙණිය කියන චරිතය. අපේ ජී.එම්.ඕ.ඒ. එකේ සභාපති වෙලා ඉන්නවා. නමුත් එයාත් මේකෙදී නිහඬව සිටියා. වාසනාවකට හෝ අවසානාවකට එයාගේ දරුවාත් බිහිකළේ මේ වෛද්‍ය ෂාෆි. මම ඒක කියන්න කැමැතියි. සාමාන්‍ය ජනතාව වෛද්‍ය වෘත්තිය ගැන හිතාගෙන ඉන්නේ දෙවිවරුන්ට සමාන වෘත්තියක් විදියට. නමුත් අවාසනාවකට ඒ වෘත්තියම පාවිච්චි කරලා අපේ අය යක්කුන්ට භාරදුන්නා. මම හිතන්නේ ඒ වගේ පරම්පරාවක් අපිට එපා. ඒ අඳුරු මතකයන් අපිට එපා. අපි හොඳ මතකයන් ගොඩනගමු.
අපි ආදරය කරන මේ ලංකාව ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය වෙච්ච රටක් බවට පත්කරන්න අපි හැමෝම එකතු වෙමු. අනාගතයේ බිහිවෙන ඔබේ දරුවා චන්න ජයසුමන වගේ වෙනවාටද කැමැති, එහෙම නැත්නම් ආචාර්ය හේමන්ත සේනානායක වගේ වෙනවටද කැමැති? ඔබේ ඊළඟ පරම්පරාව දරුවන් ශානි අබේසේකර මහත්මයා වගේ වෙනවටද කැමැති එහෙම නැත්නම් වෙන කෙනෙක් වගේ වෙනවටද කැමැති? සිවුර ඇඳගෙන හිටියත්, තොප්පිය පැලඳගෙන හිටියත් අපි මොන ආගමකට අයත් වුණත් මනුෂ්‍යත්වයක් නැත්නම් වැඩක් නෑ. මනුෂ්‍යත්වයක් නැති ආගමක් අපිට එපා. මනුෂයෙකුට ගරු කරන්න බැරි ආගමක් අපිට එපා. යම්කිසි ආගමක කියනවා නම් අනෙක් ආගමක මනුෂ්‍යත්වය විනාශ කරන්න කියලා, ඒ ආගම අපි පිළිපදින්න ඕනෙ නෑ. ඒ හින්දා අපි ඔක්කොම එකතු වෙලා අපේ ඊළඟ පරම්පරාවට අපි හොඳ රටක් හදලා දෙමු. එකට කාලා බීලා ඉන්න පුළුවන් රටක් හදමු.
වෛද්‍යවරයෙක් විදියට මම සේවය කරන කාලය තුළ මම කවදාවත් මුස්ලිම් වෛද්‍යවරයෙක් නියෝජනය කරමින් සේවය කරලා නෑ. මොකද මම ගාව පෝලිමක් හැදිලා තියෙන්නේ සිංහල ජනතාවගෙන්. ඒ අපි අතර තිබුණු විශ්වාසය හින්දා. රෝහලේ කොච්චර සිංහල වෛද්‍යවරු හිටියත් මම ගිහින් ක්ලික් එකේ වාඩිවුණාම අවම වශයෙන් රෝගීන් 15ක්වත් බලනවා. ඇයි එහෙම බැලුවේ. මට තිබුණු විශ්වාසය නිසා. මම කවදාවත් ඒ විශ්වාසය පලුදු කරලා නෑ. ඒ ආත්ම විශ්වාසය උඩ තමයි ආපහු මම කුරුණෑගල ශික්ෂණ රෝහලට යන්න ඕනේ කියලා තීරණය කළේ. මට විශ්වාසයක් තිබුණා කවදා හරි දවසක ඇත්ත ජයගන්නා බවට. ශානි සර්රුත් මට දවසක් ඒක කිව්වා.
මගේ අත් දෙකෙන් දහස් ගානක් මවුවරුන්ට මම සේවය කරලා තියෙනවා. එක අම්මා කෙනකුටවත් හානියක් කරන්න මම හිතලාවත් නෑ, අදටත් සිංහල මිනිස්සු මට කියලා සැත්කම් කරගන්නවා. සමහර අම්මලා සීසර් කරන ගමන් මට කියනවා ‘සර් අනේ මට සමාවෙන්න. සමාජය තුළ වෙච්ච හානිය හින්දා මම ඔබට විරුද්ධව පැමිණිලි කළා’ කියලා. එහෙම කියලා මගෙන් සර්ජරි එක කරගෙන යනවා. එහෙම ජනතාවක් ඉන්න රටක් මේක. අපිට උදාහරණ විදියට එංගලන්තය ගන්න ඕනේ නෑ. ජපානය ගන්න ඕනෙ නෑ. අපි තමයි මෛත්‍රිය ගැන ගොඩක් කියන්නේ. අපි තමයි කරුණාව ගැන ගොඩක් කියන්නේ. අපි තමයි ආදරේ ගැන ගොඩක් කියන්නේ. අපි තමයි පින් දෙන එක ගැන ගොඩක් කියන්නේ. ඒ මනසත් එක්ක අපේ වෘත්තිය ඇතුළේ කටයුතු කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳද. බෞද්ධ දර්ශනය පිළිපදින මේ රට වෙනත් රටවලට ආදර්ශයක් වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන්. මේක පුංචි රටක්. අපි ඔක්කොම එකතු වුණොත් ඒක කරන්න පුළුවන්.
මට නපුරුකම් කරපු අයගේ නම් මතක තියාගෙන ඉන්න මම හරි අකැමැතියි. ඒක මගේ හැටි වෙන්න ඇති. මට නපුරුකම් කරපු අයගේ නම් ගම් මතක තියාගෙන ලෙඩ වෙන්න මම කැමැති නැහැ. තම තමන් කරපු දේවල් තම තමන් පස්සේ එනවාම තමයි. මම හොඳ කරපු නිසා මට හයියක් තිබුණා. මම එදාත් කිව්වා. මගේ අත් දෙකට මාංචු දාලා අරගෙන යද්දී, දහස් ගානක් සිංහල මිනිස්සු වඳින චරිතයක් මම. අදටත් එහෙමයි. මම වැරැදි කරලා නෑ. මට ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒ ආත්ම විශ්වාසය ජයගත්තා. මම ආපහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ගියා. ඒ ගියාම සර් කිව්වා ‘ෂාෆි වැඩේ පටන්ගන්න’ කියලා. කලින් වගේම, කලින් වේගෙන්ම, පිරිසිදු චරිතයක් විදියට මම වැඩ කළා. පැයකින් මම තුන්දෙනෙක් සීසර් කරලා මම එළියට ආවා. එදා මම ගියේ සේවයෙන් ඉවත්වෙනවා කියලා හිතාගෙන. හැබැයි මම ගියාම මට උපදෙස් ලැබුණා ඉවත් වෙන්න එපා කියලා. ඒ නිසා මම ආයෙත් සේවය කරන්න තීරණය කළා.
ගොඩක් සතුටුයි, බොහොම ස්තුතියි මේ අවස්ථාව මට ලබාදීම ගැන. වෛද්‍යවරයකුටත් වඩා, මේ රටේ පුරවැසියෙක් විදියට ලංකාවට හොඳ අනාගතයක් උදාකිරීම සඳහා කැපවෙන්න මමත් ඔබ සමග එකට ඉන්නවා කියලා කියන ගමන් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.










