හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ දින (18) පැය 03ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්රශ්න කර ප්රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නැමැති 19 වියැති තරුණිය ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය ගෙවාදමමින් සිටි ජූඩ් ශාමන් ඇන්තනී ජයමහ නැමැති සිරකරු ජනපති පොදු සමාවක් දී නිදහස් කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව ය.
හිටපු ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් විසින් කළ පැමිණිලි දෙකක් මුල්කරගෙන මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.
අතුරලියේ රතන හිමි විසින් කළ පැමිණිල්ලට මුල් වී ඇත්තේ මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකදී රෝයල්පාක් නඩුවෙන් මරණීය දණ්ඩනය නියම වූ ජූඩ් ඇන්තනී ජයමහ නිදහස් කිරීමට මුදල් ලබාගැනීමක් යම් පාර්ශවයක් විසින් කර ඇති බවට තමාට වාර්තා වූ බවත් ඒ ගැන බුද්ධි අංශයෙන් වාර්තාවක් කැදවීමේදී එමගින්ද තහවුරු වූ බවට කී ප්රකාශයයි.
එම රූපවාහිනී වැඩසටහනේදී අතුරලියේ රතන හිමියන් ගැනද මෛත්රීපාල සිරිසේන මහතා පවසා තිබුණි.
ඒ පිළිබඳ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ද පැමිණිල්ලක් යොමුකර තිබුණි.
මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඒ සම්බන්ධයෙන් ප්රකාශයක් සටහන් කරගෙන ඇත්තේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයා පදිංචිව සිටින නිවසේදීය.
රෝයල් පාක් ඝාතනය සිදුවන්නේ 2005 වසරේ ජුනි 20 වෙනිදාය. 19 හැවිරදි ඉවෝන් ජොන්සන් නැමැති ස්විස් ජාතික තරුණියට පහරදී ගෙල සිරකර බිත්තියේ හිස තදින් ගැටීමට සලස්වා මරා දමා තිබුණි.