කැබිතිගොල්ලෑව කුරුළුගම ප්‍රදේශයේ නිවසක සත්දින ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමකට එම ග්‍රාමයේ විහාරස්ථානයේ හිමිනම ඇතුළු පිරිසක් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
එලෙස අත්අඩංගුවට ගත් විහාරස්ථානයේ හිමිනම අද (31) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර සෙසු සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසුවේය.
අදාළ ග්‍රාමයේ පුද්ගලයෙකුගේ නිවසකට සත්දින ධර්ම දේශනයක් සඳහා වැඩම කරවීමට නම් රුපියල් 45,000ක මුදලක් ගෙවිය යුතු බවත් ඒ සඳහා දායක සභාව සමග එකඟතාවකට පැමිණිය යුතු බවත් කුරුළුගම රජමහා විහාරයේ හිමිනම නිවැසියාට දැනුම් දී තිබේ.
ඒ අනුව දායක සභාව විසින් අදාළ පුද්ගලයාට ගාස්තු වශයෙන් අවම වශයෙන් රුපියල් 15,900ක මුදලක් ගෙවන ලෙස දැනුම් දී ඇති බව පොලීසිය පැවසුවේය.
දායක සභාවට ඇතුළුවීමේ ගාස්තු රුපියල් 1,500ක් දාන වේල් 04ක් වෙනුවෙන් රුපියල් 10,000ක්, ශ්‍රමදානයක් සඳහා නොපැමිණීම හේතුවෙන් රුපියල් 3000ක්, මාසික ගාස්තු සහ කොටස් මුදල් ඊට ඇතුළත් වන බව වාර්තා වේ.
මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ අදාළ නිවසේ පුද්ගලයා සත්දින ධර්ම දේශනය සඳහා ආරණ්‍ය වාසීහිමිනමක් වැඩම කරවා තිබේ.
එහිදී නිවසට පැමිණි කුරුළුගම විහාරයේ හිමිනම ඇතුළු දායක පිරිස හිමිනමට පහරදී ඇති අතර එය මැඩපැවැත්වීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.
පොලිස් නිලධාරීන් දෙදෙනාගේ යතුරුපැදිය ද පැහැරගෙන ගොස් ඇති අතර පසුව එය විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පහරකෑමට ලක්වු පොලිස් නිලධාරීන් දෙදෙනා ද රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.
adaderana










