ජෙට් ලී කියන්නේ ලොව ඉන්න දක්ෂතම සටන්කරුවෙක්. ඒ වගේම ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක්. හොඳ බෞද්ධයෙක්. ඉතින් ජෙට් ලී කියන දක්ෂ සටන්කරු මේ වනවිට මාර්ග ඵලයකට ඇවිල්ලද? ඇයි අපි එහෙම කියන්නේ? අජාන් චා කියන ලෝක ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේ ගැන ඔබ බොහෝ විට අහලා ඇති. දැන් අජාන් චා හිමියන් මුහුණ දුන් සිදුවීමක් ගැන කියලා අපි මේ කතාවට ආරම්භයක් ලබාගමු. (Sri Lanka Latest News)
එක දවසක් අජාන් චා හිමියන්ව හමුවෙන්න නූගත් මනුස්සයෙක් ආවා. ඔහු අහනවා අජාන් චා හිමි ඔබ වහන්සේද කියලා. ඉතින් අජාන් චා හිමියන් උත්තර දෙනවා අජාන් චා කියන්නේ මම තමයි කියලා. ඔන්න තවත් දවසක උගත් බුද්ධිමත් මනුස්සයෙක් ඇවිල්ලා මේ ප්‍රශ්නයම අජාන් චා හිමියන්ගෙන් අහනවා. ‘අජාන් ජා හිමි කියන්නේ ඔබවහන්සේද?’ එවර අජාන් චා හිමියන් මෙහෙම කියනවා. ‘අජාන් චා හිමි කියලා කෙනෙක් නැහැ’ කියලා. අජාන් චා හිමියන් අවස්ථා දෙකකදී එකම ප්‍රශ්නයට වෙනස් උත්තර දුන්නේ ඇයි? ඒකට හේතුව තමයි ඒ කෙනාගේ බුද්ධි මට්ටම. නමුත් මේ උත්තර දෙකම ඇත්ත. මේ උත්තර දෙකම ඇත්ත වෙන්නේ කොහොමද කියලා අපි බලමු.
ජෙට් ලී කියන්නේ ලෝකයේ ඉන්න දක්ෂතම සටන්කරුවෙක් කියලා ලිපිය ආරම්භයේදිම අපි කිව්වා. බොහෝ දෙනෙක් ජෙට් ලී ගැන දන්නවා. ජෙට් ලී උපත ලබන්නේ 1963 අප්‍රේල් මස 26 වැනිදා. ඔහුට වයස අවුරුදු 8 වෙද්දී වූෂු කලාව හදාරන්න පටන්ගන්නා ඔහු කෙටි කලකින්ම එම සටන් කලාවේ අතිදක්ෂයෙක් වෙනවා. ජෙට් ලීට වයස අවුරුදු 11දී පමණ එවක ඇමෙරිකානු ජනාධිපති වූ රිචඩ් නික්සන් ඉස්සරහා තමන්ගේ දක්ෂතා පෙන්වන්නට මොහු සමත් වෙනවා. ඒ කාලේ දැන් වගේ නෙවෙයි. චීනයයි ඇමෙරිකාවයි ඉතා මිතුරු කාලයක්. ඒකේ ප්‍රතිඵලයක් විදියට ජෙට් ලී අතුළු පිරිසක් ධවල මන්දිරයට යන්නේ.
රිචඩ් නික්සන් ජනාධිපතිවරයා සහ කුඩා ජෙට් ලී හමුව ගැන රසවත් කතාවකුත් තියෙනවා. ජනාධිපතිවරයා කුඩා ජෙට් ලීගෙන් මෙහෙම ඇහුවලු. ‘ඔයා ලොකු වුණාම මගේ ආරක්ෂකයෙක් විදියට කටයුතු කරන්න පුළුවන්ද?’
ජෙට් ලී ඒකට මෙහෙම උත්තර දුන්නලු. ‘මම ඉපදුණේ මගේ රට වෙනුවෙන්. ඒ නිසා මට චීනය ආරක්ෂා කරන්න තියෙනවා. ඔබගේ ආරක්ෂකයෙක් වෙන්න මට බැහැ…’
ජෙට් ලී කුඩා කාලයේදී පාසල් ඇරිලා ගෙදර ආපු ගමන්ම කරන්නේ තමන්ගේ සටන් පුහුණුව ආරම්භ කරන එකලු. ඔහුගේ දවසෙන් භාගයක්ම ඔහු වෙන් කරලා තියෙන්නේ සටන් පුහුණුව සඳහා බවයි කියැවෙන්නේ. ඒ වගේම වයස අවුරුදු 19දී ඔහු සටන් පුහුණුව ලැබීම සඳහා ෂැවෝලින් පන්සලකට ගිහින් තියෙනවා.
කොහොම නමුත්, ඇමෙරිකාවේ ජනාධිපතිවරයාගේ ආරක්ෂකයෙක් වෙන්න බැරි වුණත්, ජෙට් ලීගේ දෛවයේ ලියැවී තිබූ දෙයක් නම් ඒ විදියටම සිදුවෙනවා. ඒ නිසා තමයි ජනාධිපති ආරක්ෂකයෙක් නොවුණත් ඉතා ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් බවට ජෙට් ලී පත්වෙන්නේ. මේ විදියට අතිදක්ෂ සටන්කරුවකු බවට ජෙට් ලී පත්වෙනවා වගේම අද අපි මේ ලිපියෙන් කතාකරන්නේ ජෙට් ලීගේ සටන් හැකියාවටත් වඩා ඔහුගේ අධ්‍යාත්මික දියුණුව ගැන.
ජෙට් ලී වරක් මෙහෙම පවසා තියෙනවා. ‘ඔබ හරියටම ඔබ කවුද කියලා දැනගත්තොත් ඔබගේ යාළුවෝ ඔබ ගැන කතාකරනකොට ඒක ලෝකයේ තියෙන ලොකුම විහිළුව වෙනවා…’
මොකක්ද මේ කතාවේ තේරුම? මොකක්ද මෙහි සැඟවුණු අර්ථය? තමන් කවුද කියලා හරියටම දන්නේ නැති නිසා අපි සසර පුරා ඇවිදිනවා. තමන් කවුද කියලා හරියටම හොයාගත්තට පස්සේ අපේ මේ සංසාර ගමන නවතිනවා. එක අතකින් බුදුදහම කියලා කියන්නේ තමන් කවුද කියලා අවබෝධ කරගන්නා දහමක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්.
බුදු රජාණන් වහන්සේ වරක් දේශනා කරලා තියෙනවා ධර්මය කියන්නේ සාගරය වගේ දෙයක් කියලා. ඒ කියන්නේ ඉදිරියට යන්න යන්න ගැඹුරු වෙනවා. බුද්ධ දේශනාවට අනුව ‘මමය’ ‘මාගේය’ කියලා අල්ලා ගන්න දෙයක් අපි තුළ නැහැ. ඒක පැහැදිලි කිරීමට ඉතා අමාරු සංකීර්ණ දෙයක්. මොකද තර්කවලට සියලු දේ හසුවෙන්නේ නැහැ. කොහොම නමුත් හිතන්න, රවුමට කරකවන ගිනිපෙනෙල්ලක් අපිට ඒ පෙනෙන්නේ ගිනි රවුමක්, ගිනි වළල්ලක් විදියටයි. නමුත් ඇත්තටම එතැන තියෙන්නේ රවුමට කරකවන ගිනිපෙනෙල්ලක්. ගිනිපෙනෙල්ලේ වේගය නිසා එය ගිනි වළල්ලක් විදියට අපිට මැවිලා පේනවා. ඒ කියන්නේ ගිනි වළල්ල ඇත්තටම නොපවතින දෙයක්. ඒ වගේම තමයි ‘මම’ කියන දේත්. ‘මම’ කියන්නේ ඇත්තටම නොපවතින දෙයක්. ඉතින් මේ වගේ දෙයක් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ඒ තැනැත්තා මාර්ග ඵලයක් ලබාගන්නවා කියන එක.
ජෙට් ලී කරපු මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ නෑ ඔහු සෝවාන් වගේ මාර්ග ඵලයක් ලබාගත්තා කියලා. මොකද ඒ වගේ මාර්ග ඵලයක් ලබාගත්ත කෙනෙක් විශේෂ අවස්ථාවකදී හැරෙන්න එහෙම කියන්නෙත් නැහැ. ඒත් අපිට කියන්න පුළුවන් අඩුම තරමේ ජෙට් ලී ඒ සඳහා උත්සාහවන්ත වෙනවා හරි කියලා. වඩාත් වැදගත් වෙන්නේ තමන් කවුද කියලා අවබෝධ කරගැනීමයි.
ඇයි අපට තාමත් ‘මම කවුද?’ කියලා හඳුනාගන්න බැරි වුණේ? අපි හැම වෙලාවෙම අවධානය යොමුකරන්නේ බාහිරට. නමුත් අපි අපේ අවධානය අපගේ ඇතුළට යොමුකරන්න ඕනේ. ඇයි ඉතින් අපේ අවධානය අපි තුළට යොමුකරන්න බැරි? ඒ සතිමත් බව නැති නිසා. සතිමත් බව කියන්නේ ඇතුළට අවධානය දීමයි. ඇතුළට අවධානය දෙනවා කියලා කියන්නේ වර්තමානයට අවදි වෙනවා කියන එකයි. වර්තමාන මොහොතට අවදි වෙනවා කියන එකයි. වර්තමාන මොහොතට අවදි වෙනවා කියන එකයි සති චෛතසිකයේ ස්වභාවය. ඒ කියන්නේ ඔබ වර්තමාන මොහොත ගැන දැනුවත් වෙනවා කියන එක. වර්තමාන මොහොත ගැන නිරීක්ෂකයෙක් වෙනවා කියන එක. ඇස් දෙකෙන් නෙවෙයි මෙතැනදී නිරීක්ෂකයෙක් වෙන්නේ, මනසින්. මොකද මේ චෛතසික ධර්ම හටගන්නේ මනසේ.
බුදුරජාණන්වහන්සේගේ ධර්මයට අනුව ලෝකයේ සියලු සංස්කාරයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ අවබෝධ කරගන්නා සංස්කාර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව අපි දකින්න ඕනේ. ඉතින් මේවා දකින්න නම් අපි ඒ සංස්කාරයන් දිහා බලන්න ඕනේ. සංස්කාරයක් කියලා කියන්නේ හේතූන්ගෙන් හටගන්නා දේවල්. ඒ කියන්නේ සිතුවිල්ලත් සංස්කාරයක්. ඉතින් මේවා සැබෑවටම අනිත්‍යද? සැබෑවටම දුකද? සැබෑවටම අනාත්මද? කියලා දැකගන්න නම් අපි ඒ දිහා බලන්න ඕනේ. බලන්න තියෙන්නේ සතියෙන්. අපි ඒ වගේ දේවල් නිරීක්ෂණය කරන්න ඕනේ. වර්තමාන මොහොතට අවදි වෙන්න ඕනේ. අපි වර්තමාන මොහොතට ටිකෙන් ටික මොහොතින් මොහොත අවදි වීමට උත්සාහ කරන්න ඕනේ. මේක එක පාර කරන්න අමාරුයි. සෑහෙන වතාවක් පුරුදු වෙන්න ඕනේ. අපි වර්තමාන මොහොතට අවදි වෙන්නේ නැති නිසා අපේ මනසේ සැබෑ ස්වභාවය ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න බැහැ. මොකද අපි සෑම මොහොතකම අපේ අවධානය දෙන්නේ බාහිරට. ඉතින් ඇත්තටම ‘මම’ කියලා දෙයක් නැහැ. ඉතින් ‘මම’ කියලා දෙයක් ඇත්තටම නෑ කියලා තේරුම් ගිය දවසට ලෝකය ඔබ ගැන කතාකරනකොට ඒක ලෝකයේ තියෙන හොඳම විහිළුව වෙන එක පුදුමයක් නෙවෙයි.
Hela Rahas යූටියුබ් නාලිකාවෙනි










