ශ්‍රිලංකා පොදුජන පෙරමුණත් අලුතින් සිතීමට කාලය එළඹ ඇතිබව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.Sri Lanka Latest News
ඔහු මේ බව ප්‍රකාශ කලේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් හමුවීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධාන ගත වුන පක්ෂ විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ අතරින් පක්ෂ කිහිපයක් නෙළුම් මාවත පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී මුණ ගැහුණා. ඉදිරියේ දී අපට මුහුණ දෙන්න වෙන අභියෝග සහ ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණවලට මුහුණ දිය යුතු ආකාරය පිලිබඳව අපි සාකච්ඡා කලා.
ඒ වගේම රටේ මහජනතාව මේ වන විට මුහුණපාල තිබෙන අභියෝග සහ ආර්ථික ගැටළුවලට පක්ෂයක් විදිහට හා සන්ධානයක් විදිහට අපි පිලියම් යොදන ආකාරය පිළිබදවත් අපි සාකාච්ඡා කලා. ඒවගේම පොදු ජන පෙරමුණ හා බැදුණු වෘත්තීය සමිති ව්‍යාපාරය නවීකරණය කල යුතු ආකාරය ගැනත් අපි සාකච්ඡා කලා. දස බල සේනා ගොඩ නගන ගමන තුල වෘත්තීය සමිති නවීකරණය කිරීමත් ඉදිරියේ දී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙ දී වෘත්තීය සමිති ක්‍රියා කල යුතු ආකාරය ගැනත් අපි සාකච්ඡා කලා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස රාජ්‍ය ආයතනයන් පෞද්ගලීකරණයට අපි විරුද්ධයි. රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගනිමින් ඒවායේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි කර ගත යුතු ආකාරය ගැන අපි වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කලා . එමෙන්ම ඉදිරියේ දී ප්‍රතිව්‍යුහගත කිරීමට අදහස්කර ඇති ආයතන ගැන පුලුල් අධ්‍යනයක් කර ඒවා පෞද්ගලීකරණයට හෝ විජාතිකකරණයට ලක් නොකර ඵලදායීලෙස හා කාර්යක්ෂම ලෙස ඒවා ගොඩ නඟන ආකරය ගැන ඉදිරියේ දී ජනතාව සහ ආණ්ඩුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා .
සුසිල් ප්‍රේමජයන්ත සහ රොෂාන් රණසිංහ යන මැතිතුමන්ලා දැන් වෙනම සන්ධාන ඇති කරගෙන තිබෙනවා . මේ අය තමයි මීට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කලේ. එදා ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කල අය දැන් දෙකට බෙදිලා වෙන වෙනම සන්ධාන හදාගෙන රැලි පවත්වනවා . අපිත් එක්ක එකට ඉන්න බැරි අයට බෙදිලා ගිහිල්ලත් ඉන්න බැහැ.ඒ අයගෙත් වෙනම දේශපාලන මතයක් ඇති .ඒක ප්‍රකාශ වෙන්නත් ඕනා . කෙසේ වෙතත් මේක ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක්ෂණයක්. අලුත් පක්ෂ නිර්මාණය වෙන්නත් ඕනා. ඒවගේම නිමල් ලංසා මැතිතුමාත් ආරම්භ කරපු නව සන්ධානයට මම සුභ පතනවා.
ඒවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙනම සන්ධානයක් ගොඩ නගන්න හදනවා. එම සන්ධානයටත් මම සුබ පතනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිංදුවට වැටිලා තිබුනේ. අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියේ. අපි එතනින් එලියට ආවේ ප්‍රතිපත්තිමය ගැටළුවක් නිසා මිසක පෞද්ගලික ගැටළුවක් නිසා නොවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල තව අලුතින් තරුණ පක්ෂ නිර්මාණය විය යුතුයි. අලුතින් තරුණයින් දේශපාලනයට පැමිණිය යුතුයි.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් . අපිත් සිතනවා සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි කියා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කරනවා ඔහුගේ ආණ්ඩුවක් යටතේ මෙම සමාජ මාධ්‍ය නියාමනය අහෝසි කරනවා යැයි කියා.මේක තමයි පාරම්පරික දේශපාලනික මානසිකත්වය. කලින් ජනාධිපතිවරයා කල සියල්ල අහෝසි කිරීම. අද පාර්ලිමේන්තුවේ බොහෝ දේශපාලන පක්ෂ වල නායකයින්ට තිබෙන්නේ මේ පාරම්පරික දේශපාලන මානසිකත්වයියි. ඒ සම්බන්ධයෙන් අපි කණගාටුවට පත්වෙනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස අපි නවීකරණය විය යුතුයි. අපි අතින් වෙච්ච වැරදි පිලිගෙන ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යාමයි විය යුත්තේ. අපි කාලෙන කාලෙට දේශපාලනික වාසි ගැනීමට අවස්ථාවාදීව අපේ ප්‍රතිපත්ති වෙනස් කරගෙන නැහැ. අපි අපේ මතයේම සිටිනවා. ජයග්‍රාහී මාවතට අපේ පක්ෂය අපි රැගෙන යනවා. ගමට යන අපේ දස බල සේනා වැඩසටහන සාර්ථකයි. ඒ හරහා සද් ජන රළ බිහි කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරනවා.
එළෙඹන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් රට ජයග්‍රහණය කරා මෙහෙයවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදේශගතව සිටින බැවින් පක්ෂයේ වගකීම භාර ගන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළේය.
අවස්ථාවාදී ලෙස පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසිය.










