කුසලතාවයට,දක්ෂතාවයට මුල්තැන දෙන මනුස්සකම රජයන රටක් නිර්මාණය කිරීම සිය ඒකායන අරමුණ බවත් ඒ වෙනුවෙන් ඇප කැපවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජනබලවේගය විසින් සංවිධානය කරනු ලබන ” දිනමු” කමිටු පිහිටුවීමේ දීපව්‍යාප්ත වැඩසටහන මේ දිනවල බදුල්ලේ පැවැත්වෙන අතර ඊට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයේ සංචාරය කරනු ලබයි.
ඊයේ(19) පෙරවරුවේ හාලි ඇල – වාසනාගම ට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී කාශ්‍යපාරාමාධිපති පූජ්‍යපාද වලේවෙල සද්ධාරතනාලංකාර නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත්තේය.
අනතුරුව දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ස්ථානයට ගොස් පුෂ්පෝපහාර පැවැත්වීය .
එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් චෝදනා කිරීම මේ මොහොතේ රට ගොඩනැගීම උදෙසා ඇති මාවත නොවන බව අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම වෙනුවට තම තමන් අතින් සිදු වූ වැරදි අඩුපාඩු පිළිබඳව කැඩපතක් ඉදිරියට ගොස් ස්වයං විවේචනයක යෙදිය යුතු බවයි.
අනෙකාට ඇඟිල්ල දිගු කරන විට තමන් දෙසට ද ඇඟිල්ල දිගු කරගත යුතු බව ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ ව්‍යසනකාරී මොහොතේ රටට අවශ්‍ය වෙන්නේ නූතන ජනතාවාදී වැඩපිළිවෙළක් මිස හිස් ප්‍රලාප නොවන බවද පැවසීය.
සමගි ජන බලවේගය මේ රටේ ජනතාව වෙනුවෙන් අප කැප වන දේශපාලන ව්‍යාපාරයක් බව පැවසූ විපක්ෂ නායකයා ඒ හරහා හැකියාව කුසලතාවය දක්ෂතාවය ඇති සියලු දෙනාට ඉදිරියට ඒමේ ඉඩකඩ හිමිවන බවද පැවසීය
“වාසනාගම ගම්මානයට පැමිණීමට ලැබීම මගේ වාසනාවක් විදිහට මම අද සලකනවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ උදාගම් සංකල්පය යටතේ බිහිවුණු ගමක් තමයි වාසනාගම කියලා කියන්නේ .ගෙවල් සියයක් හදලා පවුල් සියයක් පදිංචි කරලා, ඔවුන්ට නැගී සිටින්නට ශක්තිය දීලා, අද වෙනකොට ඔවුන් ශක්තිමත් ව තමන්ගේ ජීවිතයේ ගොඩනගාගෙන තිබෙනවා .මේ ආදර්ශ ගම්මානයක්. පොදු ජන ජීවිතය ශක්තිසම්පන්න කරන්නට එතුමා කළ සේවය සදා අමරණීයයි .
අපි අදහස් කරනවා, මේ රට නව සංවර්ධන යුගයකට, නව දිශාවකට යොමු කරන්න. නව දර්ශනයක් තුනෙන් අලූත් වැඩපිළිවෙලක් තුළින් තුලින් අපට ගමන යන්න පුළුවන් කියලා අපේ කියලා අපි විශ්වාස කරනවා . සඳහා නූතනවාදී නවීන සංකල්ප අවශ්‍ය යි .
අද අපේ රටේ තිබෙන්නේ බරපතල ව්‍යසනකාරී තත්ත්වයක. කොරෝනා උවදුරත් එක්ක මේ රට ආර්ථික වශයෙන් වගේම සමාජ වශයෙනුත් දැඩි බලපෑමකට ලක් වෙලා. අපේ රට නැවත ගොඩනැගීමේ අභියෝගය අපි කාටත් තිබෙනවා . මේ රට පාලනය කරපු අපි හැමෝගෙම අතින් වැරදි, අතපසුවීම් වෙලා තියෙනවා. එහෙම නෑ කියනවනම් ඒක බොරුවක්. ඒ නිසා අනෙකාට ඇගිල්ල දිගු කරන හැම විටම තමන් දෙසටත් ඇගිලි දික් වෙන බව අපි කවුරුත් මතක තියා ගන්න ඕන.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරපු මේ ස්ථානයට පැමිණිලා මම අද කියනවා, මේ රටේ පොදු ජනතාවට සේවය කරන, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන, ඔවුන්ව නැගී සිටුවන ජනතාවාදී පාලනයක් අපි බිහි කරනවා.
අපි අතින් වෙච්ච අඩුපාඩු නිවැරදි කරගෙන, අපෙන් වෙච්ච වැරදි ගැන ජනතාවගෙන් සමාව ඉල්ලලා ඉදිරියේ දී ඒ සියලු අඩුපාඩුකම් වලුන් තොර ජනතාවාදී නව මාවතක් බිහි කරනවා.
අපේ ගමන තුල පවුල් වාදයට, ගජ මිතුරුවාදයට ඉඩක් නෑ. ඒ සියල්ල පසෙක දාලා කුසලතාවයට දක්ෂතාවයට ඉඩ සලසනවා.
මෙරට, පිටරට සිටින දක්ෂයින්, කුසලතා පිරි සියලු දෙනා අපි එකතුකර ගන්නවා.
ජාතියක්, ආගමක්, පක්ෂයක්, පාටක් අනුව නොවේ, රට වෙනුවෙන් කැපවෙන සියලුදෙනා එකතු කරගෙන ගමනක් යනවා.
ඉතිහාසයේ සිදුවූ අඩුපාඩුකම් නිවැරදි කරගෙන අපි ඒ ගමන යනවා.”
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බදුල්ල දිස්ත්‍රික්කයේ, කන්දකැටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ , ඓතිහාසික වේලුගාමි කිරිවෙහෙර රජමහ විහාරයට පැමිණ විහාරාධිපති පූජ්‍යපාද කන්දකැටිය විමලකිත්ති නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත්තේය. ඉන් පසු බදුල්ල නාගරික මන්ත්‍රී ඉශාම් උමාර් මහතාගේ පුතනුවන්ට විශේෂ පහසුකම් සහිත රෝදපුටුවක් පරිත්‍යාග කිරීමේ කටයුත්තට ඒ මහතා දායක විය.
එම අවස්‍ථාවට සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් එක්විය.
අනතුරුව මහියංගනයේ ගොවිජනතාව හමුවූ අතර එහිදී ඔවුන්ගේ ගැටලු පිළිබඳව සංවාදශීලී හමුවක්ද පවත්වනු ලැබීය. තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව එම ගොවිජනතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අදහස් දක්වනු ලැබීය.











