අතිවිශාල ඇමති මණ්ඩලයක් පත්කිරීමට සිය විරෝධය පළ කරමින් අද(08) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව යෝජනාවක් සම්මත කොට තිබේ.
ඒ සම්බන්ධයෙන් එම පක්ෂය නිකුත් කළ නිවේදනය මෙසේය.
අති විශාල ඇමති මණ්ඩල නඩත්තුව පිළිබඳව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකමතික විරෝධය!
අතිශය බරපතළ ලෙස රට බංකොලොත් වී ඇති මොහොතක, ජීවන වියදම අහස උසට නැග ඇති මොහොතක,ආණ්ඩුව විසින් අන්තනෝමතික ලෙසත්,සදාචාර විරෝධී ලෙසත් නියෝජ්‍ය ඇමතිවරු 37ක් තරම් විශාල ප්‍රමාණයක් පත්කොට තිබේ.
මේ අතිවිශාල ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව මේ මොහොතේ රටට කිසිසේත්ම දරාගත නොහැකි අතර එය තවදුරටත් මේ රට ප්‍රපාතයට තල්ලුකර හැරීමක් බව සමගි ජනබලවේගය දැඩිව විශ්වාස කරයි.මේ නාස්තිකාර තත්ත්වය පිළිබදව මතුව ඇති ජනතා විරෝධය මෙන්ම පුරවැසි අරගලයේ පරමාර්ථ උල්ලංඝනය කරමින් මෙම අති විශාල ඇමති මණ්ඩලය පත් කිරීම තුළින් ගම්‍ය වන්නේ පරණ සුපුරුදු ගමනම ආණ්ඩුව ගමන් කරමින් සිටින බවයි.
ඒ අනුව, මේ අතිවිශාල ඇමති මණ්ඩලය පත්කිරීම පිළිබඳව සිය විරෝධය අද(08) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය.
මාධ්‍ය අංශය
සමගි ජන බලවේගය










