දිනය – 2022 ජනවාරි 11
ස්ථානය – බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය
සිදුවීම – අත්බෝම්බයක් සොයාගැනීම
මරාගෙන මැරෙන බෝම්බ, බස් බෝම්බ, ලොරි බෝම්ම ආදී එකී නොකී විවිධාකාරයේ බෝම්බ දහස් ගණනක් පිපිරී ගිය තිස් අවුරුදු සිවිල් යුද්ධයකින් සහ එක් මොහොතක රට පුරා සිදුවූ ක්ෂණික මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පහකින් බැටකා සිටින ශ්‍රී ලාංකිකයින්ට අත්බෝම්බයක් සොයා ගැනීම ‘ගිරුවාපත්තුවෙන් කෝඳුරුවකු ගියා වැනි’ සරල සිදුවීමක් විය හැකිය. ඒත් මේ මොහොත වන විට මේ අත්බෝම්බය ජාත්‍යන්තර අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්ව හමාරය. ‘අත්බෝම්බයක් ගිය දුර’ කියා දැන් ඔබට සිතිය හැකිය. එහෙත් දැන් එය ගොස් ඇති දුරට අදාළ සිදුවීමට මුල් වූවන් සිතා සිටියාටත් වඩා වැඩිවිය හැකිය. නැතිනම් දැන් එය ඔවුන් අපේක්ෂා කළ අරමුණට සපුරා පටහැනි මානයක් කරා ගොස් තිබෙනවාද විය හැකිය. සති දෙකකින් ඕනෑම සිදුවීමක් අමතක වන ස්වභාවික රෝගයෙන් ඔබ නොපෙළෙන බව අපට විශ්වාසය. එහෙත් මේ පල්ලියක් ඇතුළෙන් හමුවූ, කිසිම විනාශයක් සිදු නොවූ මේ අත්බෝම්බය ගැන ඔබ ‘මෙලෝ දෙයක්’ නොදන්නවා විය හැකිය. නැතිනම් ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකළා විය හැකිය. එහෙත් බොරැල්ල අත්බෝම්බය ගැන ඔබ පසුබිම් කතාව නිරවුල්ව දැනගත යුතුය.
බොරැල්ල බෝම්බයේ මාධ්‍ය වාර්තාකරණය – ජනවාරි 12
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියේ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඇති බව පොලිසිය කියයි. දේවස්ථානයෙන් සොයාගත් අත්බෝම්බය නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිළියක තිබී මෙයට පෙර සොයාගත් කාල බෝම්බය ආකාරයට සකස්කර තිබූ සමාන සැකසුමක් බවට විමර්ශනවලදී අනාවරණයවී ඇති බව පොලිසිය පවසයි.
එම බෝම්බයට මදුරු දඟරයක් සවිකර කාල බෝම්බයක් ආකාරයෙන් සකස් කර තිබූ බවත් මෙම බෝම්බයට හඳුන්කූරක් සවිකර තිබූ බවද පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට භාරදී ඇත.
ජනවාරි 12
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබූ පිපිරීමට සකස් කරන ලද අත්බෝම්බය සම්බන්ධයෙන් සාක්ෂියක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය.
පල්ලියේ යම් යම් කටයුතු සම්බන්ධයෙන් පැමිණෙන මෙම දරුවා අදාළ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණ කළ බවත්, ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීමට කැමැත්ත පළකළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
මෙම ජීව අත්බෝම්බය බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී පසුගිය 11 වැනිදා සොයාගනු ලැබූ බවත්, ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකළ අතර, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව පොලිස්පති නියමයෙන් මෙම සිද්ධිය තම කොට්ඨාසයට භාරදුන් බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පල්ලියේ යම් යම් කාරණා ආදියේදී අදාළ සාක්ෂිකාර දරුවා සහභාගිවී ඇති බවත් ඔහු මෙම බෝම්බය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් ආවරණ කළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වැනි වගන්තිය ප්‍රකාරව එම දරුවාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවසර ලබා දුන්නේය. ඒ අනුව, 12 වැනිදා සවස මහේස්ත්‍රාත්වරිය දරුවා තමන් හමුවට කැඳවා එම රහස් ප්‍රකාශය ලබා ගත්තාය.
ජනවාරි 13
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය 13 වැනිදා නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දෙමටගොඩ පදිංචි ඉන්දික පෙරේරා නැමැත්තාය. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
ජනවාරි 14
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය පිටුපස කුමන්ත්‍රණයක් සිදුවී ඇත්දැයි සොයා ගැනීමට දිගින් දිගටම විමර්ශන පවත්වන බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පැවැසීය. එසේම දේවස්ථානයට මෙම බෝම්බය රැගෙන ආ පුද්ගලයා හෝ පුද්ගලයන් කවුරුන්දැයි සහ එය කුමන අරමුණක් වෙනුවෙන් රැගෙන ආවාදැයි සොයා ගැනීමටද විමර්ශන පවත්වන බව පැවසූ පොලිස්පතිවරයා සිද්ධියේ සියලු සැකකරුවන් තරාතිරම නොබලා නොපමාව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස විමර්ශන අංශවලට දැනටමත් නියෝග කර ඇතැයිද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ලැබී ඇති විද්‍යාත්මක පරිවේශනීය තාක්ෂණික සහ පුද්ගල සාක්ෂි පිළිබඳව අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥයන්ගේද සහාය ලබා ගනිමින් අඛණ්ඩව විමර්ශන පවත්වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 14 දෙනකුගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් වික්‍රමරත්න මහතා පැවසුවේය. සිද්ධියේ විමර්ශන තවමත් අවසන් වී නැතැයි පැවසූ හෙතෙම විමර්ශන සඳහා සී.සී.ටී.වී. දර්ශනද උපයෝගී කරගෙන ඇතැයි සඳහන් කළේය. කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තිබී මේ ආකාරයටම බෝම්බයක් මෙයට පෙර හමුවූ බවත් මාස තුනකට ආසන්න කාලයක් පුරා පැවැත්වූ පුළුල් විමර්ශනයකින් පසු සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීමට කටයුතු කළ බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර බොරැල්ල අත්බෝම්බ සිදුවීම හා ඒ හා සම්බන්ධ පොලිස් පරීක්ෂණ ගැන කාදිනල් හිමියෝ දැඩි විවේචනයක් කළහ. දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයාගැනීමෙන් දින දෙකකට පසු, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ කොළඹ දේවස්ථානයකින් අත්බෝම්බයක් සොයා ගැනීම කුමන්ත්‍රණයක් බවයි.
විමර්ශනය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණෝ ශ්‍රී ලංකා පොලිසියට දෝෂාරෝපණය කළ අතර, බලධාරීන්ට සත්‍ය හෙළි කිරීම වෙනුවට ගොතන ලද කතාවක් ඉදිරිපත් කළ බවට චෝදනාකර සිටියහ. උන්වහන්සේ වැඩිදුරත් කියා සිටියේ පොලිස් පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි. අත්බෝම්බය සොයාගත් දින පස්වරු තුනේ සිට පටිගතවූ සීසීටීවී දර්ශන පමණක් පරීක්‍ෂා කර ඇති බවත්, එදින උදෑසන සිට පටිගත වූ දර්ශන පරීක්‍ෂා නොකළ බවත්, උදෑසන දර්ශනවල පුද්ගලයකු සැකකටයුතු ආකාරයෙන් කටයුතු කරන බව පැහැදිලිව පෙනන බවත් උන්වහන්සේ පැවසූහ.
‘අපිට පේනවා ඇත්ත හොයනවා වෙනුවට කතාවක් හදන්න තමයි මේ වගේ දේවල් කරන්නේ. පොලිසියේ හැසිරීම අපි ප්‍රතික්ෂේප කරනවා. මෙය කුමන්ත්‍රණයක් ලෙසයි මා දකින්නේ’ උන්වහන්සේ පැවැසූහ.
ජනවාරි 15
කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පසුදාම මාධ්‍ය හමුවේ කාදිනල් හිමියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් දැඩි ප්‍රකාශයක් කළේය. එම මාධ්‍ය වාර්තා කළේ පහත සඳහන් ආකාරයෙනි.
‘පරීක්ෂණයක් පැවැත්වෙනවා කියන්නේ පැය දෙකක් තුනක් ඇතුළත අවසන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සඳහා යම්කිසි කාලයක් අවශ්‍යයි. සිද්ධියක් වෙලා පැය 24ක් ඇතුළත ඒ සිද්ධිය ගැන විවේචනය එල්ල කළාට ඒක මං හිතන්නේ නෑ සාධාරණයි කියලා. අත්බෝම්බයක් හමුවෙලා තියෙනවා. ඒ බෝම්බය එතැනින් තියපු කෙනාව අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් ඒ මාර්ගයෙන් ගිහිල්ලා තව අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම කරන්න තියෙනවා. ඒවා කරගෙන යනවා. පැය දෙකක් තුනක් ඇතුළත, එහෙම නැතිනම් පැය 24ක් ඇතුළත මේ පරීක්ෂණ අවසන් කරලා අත්අඩංගුවට ගැනීම් සිදුකරන්න පුළුවන් නම් එක ප්‍රාතිහාර්යයක් විය යුතුයි. මම ආරක්ෂ ලේකම් විදියට සහතිකයක් දෙනවා රටේ ජනතාවට, මේ සම්බන්ධයෙන් සියලු පුද්ගලයන් නීතියේ රැහැනට ගේනවා කියලා. මම හමුදා නිලධාරියෙක්. මම දන්නවා යුද්ධ කරන්න. නමුත් ඔය වගේ විමර්ශන දේවල් කරන්න මට තියෙනවාට වඩා දැනුමක් රහස් පොලීසියට තියෙනවා. කාදිනල්වහන්සේ එහෙම ප්‍රකාශ කළාට, උන්වහන්සේ හිතනවාට වඩා දුර හිතලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න රහස් පොලීසියටත්, පොලීසියටත් හැකියාව තියෙනවා.ඒ අයට පරීක්ෂණ කරන විදිය උගන්නන්නේවත්, ඒ පරීක්ෂණ කරන විදිය විවේචනය කරන්නෙවත් නැතුව පොඩ්ඩක් ඒ පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න. තව දවස් කිහිපයක් යනකොට විස්තර මහජනතාවට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම කාදිනල් උන්නාන්සේටත් දැන ගන්න පුළුවන් වෙයි. මොකද උන්වහන්සේ නෙමෙයි පොලිස්පතිතුමාට කෝට් එක දුන්නේ. මම දන්නේ නෑ කාදිනල්හිමියන්ට අයිතියක් තියෙනවා ද කියන්න පොලිස්පතිතුමාගේ කෝට් එක ගලවලා යන්න කියන්න. නමුත් ඒක උන්වහන්සේගේ අදහස වෙන්න පුළුවන්. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. පොලිස්පතිතුමා නම් ඔය කිව්ව පමණින් කෝට් එක ගලවලා යන එකක් නෑ. නමුත් පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි පරිදි මෙහෙයවනවා කියන එක මම ආරක්ෂක ලේකම්වරයා හැටියට දන්නවා.’
ජනවාරි 18
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයකු පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි. එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින තුනකට පමණ ඉහතදී ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලියනගේ දයාසේන නැමැති 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව බව පොලීසිය කියයි.
පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබූ එම සැකකරු ඒ ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එවකට එහි ආරක්ෂක නිලධාරියා ලෙස පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ක්‍රියා කර තිබූ බවත් විමර්ශනවලදී හෙළි වූ බව උසස් පොලිස් නිලධාරීන් පැවසීය.
එම සැකකරුට මුදල් මෙන්ම බෝම්බය ලබාදී ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවද මේ වන විට තොරතුරු හෙළිවෙමින් පවතින බවත් එයට හේතුව 18 දා රාත්‍රී වනතුරුත් නිශ්චිත ලෙස අනාවරණය නොවූ බවත් උසස් පොලිස් නිලධාරියා කීය.
නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට මීට මාස කීපයකට ඉහතදී බෝම්බය තැබීමටද කටයුතු කර ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවටද තොරතුරු අනාවරණ නමුත් එය තහවුරු කරගැනීම සඳහා වෛද්‍යවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියා පැවසීය
ජනවාරි 20
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට සහ නාරාහේන්පිට පෞද්ගලික රෝහලට තැබීම සඳහා විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයාට බෝම්බ සැපයූ බව කියන පුද්ගලයා හම්බන්තොට රන්න ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මීට දින කීපයකට ඉහතදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ඒමෙන් අනතුරුව සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව රන්න ප්‍රදේශයට 20 වැනිදා ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා කීය.
බොරැල්ල දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වසර අටක පමණ කාලයක් ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කළ ලියනගේ දයාසේන නම් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට මෙන්ම මීට මාස කිහිපයකට ඉහතදී නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට බෝම්බ තැබුවේ විශ්‍රාමික වෛද්‍යවරයාගේ උපදෙස් මත බව අනාවරණය වී තිබිණි.
ඒ පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම විසින් වෛද්‍යවරයා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී වෛද්‍යවරයා විසින් ඒ බව පිළිගත් බවත් ඒ අනුව ඔහුට බෝම්බය ලබා දුන් පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. තමන් යටතේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ ලියනගේ දයාසේන නමැති පුද්ගලයා මාර්ගයෙන් රන්න ප්‍රදේශයේ රුවන් නමැත්තා හඳුනාගෙන බෝම්බ ලබාගත් බවත් වෛද්‍යවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවදුරටත් අනාවරණය වී තිබිණි. සැකකාර වෛද්‍යවරයා රන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයාට බෝම්බ ලබාදීම වෙනුවෙන් වරින් වර මුදල් ලබාදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකාර වෛද්‍යවරයාගේ බිරිඳ කොරෝනා වෛරසය රෝගී තත්ත්වය උත්සන්නවී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ අතර, එලෙස බිරිය මියගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත බවට ඔහුට මානසික ව්‍යාකූලතාවක් ඇතිවී රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙලෙස කටයුතු කර ඇති බවට තවදුරටත් අනාවරණය වූ වූ බව එම නිලධාරියා කීය.
හම්බන්තොට රන්න ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් කේ.ආර්. ප්‍රේමචන්ද්‍ර නොහොත් රුවන් නමැත්තා වරාය අධිකාරියේ සේවකයකු බවත් අපරාධ කිහිපයකට සම්බන්ධ වූවෙකු බව උසස් පොලිස් නිලධාරියා කීය. අත්අඩංගුවට ගත් 55 හැවිරිදි සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින බවත් උසස් පොලිස් නිලධාරියා කීය.
ජනවාරි 20
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවෙසේ තිබී ගිනි අවි සහ කඩු කිහිපයක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ. පිළියන්දල ප්‍රදේශයේ නිවෙසක තිබී පිස්තෝල හතරක්, රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක් සහ නාඳුනන ගිනි අවියක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. මීට පෙර මෙම අත්බෝම්බය ගොඩගැනීම සම්බන්ධයෙන් 65 හැවිරිදි සැකකරුවකු ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් පසු බදාදා රාත්‍රියේ විශ්‍රාමික වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෛද්‍යවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා එම වෛද්‍ය මධ්‍යස්ථානයේ මුරකරුවකු ලෙස සේවය කර ඇති බව ද වාර්තා වේ’. අප මේ උපුටා දක්වන ලද්දේ පොලිස් මූලාශ්‍ර මත පදනම් වෙමින් මාධ්‍ය විසින් සිදුකළ වාර්තා කිහිපයක් පමණි. මීටත් වඩා කතා රැසක් ගොසිප් වෙබ් අඩවි සහ යූ ටියුබ් නාලිකාවල තිබේ. ඒත් ඒවා හුදු වාර්තා හෝ තමන්ගේ න්‍යාය පත්‍රය සාධනය කර ගැනීමට සිදුකරන ව්‍යාපෘති පමණක් නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැත.
චූදිතයාගේ පුතා කියන කතාව
‘කෑම මේසයේ ඉන්න කුකුළාටත් කතා කරන්න අවස්ථාවක් දෙන්න’ කියලා ප්‍රකට කතාවක් තිබෙනවා. ඒ නිසා සැකකාර වෛද්‍යවරයාගේ පුත්‍රයා වන ප්‍රකට සමාජ මාධ්‍ය හා දේශපාලන ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් පසුගිය 19 වැනි මාධ්‍ය හමුවක් තබමින් කී කතාවට ද අප අවධානය යොමුකළ යුතුයි. තම පියා අත්අඩංගුවට ගැනීමේ දී තමාට සහ සිය පියාට අත්විඳින්නට සිදුවූ අකරතැබ්බය ගැන ජනවාරි 19දා මාධ්‍යවේදීන් අමතමින් ඕෂල හේරත් මෙසේ විස්තර කළා.
‘ලොකු විශාල කණ්ඩායමක් නිවෙස ඇතුළට ආවා. සියලු දොරවල් සහ ජනෙල් විවෘත කළා. මට සහ මගේ පියාට සාලේ පුටුවේ වාඩිවෙන්න කිව්වා. මගේ පියා රජයේ වෛද්‍යවරයෙක්, දැන් විශ්‍රාමිකයි. වයස අවුරුදු 75යි. නිවෙසට ඇතුළුවූ නිලධාරීන් මගේ එකොළොස් හැවිරිදි පුතාට සහ කම්කරුවන් දෙදෙනකුට මුළුතැන්ගෙයි ප්‍රදේශයේ රැඳී සිටින ලෙස නියෝග කළා. මගේ බිරිඳට සහ සහෝදරියට නැවත ඔවුන්ගේ කාමරවලට යන ලෙස නියෝග කළා. ඔවුන් සෝදිසි කිරීමේදී ඔවුන් අපේ ජංගම දුරකතන සහ ලැප්ටොප් උපකරණ රැගෙන ගියා. මගේ කාමරයේදී ඔවුන් මගේ පුතා පාවිච්චි කළ සෙල්ලම් තුවක්කුවක් සොයාගත්තා. ඔවුන් එය භාරයට ගත්තා. මීට වසර 15කට පෙර මම වායු රයිෆල් එකතු කිරීමට පුරුදුව සිටියා, ක්‍රීඩා කරන්න පාවිච්චි කරන ඒවා. ගිනිඅවි මොනවාවත් නොවේ. ඒවත් අරන් ගියා. සුවනියර් ස්වෝඩ්ස් දෙකක් තිබ්බා, කැටයම් දාපු කඩු, සිහිවටන දෙකක්, ඒකත් අරන් ගියා.’
ඖෂල හේරත් කියා සිටින්නේ කිසිදු ලියවිල්ලක් ලබා නොදී සිය පියා රැගෙන ගිය බවයි. පොලිස් අත්අඩංගුවේ පසුවන තම පියා බැලීමට යාමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවද ඕෂල හේරත් සඳහන් කළා. ‘මං ඇහුවා මොකද්ද ප්‍රශ්නය කියලා. එතකොට කිව්වා සියලු සාන්තුවරයන්ගේ දෙව්මැඳුරේ බෝම්බේ තිබ්බ එක්කෙනා කිව්වා කියලා අපේ තාත්තාගේ කීමට තමයි ඒක තිබ්බෙ කියලා. මම ඇහුවා උදේ තියපු එක්කෙනාද, හවස තියපු එක්කෙනාද කියලා. එතකොට කිව්වා උදේ තියපු එක්කෙනා කියලා. ඊට පස්සේ ඇහුවා ඔගොල්ලන්ගේ අම්මා නැතිවුණාද කියලා. ඊට පස්සේ මම කිව්වා ඔව්, මීට මාස හයකට කලින් අම්මා නැතිවුණා කොරෝනා හැදිලා කියලා. එතකොට කිව්වා ඔයාගේ තාත්තගේ මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවා. අම්මා නැතිවුණාට පස්සේ තමා මෙයා මේ දේවල් කරලා තියෙන්නේ, මෙයා මේ ඒ කේන්තියට අම්මා නැතිවුණු එකත් එක්ක සමාජයේ වෛරයත් එක්ක මානසික ආබාධයක් එක්ක තමා මේක කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔවුන් තාත්තාව අරන් ගියා. හැබැයි අරන් ගියාට අපිට ඇරස්ට් නෝට් එකක්වත්, කිසිම ඩොකියුමන්ට් එකක්වත් දුන්නේ නැහැ. හැබැයි හරියට මංකොල්ලකාලා ගියා වගේ. මේ වෙනකන් මගේ තාත්තව මටවත් හෝ අපේ නීතිඥයින්ටවත් බලන්න දීලා නැහැ.’
මේ තම පියා සහ තමන් මුහුණ දුන් තත්ත්වය ගැන ඕෂල හේරත් මාධ්‍ය හමුවේ කී කතාවයි.
මේ සිදුවීම් ජාලය ගැන විනිශ්චයක් දීමට හෝ අපගේ අදහස් දැක්වීමට හෝ අප සූදානම් නැත. නැතහොත් අවශ්‍යතාවක් ද නැත. එහෙත් මීට මාස කිහිපයකට පමණ පෙර ෂර්ලොක් හෝම්ස් පන්නයේ නාටකයක් අවසානයේ අධිකරණය විසින් නිදොස් කර නිදහස් කළ අසාද් සාලිගේ සිද්ධිය මතකයට ඒම වැළැක්විය කොහැකිය. එසේම කොළඹ කෞතුකාගාරයේ රන් කඩු සොරකම හා සම්බන්ධ ‘කන් ගැට්ටා’ ගැනද මතකයට නැඟේ.
මීට අමතරව ලංකා රෝහලේ තැබූ අත්බෝම්බයටද මෙම විශ්‍රාමික වෛiවරයා සම්බන්ධ බවට දැන් සිදුකරන අනාවරණ සම්බන්ධයෙන්ද බරපතළ ප්‍රශ්නයක් මතුව තිබේ. ඒ, එදා පොලිසිය විසින් අදාළ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ කර තිබීම නිසාය. නමුත් දැන් කියැවෙන කරුණු අනුව පෙනී යන්නේ ප්‍රධාන සැකකරු හෙවත් මහ මොළකරු මේ දක්වා නිදහසේ සමාජයේ රැඳී සිට ඇති බවය. මේවා තවමත් නොවිසඳුනු සහ සැක මතුවන ප්‍රශ්නය.
එනිසා එවැනි සැකසංකාවන්ට සමාජය හමුවේ ඉඩක් නොතබා මෙම අත්බෝම්බය පල්ලියේ තැබීමේ සත්‍ය සිදුවීම සමාජය ඉදිරියේ තැබීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇත. එසේ නොවුණහොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදටත් විපක්ෂය මතුකරන සැකය බොරැල්ල පල්ලියේ අත්බෝම්බය සම්බන්ධයෙන්ද මතුකරනු වැළැක්විය නොහැක.
චින්තක බණ්ඩාර කරල්ලියද්ද










