‘සිරිමාවෝ සමගි පෙරමුණු ආණ්ඩුවේ අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් හිටියේ යූ.ඇන්.පී.යත් එක්ක පුදුම වෛරයකින්…’Sri Lanka Latest News
මේ, ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලනඥයෙක් මෑතකදී කී කතාවය.
‘මොකක්ද ඒ වෛරය..?’
ඒක කවුරුත් දන්නේ නැති කතාවකි. ෆීලික්ස් ඩයස්ගේ පියා සීනියර් ෆීලික්ස් රෙජිනෝල්ඩ් ඩයස් බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකි. ඩයස් බණ්ඩාරනායක පවුල ලංකාවේ ප්‍රකට නීතිවේදීන්ගේ පවුලකි. ලංකාව නිදහස ලබන විට අගවිනිසුරු ධුරයට පත්කිරීමට සුදුසුකම් සපුරා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකය. ඒත් ලංකාවේ පළමු අගමැති ඩී.ඇස්. ඔහුට අග්‍රවිනිශ්චයකාර ධුරය දුන්නේ නැත. ඩී.ඇස්. නිදහස් ලංකාවේ පළමු ලාංකික අගවිනිසුරු ලෙස පත් කළේ නීතිපති ධුරය දරපු ආතර් විජයවර්ධනය. නිදහස් ලංකාවේ පළමු ලාංකික අගවිනිසුරු ධුරය තමාට අහිමි වීම ගැන ෆීලික්ස් ඩයස් සිටියේ කනස්සල්ලෙන්ය. එය ඔහුගේ පුතා ජූනියර් ෆීලික්ස් ඩයස්ට තදින් දැනුණි. තම පියාට ඩී.ඇස්. කළ අසාධාරණය නිසා ෆීලික්ස් ඩයස් ඩී.ඇස්.ගේ යූ.ඇන්.පී.යත් එක්ක වෛර බැඳගත්තේය.
ඩී.ඇස්. කොළඹ වුඩ්ලන්ඩ්ස් මන්දිරයේ සිට අගවිනිසුරු පදවිය සහ විනිසුරු පදවි සඳහා තනතුරු බෙදුවේ එහෙමය.
ඉන් පසු එන්නේ ෆීලික්ස් ඩයස්ගේ වාරයය. ඔහු 70-77 ආණ්ඩුවේ අධිකරණ ඇමැති විය. බණ්ඩාරනායක මැතිනියගේ සහෝදරයා බාන්ස් රත්වත්තේ සිටියේ පහළ අධිකරණයකය. අගමැතිනි බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම පිට ෆීලික්ස් ඩයස් තමාටද ඥාති වූ බාන්ස් රත්වත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කළේය. මැතිනියගේ කාලයේ අධිකරණය ගැන ජේ.ආර්.ගේ චරිතාපදානයේ සඳහන් වන්නේ මෙසේය.
‘එක්සත් පෙරමුණු රජය විසින් තත්ත්වය තවත් පිරිහෙළමින් අධිකරණයේ ඉහළම තැන්වලට දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහී වූ විනිශ්චයකාරවරුන් පත්කිරීමට තත් දරා තිබිණි. ඔවුන් අතුරෙන් එක් අයෙක් 1960 දශකයේ මුලදී ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් සහ ප්‍රාදේශීය නීතිඥයෙක් විය. එබඳු පත්කිරීම් මෙන්ම ඇතැම් විනිශ්චයකාරවරුන්ගේ ප්‍රකට පක්ෂග්‍රාහීත්වය විපක්ෂ මන්ත්‍රීවරුන්ගේත් පොදු මහජනතාවගේත් විවේචනයට භාජනය විය. මහජනතාවගේ විරෝධය පළවූයේ අසාමාන්‍ය විදියටය. බොහෝ අවස්ථාවලදී ක්‍රිකට් තරගයකදී හෝ පාපන්දු තරගයකදී හෝ ක්‍රීඩා විනිශ්චයකරුවකු සැක සහිත තීරණයක් හෝ තරගය පැවැත්වෙන ස්ථානයට අයත් පක්ෂයට වාසි වූ තීරණයක් හෝ දුන් අවස්ථාවක කලකිරුණු ප්‍රේක්ෂකයෝ මේ විනිශ්චයකාරවරුන්ගේ නම් කෑගසා කීවෝය…’
ජේ.ආර්. චරිතාපදානය
110 පිටුව
‘අඩෝ…’
එකල ක්‍රිකට් තරගවලදී ප්‍රේක්ෂකයෝ විනිසුරුවන්ගේ නම් කීවේ එලෙසය.
මැතිනියත්, ෆීලික්ස් ඩයසුත් අධිකරණය කෑවා කියලා බලයට ආ ජේ.ආර්. ජනාධිපති වෙලා අග්‍රවිනිශ්චයකාර ධුරයට පත් කළේ ඔහුගේ මිත්‍ර රාජ නීතිඥ නෙවිල් සමරකෝන්ය. ලංකා ඉතිහාසයේ පළමු වරට පිටින් නීතිඥයකු අගවිනිසුරු ධුරයට පත් කළ පළමු අවස්ථාව එය විය. ජේ.ආර්. වෝඩ් ප්ලේස්හි සිට අධිකරණය 1977 ජනවරමට ගළප්පා ගත්තේ එහෙමය.
1994 චන්ද්‍රිකා බලයට එන විට අගවිනිසුරු ධුරයේ සිටියේ ජී.පී.එස්. සිල්වාය. ඔහු අභියාචනාධිකරණයේ සභාපති ධුරය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු ධුරය දරා සුදුසුකම්වලින් පත්වූ අගවිනිසුරුවරයෙකි. ජ්‍යෙෂ්ඨත්වයෙන් සුදුසුකම් ලබපු ඔහුව පත් කළේ ප්‍රේමදාස ජනාධිපතිය. ඔහු 1999 විශ්‍රාම යන විට ජ්‍යෙෂ්ඨත්වයෙන් අගවිනිසුරු ධුරයට සුදුසුකම් ලබා සිටියේ මාක් ප්‍රනාන්දු විනිසුරුවරයාය. ඒත් චන්ද්‍රිකා ඔහුට කැමැති නොවීය. ඇගේ ආණ්ඩුවේ අධිකරණ ඇමැති ජී.එල්. පීරිස් ප්‍රකාශයක් කරමින් කීවේ අධිකරණය 1994 චන්ද්‍රිකා සහ පොදු පෙරමුණ ලබපු ජනවරමට පටහැනිව ක්‍රියා කරන බවය. වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුව පත් කළ විනිසුරුවරුන් ආණ්ඩුවේ ඉදිරි ගමන කඩාකප්පල් කරන බව ඔහු කීවේය. මේ වනවිට චන්ද්‍රිකා වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුවේ දූෂණ සහ භීෂණ හොයන දේශපාලන මෙහෙයුම භාරදී තිබුණේ නීතිපති සරත් සිල්වාටය. යූ.ඇන්.පී. ආණ්ඩුවේ දූෂණ සහ භීෂණ සොයන ජනාධිපති කොමිසම් මෙහෙයවූයේ සරත් සිල්වාය. ජී.පී.එස්. සිල්වාගේ ධුර කාලය අවසන් වූ විට ඇය සරත් සිල්වාව අගවිනිසුරු ධුරයට පත් කළේ ඇයගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරවා ගන්නටය.
2005 මහින්ද ජනාධිපති වනවිට සරත් සිල්වා අගවිනිසුරු විය. මහින්ද සරත් සිල්වාට පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් සුදුසුකම් ලබා සිටි අශෝක ඩි සිල්වා සහ ඔහුට පසුව ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරවලට පත්කරනු ලැබීය. එහෙත් බැසිල්ගේ දිවිනැගුම ව්‍යාපෘතියට එරෙහිව ශිරාණි බණ්ඩාරනායක තීන්දුවක් දුන්නා කියා ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඇයව අගවිනිසුරු ධුරයෙන් පහකොට මහින්දගේ කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක ලෙස මහින්දම පත්කර තිබූ මොහාන් පීරිස්ව අගවිනිසුරු ධුරයට පත් කළේය. මහින්ද මොහාන් පීරිස්ව නීතිපති ධුරයට පත් කළේ ඔහු නීති වෘත්තියේ යෙදී සිටියදීය. ඔහු ඒ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළේ නැත.
2015 මෛත්‍රී සහ රනිල් ආණ්ඩුව බලයට පත්වූ විට මොහාන් පීරිස්ට වහාම අගවිනිසුරු ධුරයෙන් ඉවත් වෙන්න බල කළේ මෛත්‍රී සහ රනිල් හොරු අල්ලන්න ලබපු ජනවරමට ඔහු බාධාවක් බව පවසමින්ය. ඔහු ඉවත් විය.
2019 ගෝඨා ජනාධිපති වනවිට අගවිනිසුරු වූයේ ජයන්ත ජයසූරියය. ඔහුව අගවිනිසුරු ධුරයට පත් කළේ මෛත්‍රී සහ රනිල්ය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් නොවීය. ඔහු මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ නීතිපති විය. මෛත්‍රී සහ රනිල් ඔහුව අගවිනිසුරු ලෙස පත් කළේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් නොතකා හරිමින්ය. ඒත් ගෝඨා ඔහුව වෙනස් කළේ නැත.
2025 අනුර ජනාධිපති වනවිට අගවිනිසුරු ධුරයේ සිටියේ ජයන්ත ජයසූරියය. ඔහු විශ්‍රාම ගිය විට අනුර පත්කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියක වූ මුර්දු ප්‍රනාන්දුය. ඇය විශ්‍රාම ගිය විට අනුර පත්කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එවැනිම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වූ ප්‍රීති පද්මන් සූරසේනය.
ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුතුමා මහාධිකරණ විනිසුරුවරයකුව සිටියදී හිටපු විගණකාධිපති ලලිත් අඹන්වලට ඇසිඩ් ගැසීමේ චූදිතයන්ට වසර 10 සිට 70 දක්වා සිර දඬුවම් නියම කොට නිර්භය තීන්දු දෙන විනිසුරුවරයෙක් ලෙස ප්‍රකට විය. ඔහුව අභියාචනාධිකරණයට පත්කළ මෛත්‍රීපාල ජනාධිපති ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් අගමැති රනිල් ඉවත් කොට මහින්දව අගමැති කළ විට ඊට එරෙහිව තීන්දුව දුන්න විනිසුරු වන්නේද පද්මන් සූරසේනය. ඒ වෙලාවේ ලංකාවේ ජනප්‍රියතම නායකයා වූ මහින්දට අගමැති ධුරය දැරීම තහනම් කරමින් ඔහු දුන් නියෝගය ඓතිහාසික තීන්දුවක් විය. මෛත්‍රීපාල ජනාධිපති ධුරයෙන් යන විට ඔහුට කැබිනට් මණ්ඩලය පැජට් පාරේ නිවස තෑග්ගක් ලෙස දීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් දුන්නේත් ප්‍රීති පද්මන් විනිසුරුවරයාය. 2018 රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි තීන්දු කළ ප්‍රීති පද්මන් විනිසුරුතුමා 2023 රනිල් ජනාධිපති වී පුංචි ඡන්දය තියන්න සල්ලි නැහැ කී විට පුංචි ඡන්දයට වෙන් කළ මුදල් මුදාහැර ඡන්දය තියන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්ට නියෝග කරන තීන්දුවත් දුන්නේය.
ප්‍රීති පද්මන් අගවිනිසුරුතුමා ජනාධිපතිවරු දෙදෙනෙක්ට සහ අගමැතිවරයෙක්ට එරෙහි තීන්දු දුන්න විනිසුරුවරයෙකි. 2024 ජනතාව අනුරව බලයට ගෙන ආවේ හොරු අල්ලන්නටය. ප්‍රීති පද්මන් අගවිනිසුරු ඒ ජනවරම ක්‍රියාත්මක කරන්න හොඳම අගවිනිසුරුවරයාය. හැබැයි ඔහු මේ වසරේ අවසානයේ විශ්‍රාම යෑමට නියමිතය.
‘අනුරගේ තීරණය කුමක්ද…?’
හොරු ඇල්ලීමත්, අධිකරණයේ ස්වාධීනත්වයත් ආරක්ෂා කරගනිමින් අනුරට කියන්න වෙන්නේ අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන් කියාය.










