ජනාධිපති, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, හිටපු අගමැති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ඉල්ලා සංවිධාන 34ක් සහ ක්‍රියාකාරීන් 82ක් නීතිපති සංජය රාජරත්නම් මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
අදාළ ලිපිය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, අදාළ පිරිස මැයි 9 වන දා ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයට පහර දීමට ආධාර අනුබල දීම සහ පහර දීම සිදු කළ බව ය.
පොලිසිය, හමුදාව ඇතුළු ආයතන හරහා ආණ්ඩුව සිදු කරන පුරවැසි අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීමට උපදෙස් දෙන ලෙස ද ඔවුන් නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
අදාළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.
2022/05/24
සංජය රාජරත්නම් මහතා,
නීතිපති,
නීතිපති දෙපාර්තමේන්තුව,
කොළඹ.
නීතිපතිතුමනි,
පුරවැසි අයිතිවාසිකම් කඩකිරීම සහ ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ නතර කරන ලෙස දැනුම් දීම
මාර්තු පළමු වන දා සිට මේ දක්වා රට පුරා සාමකාමී උද්ඝෝෂණ, වැඩවර්ජන සහ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් තිබූ බව ඔබ හොඳින් දන්නවා ඇතැයි සිතමු. අත්තනෝමතික පාලනයට, මර්දනයට සහ ආණ්ඩුවේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළට එරෙහිවත්, රටේ ඇති වී තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදයේ ප්‍රධාන වගඋත්තරකරුවෙකු වන දිගින්-දිගට ම ව්‍යවස්ථා විරෝධී මෙන් ම අත්තනෝමතික ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් පැවති මෙම ක්‍රියාමාර්ග මර්දනය කිරීමට ආණ්ඩුව දිගින්-දිගට ම පියවර ගත්තේ ය.
භාෂණයේ ප්රකාශනයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් ගණනාවක් අහිමි කිරීම සඳහා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ අවස්ථා දෙකකදී හදිසි නීතිය ගෙන ආ අතර, අවස්ථා කිහිපයකදී ම ඇඳිරිනීතිය පනවනු ලැබීය. ඊට අමතරව මාර්ග සම්පූර්ණයෙන් අවහිර කරමින් ස්ථිර මාර්ග බාධක දැමීය. සාමකාමී උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකකදී වෙඩි තැබූ අතර, අවස්ථා කිහිපයකදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ ය.
එක් අවස්ථාවකදී උල් කටු සහිත මාර්ග බාධක දමා, උල් කටු වැසෙන්නට කළු ඉටි කොළ දමා උද්ඝෝෂකයන් මරා දැමීමට පවා උත්සාහ කළේ ය. මේ සම්බන්ධයෙන් කොළඹ – කොටුව පොලිස් ස්ථානයට 2022 අප්‍රේල් 24 වන දා සහ 25 වන දා CIB i 15/159 අංකයෙන් පැමිණිල්ලක් කළ ද, මේ දක්වා කිසි ම විමර්ශනයක් සිදු කර නැත.
දිගින්-දිගට ම විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ සාමකාමී විරෝධතා සහ වෘත්තීය ක්‍රියාමාර්ග අඩපණ කිරීමට ආණ්ඩුව උත්සාහ ගත්ත ද, ඒවා අසාර්ථක වූ නිසා මැයි මස 9 වන දා අරලියගහ මන්දිරයට පිරිසක් ගෙන්වා, ඔවුන් මගින් මයිනාගෝගම සහ ගෝඨාගෝගම සාමකාමී විරෝධයට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද්ධ හමුදාව බලා සිටියදී පහර දුන්නේ ය. සාමකාමී අරගලවලට පහරදීම නිසා රට තුළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර, අරලිය ගහ මන්දිරයට පිරිස් ගෙන්වා සාමකාමී විරෝධයට පහර දීමට ආණ්ඩුව සහ පොලිසිය කටයුතු කළේ මෙවැනි පහරදීමක් වුවහොත් රට තුළ කලබලකාරී වාතාවරණයක් ඇති විය හැකි බවට දැනුවත්වම ය.
මෙම පහරදීමට ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, එවකට අගමැතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඇතුළු කණ්ඩායමක් සෘජුව වගකිව යුතු වුව ද, අද (මැයි 23) දක්වා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පිරිසෙන් 20කට ආසන්න පිරිසක් පමණි. එයින් ද ප්‍රධාන සැකකරුවන්ගෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණි.
එසේ තිබියදී එම සිදුවීමෙන් පසු රට පුරා සිදුවූ සිදුවීම්වලට සම්බන්ධ බව කියමින් 2,000කට ආසන්න පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. සාමකාමී අරගලයට පහරදීමට කටයුතු කළහොත්, වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික සහ දේශපාලන පීඩනය හමුවේ පුරවැසියන් අතින් මෙවැනි සිදුවීම් සිදු විය හැකි බව දැන-දැනම ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදුන්, පහරදීමට සැලසුම් කළ සහ පහරදීමට ඉඩ දුන් පිරිස රට පුරා සිදු වූ සියලුම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට වගකිව යුතු බව අපගේ අදහසයි.
එසේ හෙයින්,
1) පොලිසිය, හමුදාව ඇතුළු ආයතන හරහා ආණ්ඩුව සිදුකරන පුරවැසි අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීමට උපදෙස් දෙන ලෙස ත්,
2) ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයට පහර දීමට ආධාර අනුබල දුන් සහ පහරදීම සිදු කළ ජනාධිපති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු අගමැති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු සියලු ම දෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ලෙස ත්,
3) සාමකාමී විරෝධතාවලට පහර දීමට කටයුතු කළහොත්, රට පුරා කලබලයක් ඇති විය හැකි බව දැන-දැනම ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී විරෝධතාවලට පහර දුන් සහ පහර දීමට අනුබල දුන් පිරිසට රට පුරා සිදුවූ සිදුවීම්වල ද අපරාධ වගකීම පැවරීමට පොලිස්පතිට උපදෙස් දෙන ලෙස ත්,
4) ඉදිරියේදී මෙම සිදුවීම්වල චූදිතයන් සහ මෙම සිදුවීම් සම්බන්ධයෙන් පවරන මූලික අයිතිවාසිකම් නඩුවලදී පොලිසියට සහ ආණ්ඩුවේ දේශපාලනඥයන් වෙනුවෙන් පෙනීනොසිටින ලෙසත්,
ප්රජාතන්ත්රවාදය අගය කරන සහ පුරවැසි අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ලෙස අපි ඉල්ලා සිටිමු.
ස්තූතියි.
පිටපත්,
1) සභාපති – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
2) සභාපති – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
එකඟත්වය පළකරන සංවිධාන,
- තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
- තරුණ නීතිඥ සංගමය
- ලංකා ගුරු සංගමය
- සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය
- ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
- නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය
- ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය
- ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව
- ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය
- ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය
- ගැමි කාන්තා පෙරමුණ
- වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
- සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය
- ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
- එස්එල් ව්ලොග් ආයතනය
- සටහන් මීඩියා ඇන්ඩ් පබ්ලිෂර්ස් මාධ්‍ය ආයතනය
- මීඩියා එල් කේ නෙට්වර්ක් මාධ්‍ය ආයතනය
- සංදේශය බයි සරෝජ් නාලිකාව
- ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
- කතෝලික ගිහි සංවිධාන එකමුතුව
- මහපොළොවේ මිනිස්සු සංවිධානය
- නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය
- ප්‍රොටෙක්ට් සංගමය
- හෑෂ්ටැග් පරපුර
- එක්සත් පොදු සේවක සංගමය
- වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය (එම්.සී.පී.ඒ)
- ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය
- මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
- ලංකා බැංකු සේවක සංගමය
- එක්සත් කම්කරු සම්මේලනය
- ලංකා විදුලි පොදු සේවක සංගමය
- පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
- විමුක්ති ව්‍යාපාරය
- විමෙන් ඩිවෙලොප්මන්ඩ් ඉනොවේටර්ස්










