• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂය වර්ජනය කරද්දී රනිල් රාජාසන කතාවේ කියපු කතා මෙන්න!

February 8, 2023
in Exclusive
Reading Time: 17 mins read
A A
ජනපති කතාව ආරම්භ කරයි! සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරයි! (LIVE VIDEO)
Share on WhatsAppShare on Facebook

නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂ කරුණු පහත දැක්වේ.

1) මේ දැරු දැරියන්, මේ තරුණ තරුණියන් තමයි අපේ රටේ අනාගත පරම්පරාව. රටහැර නොයා රට යළි ගොඩනඟන්නට ප්‍රාර්ථනා කරන අනාගත පරම්පරාව. ඔවුන්ට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමයි අප හැමගේ වගකීම. මේ උත්තරීතර සභාවේ සිටින ඔබේ වගකීමත් එයයි. හැම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීම එයයි.

2) අනතුරුදායක වැල් පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්නට අපට පුළුවන් වෙලා තිබෙනවා. අප ඒ ආවේ ලේසි පහසු ගමනක් නෙවෙයි. හැබැයි ගමන තවම ඉවර නෑ.

3) බිඳ වැටීමට ඔන්න මෙන්න කියා තිබුණු රාජ්‍ය මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කරන්න කැප වුණා. රජයේ වියදම් පාලනය කළා. බදු ආදායම් වැඩි කර ගැනීමට පියවර ගත්තා.

4) පසුගිය කාලයේ ගත් යම් යම් තීරණ හේතුවෙන් බදු ආදායම් පහළ වැටුණු බව අප දන්නවා. 2019 දෙසැම්බර් 31 වෙනිදා වෙද්දි ව්‍යාපාර, සමාගම් සහ පුද්ගලයන් ලක්ෂ 16ක් බදු ගෙව්වා. 2021 දෙසැම්බර් වෙද්දි බදු ගෙවන ප්‍රමාණය ලක්ෂ 5ක් දක්වා පහළ වැටුණා. රජයේ බදු ආදායම් අන්තිමටම පහළ වැටුණා.

5) මේ නිසා රටේ ආර්ථිකයට සිදු වන විනාශය වටහා ගත් බොහෝ ආයතන සහ සංවිධාන, යළිත් 2019 වසරේ පැවති බදු ක්‍රමයටම යන ලෙස ඉල්ලා සිටියා.

6) මතක තබා ගන්න. මට අවශ්‍ය ජනප්‍රිය වෙන්න නෙවෙයි. මට අවශ්‍ය මේ රට වැටි ඇති අර්බුදකාරි තත්ත්වයෙන් යළි ගොඩනංවන්නයි. ඔව්. මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් බොහෝ දෙනෙකුට අවබෝධ වේවි.

7) බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවිය යුතු බව සමහරු කියනවා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය අහෝසි කළ යුතු බව තවත් සමහරු කියනවා. අප මේ බදු පැනවූයේ කැමැත්තෙන් නෙවෙයි. නමුත් අපි කැමති දේ කළ පමණින් රට ගොඩනංවන්න බැහැ. අකමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුයි.

8) උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා. බදු සීමාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවූවොත් රටට රුපියල් බිලියන 63ක් අහිමි වෙනවා. අහිමි වන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163ක්. මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අද අප සිටින්නේ.

9) වර්තමානයේ අපේ රටේ වැඩිපුර බදු ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. සෘජුව බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් නිසි ලෙස බදු අය කරගන්නේ නැති නිසා සියලු ශ්‍රී ලාංකිකයින් වක්‍ර බදු වශයෙන් විශාල මුදල් ප්‍රමාණක් ගෙවනවා. බදු ගෙවීමට අවශ්‍යතාවක් නැති විශාල ප්‍රමාණයක් නොදැනීම බදු ගෙවනවා.

10) 2021 දී අපේ රටේ සෘජු බදු සියයට 21 යි. වක්‍ර බදු සියයට 79 යි. ඒ නිසා මේ බදු විෂමතාවය නිවැරදි කරගැනීමට අප කටයුතු කළ යුතුයි. එවිට පොදුවේ සමස්ත ජනතාව වෙත පැටවී ඇති බදු බර අඩු වෙනවා.

11) මේ විදියට ඉදිරියට ගියොත් අවුරුද්දේ තුන්වෙනි, හතරවෙනි කාර්තු වෙද්දි රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබා දෙන්න අපට පුළුවන්.

12) පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොළිය අඩු කරන්න පුළුවන්. තවත් අවුරුදු තුනක් ගතවෙද්දි අද ලබන ආදායමට වඩා සියයට 75ක පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්.

13) වර්තමානයේ සියලු දුෂ්කරතා මැද වුණත්, අබල දුබල ආර්ථිකයකින් බැට කන දිළිඳු කණ්ඩායම්වලට රැකවරණ ලබා දීමටත් අප පියවර ගත්තා. මේ සඳහා ලෝක බැංකුව අපට පූර්ණ සහාය ලබා දුන්නා.

14) අපේ රටේ සහනාධාර ලබා දීමේ ක්‍රමය විකෘතියට ලක්වෙලයි තියෙන්නේ. වැඩි ආදායම් ඇති අය පවා සහනාධාර ලබනවා. අප මේ තත්ත්වය වෙනස් කිරීමට පියවර ගනිමින් සිටිනවා. සැබවින්ම දිළිඳු ප්‍රජාව හඳුනා ගන්නවා. සහනාධාර බැංකු ගිණුමක් හරහා ඔවුන්ට කෙළින්ම මුදලින් ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා

15) මම කිසි විටෙක කරන්න බැරි දේ කියන්නේ නෑ. බලය වෙනුවෙන් බොරු කියන්නේ නෑ. අය වැය කතාවේ දී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියු හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වෙමින් තියෙනවා.

16) සෘණ ආර්ථිකයක සිට ධන ආර්ථිකයක් කරා අප දැන් ගමන් කරමින් ඉන්නෙ. 2023 අවසන්වෙද්දි ධන ආර්ථික වර්ධනයක් ලබාගැනීමට අපේක්ෂා කරනවා.

17) මම ජනාධිපති ලෙස මුලින්ම මේ පාර්ලිමේන්තුව අමතද්දි රටේ උද්ධමනය සියයට 70 යි. අපේ ක්‍රියා පිළිවෙත් නිසා 2023 ජනවාරි වෙද්දි එය සියයට 54 ක් දක්වා පහත හෙළන්නට අපට හැකි වුණා. අප වෙහෙසෙන්නේ 2023 අවසන් වෙද්දි එය තනි ඉලක්කමක් බවට පත් කර ගන්නයි.

18) විදේශ ශ්‍රමිකයන් මේ බැරෑරුම් අවස්ථාවේ මාතෘ භූමියට උපරිම සහාය දක්වමින් සිටිනවා. 2022 අවසන් වෙද්දි ඩොලර් බිලියන 4ක විදේශ විනිමය ඔවුන් අපට ලබා දුන්නා.

19) අපේ ව්‍යවසායකයන් සහ විදේශ ශ්‍රමිකයන් මේ කැපවීම් කළේ විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඔවුන්ට විවිධාකාරයෙන් බලපෑම් කරන පසුබිමකයි. නමුත් තමන් අපනයන ආදායම් ඉහළ නංවන්නෙත්, ලංකාවට මුදල් එවන්නෙත් බලයේ සිටින දේශපාලන පක්ෂය අනුව නොව, රට වෙනුවෙන් බව ඔවුන් ඔප්පු කර තිබෙනවා.

20) බින්දුවටම වගේ වැටී තිබුණු විදේශ සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපට දැන් පුළුවන් වෙලා තියෙනවා.

21) සංචාරක ව්‍යාපාරය යළි පණ ගන්වන්නට අපට පුළුවන් වුණා. පාරවල් පුරා පටු දේශපාලනික උද්ඝෝෂණ කරමින් සිදු කෙරුණු බාධා මධ්‍යයේ වුණත් සංචාරකයන් ලංකාවට ආවා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10 අතරට ලංකාවත් නම් කෙරුණා. මේ ජනවාරි මාසයේ ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. එය වර්තාගත ප්‍රමාණයක්.

22) අප යන මේ සැලැස්ම අනුව ඉදිරියට ගියොත් 2026 වෙද්දි බංකොලොත් තත්ත්වයෙන් මිදෙන්න අපට පුළුවන්. මම දිගින් දිගටම ඉල්ලා සිටි පරිදි රට ගොඩනැඟීමේ සටනට මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වුණා නම්, ඊටත් කලින් මේ අර්බුදයෙන් ගොඩඑන්නට අවකාශ සැලසෙනවා.

23) 2020 වසරේ අපි අයි.එම්.එෆ් සංවිධානයෙන් ඉවත් වුණා. ඒ අදුරදර්ශී තීරණයත් වර්තමාන කටයුතුවලට බලපා තිබෙනවා. බංග්ලාදේශයට ඉක්මනින් අයි.එම්.එෆ් සහන ලබා ගැනීමට හැකි වුණේ ඔවුන් දිගටම එම සංවිධානය සමඟ සිටි නිසයි. අපට සිදු වුණේ සියලු සම්බන්ධකම් මුල සිටම යළි ආරම්භ කරන්නයි.

24) ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපට ණය දුන් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින්නේ. ඊට අමතරව සහාය ලබාගත හැකි අනෙක් එකම පාර්ශ්වය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණයි. ඉදිරි ගමන යාමට හැක්කේ ඔවුන් සමඟ ඇතිකරගන්නා පදනම මතයි. ඒ හැරෙන්නට අපට වෙනත් කිසිදු මාර්ගයක් නෑ. අප යන ගමන්මඟ විවේචනය කරන දේශපාලන පක්ෂවලින් මම ඉල්ලා සිටින්නේ වෙනත් විකල්ප මාර්ගයක් ඇත්නම් එය මේ සභාවට ඉදිරිපත් කරන ලෙසයි.

25) මේ වන විට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල අවසන් අදියරට එලැඹිලා. පසුගිය සැප්තැම්බරය වෙද්දි මූලික එකඟත්වයට එළැඹීමට අපට පුළුවන් වුණා. දැන් තියෙන්නේ ණය තිරසර කරලීමේ වැඩපිළිවෙළයි.

26) ඉන්දියාව අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර මූල්‍ය සහතිකය ලබා දී තිබෙනවා.

27) අයි.එම්.එෆ්. සංවිධානය සමඟ ඇතිකරගන්නා එකඟත්වය සඳහාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහාත් සිය උපරිම සහාය ලබාදෙන බව ඊයේ පැරිස් සමාජය නිවේදනය කළා. ඒ නිවේදනයත් සමඟ අපට පැරිස් සමාජයේ මූල්‍ය සහතිකය ලැබෙනවා.

28) ජාත්‍යන්තරය අප වෙත දක්වන සහයෝගයෙන් පිළිබිඹු වෙන්නේ අප යන මාර්ගය නිවැරදි බවයි. ජනතාව විඳින පීඩනය අඩුවීමෙන් සනාථ වෙන්නේ අප යන මේ මාර්ගය නිවැරදි බවයි.

29) මහ කන්නයේ අස්වනු වැඩි වෙන බවට පුරෝකථනය කර තිබෙනවා. අස්වනු මිළදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. රුපියල් බිලියන 20ක් වටිනා වී අස්වනු සහල් බවට පත් කොට, අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. හැම පවුලකටම මසකට සහල් කිලෝ 10 බැගින් අවස්ථා දෙකකදි නොමිලයේ ලබා දෙනවා.

30) අද ලංකාව ආර්ථික අතින් අසාධ්‍ය ලෙඩෙක්. වහාම කළ යුත්තේ ලෙඩේ හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි. ඒත් සමහරු කරන්නේ මෙතෙක් ප්‍රතිකාර කළ දොස්තරලාගේ වැරදි කියන එකයි. ඔවුන්ට දඬුවම් දීමට මුල් තැන දිය යුතු බවයි ඔවුන් කියන්නේ. නමුත් මම උත්සාහ ගන්නේ මුලින්ම ලෙඩා සනීප කර ගැනීමටයි.

31) දූෂණය මැඩලීමේ පනතක් ගෙන එනවා. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ‘සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය“ මේ පනතට ඇතුළත් කරන්න අපි පියවර ගන්නවා.

32) අයි.එම්.එෆ් එකඟත්වය ලැබීමෙන් අපට ආර්ථිකය යම් මට්ටමක ස්ථාවර පදනමකට ගෙන එන්න පුළුවන් වෙනවා. ඒත් ලෙඩේ නිට්ටාවටම සනීප කර ගන්න නම්, අපට තවත් ඉදිරි පියවර ගණනාවක් ගත යුතුව තිබෙනවා.

33) අයි.එම්.එෆ් සහතිකය ලැබීමත් සමඟ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ණය ආධාර ලබා ගැනීම සම්බන්ධ බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. එවිට ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වේවි. ඒ නිසා විදේශ විනිමය රටට ගලා ඒමේ ප්‍රවණතාවයක් ඇති වේවි. අපි ඒ ආධාර මුදල් නිසි කළමනාකරණයකින් යුතුව රටේ උන්නතිය වෙනුවෙන් භාවිතා කළ යුතුයි.

34) කාලයක් තිස්සේ පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ අප අතපසු කළා. පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර ජනතාව පිට පැටෙව්වා. ගිය අවුරුද්දේ ව්‍යාපාරික රාජ්‍ය ආයතනවල පාඩුව රුපියල් බිලියන 800කට ආසන්නයි. ඒ මුළු පාඩුවම ගෙවන්නේ ජනතාව. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඒ පාඩුව ජනතාව ගෙවනවා. හැබැයි බොහෝ දෙනෙක් මේ පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර දරන්නේ තමන් බව දන්නේ නැහැ.

35) අපි වහාම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. එවැනි පියවර ගත් තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් අද දවසින් දවස ඉදිරියට යනවා. නැති නම් අපට නැවත ආපස්සට යන්න වෙනවා.

36) රාජ්‍ය අංශයේ ඉඩම් සහ ගොඩනැඟිලි කිසිදු ඵලදායී කාර්යයකට යොදා නොගෙන නිස්කාරනේ නාස්ති වෙන තැන් බොහොමයි. ඒවා ඵලදායී කාර්යයන්ට යොදා ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා.
.
37) ඒවා ඵලදායී කාර්යයන්ට යොදා ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සතු කැළෑවට ගිය සරු ඉඩම් ගණනාවක් තියෙනවා. වගා නොකරන කුඹුරු අක්කර දහස් ගණනක් තියෙනවා. ඒ සියල්ල ඵලදායී ලෙස කෘෂිකර්ම කටයුතු සඳහා යෙදවීමට අප කටයුතු කරනවා.

38) ණය මත පදනම් වන ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ ඇගයීමේ ක්‍රියාවලියක් මත පමණයි. දේශපාලන හේතු මත රාජ්‍ය ආයෝජන මෙහෙයවීමේ පිළිවෙත නවතා දැමීම අත්‍යවශ්‍ය කාරණයක්.

39) බැංකු යළිත් ශක්තිමත් වෙමින් පවතිනවා.

40) නිෂ්පාදනය ඉහළ නැංවීම, භාණ්ඩ හා සේවා සැපයීම, කර්මාන්ත හා කෘෂි නවීකරණය ආදිය සඳහා උපරිම වශයෙන් තාක්ෂණය යොදා ගැනීමට අප අපේක්ෂා කරනවා.

41) වර්තමානයේ රටේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.15ක්. මෙය සියයට 15 දක්වා ඉහළ නංවා ගැනීම අපේ බලාපොරොත්තුවයි.

42) මතක තබා ගන්න. අද අප මේ මුහුණ දෙන්නේ ආර්ථික යුද්ධයකට. මේ යුද්ධය උතුරු නැගෙනහිර ගැටුමටත් වඩා තීරණාත්මක එකක්. උතුරු නැගෙනහිර ගැටුමේදී ජනවර්ග බෙදුණා. ඒත් මේ යුද්ධයේදී සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්ව සටන් කළ යුතු වෙනවා.

43) ප්‍රශ්න විසඳන්නේ නැතිව මගහැර ගියොත් මේ ආර්ථික යුද්ධයෙන් අප පරාජය වෙනවා. එහෙම වුණොත්, ඔය සමහර දේශපාලන පක්ෂ මවන සුරංගනා ලෝක අපට උරුම වෙන්නේ නැ. අප ආර්ථික යටත්විජිතයක් බවට පත් වෙනවා.

44) ආර්. සම්බන්දන් මැතිතුමාත්, මමත් පාර්ලිමේන්තුවට පත් වුණේ 1977 අවුරුද්දේ. අපි දෙදෙනාගේම පොදු සිහිනයක් තියෙනවා. ඒ, අප දෙදෙනා පාර්ලිමේන්තුව තුළ සිටියදීම ලංකාවේ ජනවාර්ගික ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීමයි.

45) උතුරු – නැගෙනහිර ගැටුම මුළු රටටම බලපෑවා. සම්පූර්ණ උතුරු පළාතත්, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ප්‍රදේශ ගණනාවක් අපමණ පීඩා වින්ඳා. මේ ප්‍රදේශවල සංවර්ධනය ගැන වැඩි බරක් තබා කටයුතු කිරීමට අප පියවර ගන්නවා. ඒ ප්‍රදේශ වෙනුවෙන් විශේෂ සැලසුම් ක්‍රියාවට නංවනවා.

46) යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක කඳවුරු ඇතුළුව රජය සතු ඉඩම් ප්‍රමාණය අක්කර 3300ක්. පලාලි කඳවුර වෙනුවෙන් පවරා ගෙන ඇති ඉඩම් අක්කර 100ක් මෑතකදී නිදහස් කළා. තවත් අක්කර ගණනාවක් ගැන තීරණයක් ගතයුතුව තිබෙනවා. ඒ ගැන යුද හමුදාව සහ අනෙකුත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වනවා.

47) තමන්ට හිමි ඉඩම් කට්ටි ගණනාවක් වනාන්තර ලෙස ගැසට් කර ඇති නිසා ඒ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විශාල අසාධාරණයක් වී තිබෙනවා. මොනරාගල සිට යාපනය දක්වාම ජනතාව මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මේ අසාධාරණය නිවැරදි කිරීමට පියවර ගන්නවා.

48) අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදය අප වඩාත් විධිමත් හා කඩිනම් කරනවා. එම යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරනවා.

49) ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිරගත කර සිටින පුද්ගලයන් පිළිබඳවත් අපේ අවධානය යොමු වී තියෙනවා. වසර ගණනාවක් ඔවුන් රඳවාගෙන ඉන්නවා. සහනදායී පිළිවෙතකට, ක්‍රමානුකූලව ඔවුන් නිදහස් කිරීමට අප පියවර ගන්නවා.

50) ජාතික ඉඩම් සභාවක් ස්ථාපිත කිරීමේ කෙටුම්පත සකස් කරනවා. ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කෙටුම්පත් කරනවා.

51) අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව අණපනත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

52) බලය පැවරීමේ ක්‍රියාවලිය විධිමත් හා ක්‍රමවත් කරලීම උදෙසා පහත සඳහන් කරන පනත් සඳහා සංශෝධන කෙටුම්පත් සකස් කරනවා.

53) පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර සම්බන්ධීකරණ කාර්යයන් විධිමත් කිරීම සඳහා නවීන ක්‍රමයේ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමවේදයක් .

54) පළාත් අනුව නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා නිර්ණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පොලිස් බලතල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු වෙන්නේ නෑ.

55) මානව හිමිකම් උල්ළංඝනය, ජාත්‍යන්තර මානව හිමිකම් නීති බරපතළ ලෙස කඩකිරීම් ආදි කරුණු පිළිබඳව සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශයන් ගැන අවධානය යොමු වෙනවා.

56) උතුර සංවර්ධනය සඳහා වෙනමම සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.

57) නැගෙනහිර පළාතේ ගංගා සහ ජල කළමනාකරණය කිරීම, වඩමාරච්චි වැව සහ කළපුව ප්‍රතිසංස්කරණය කිරීම, පානීය සහ කෘෂි කටයුතු සඳහා එමගින් ජලය ලබාදීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

58) පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඔස්සේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල විදුලිබල අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කරනවා.

59) සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි වැඩියෙන් අවස්ථා සලසා දෙනවා. ආයෝජන කලාප පිහිටුවනවා. කෘෂිකර්ම කටයුතු නවීකරණය සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පහසුකම් සලසා දෙනවා.

60) කන්කසන්තුරේ වරාය නවීකරණය කරනවා. පුළුල් කරනවා.

61) ත්‍රිකුණාමලය නවීන ජාත්‍යන්තර නගරයක් ලෙස සංවර්ධනය කරනවා.

62) ගැටුම්වලට මැදිවී ආර්ථික හා සමාජයීය පසුබෑම්වලට ලක්වූ නැගෙනහිර සහ උතුරු මැද පළාත් වෙනුවෙනුත් නවීන කෘෂිකාර්මික සැලසුමක් දියත් කරනවා.

63) කඳුකර දමිළ ජනතාව පිළිබඳවත් අපේ විශේෂ අවධානය යොමු කරනවා. වසර 200ක් පුරා ලාංකේය ආර්ථිකය පෝෂණය කිරීමට වෙහෙසෙන ඔවුන් සියයට සියයක්ම ලාංකේය ජනතාවගේම කොටස් බවට පත් කරගත යුතු වෙනවා.

64) විටින් විට, මුස්ලිම් ප්‍රජාව විවිධ ගැටලුවලට මුහුණ දෙන බව අප දන්නවා. ඒ පිළිබඳවත් අපේ පූර්ණ අවධානය යොමු වෙනවා.

65) කුල භේදය නිසා සමාජයේ කොන් වීමකට ලක් වී සිටින ප්‍රජාව සම්බන්ධයෙන් පූර්ණ සැලකිල්ල යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

66) ඒකීය රාජ්‍යයක් තුළ උපරිම ලෙස බලය බෙදන්න අප බලාපොරොත්තු වෙනවා. නමුත් රට බෙදීමට හෝ බෙදීමට තුඩු දෙන හෝ කිසිදු පියවරක් අප ගන්නේ නැහැ.

67) ජනතා අදහස් නියෝජන කාර්යයන් උදෙසා අප ජන සභා පනත නීතිගත කරනවා.

68) මෙතෙක් අප අනුගමනය කළ සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් වලංගු නැහැ. දේශපාලන වාසි තකා බොරුවෙන්, මිත්‍යාවෙන් සිදු කළ රැවටීම් අනාගතයට ගැළපෙන්නේ නැහැ.

69) සිස්‍ටම් චේන්ජ් ගැන කතා කරන සමහර දේශපාලන පක්ෂ තමන් හැර අනෙක් අය වෙනස් කරන්නයි යෝජනා කරන්නේ. මේකත් ‍සාම්ප්‍රදායික දේශපාලනයේම කොටසක්.

70) වෙනස්වීම පටන් ගන්න ඕනෑ තමන්ගෙන්මයි. අපි අපෙන්මයි.

71) තවමත් අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජනය පත් කර නැහැ. එය කඩිනමින් කරන ලෙස මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. අධීක්ෂණ කාරක සභාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සිත් වෙනස් කර ගැනීම මේ සභාවේ සිටින ඔබ සැමගේ වගකීමක්.

72) පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු ආණ්ඩු පාලනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කර ගැනීමට පියවර ගන්නවා.

73) පූර්ණ ස්වාධීනත්වය ඇති පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපිත කරනවා.

74) මන්ත්‍රී ආචාර ධර්ම සහ පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳ පනතක් කෙටුම්පත් කරනවා.

75) මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ තේරීම් කාරක සභාවක්. නව මැතිවරණ ක්‍රමය තුළ බුද්ධිමතුන්ට, තරුණ පරපුරට සහ කාන්තාවන්ට නිසි ඉඩකඩක්.

76) ලාංකේය දේශපාලන පක්ෂ සහ ඒවා ක්‍රියාත්මක විය යුතු ක්‍රමවේදය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම උදෙසා ජනාධිපති කොමිසමක්

77) අනාගතය වඩාත් යහපත් කර ගැනීම උදෙසා නව ආයතන, නව නීති රීති සහ නව ව්‍යාපෘති ගණනාවක් හඳුන්වාදීමට පියවර ගන්නවා.

78) ජනමාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා ගැනීම සඳහා ජනමාධ්‍ය ආයතනයක සිට විශ්වවිද්‍යාලයක් දක්වා වූ ආයතන පද්ධතියක්

79) ඉදිරි වසර 25 තුළ අප අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හා ක්‍රියාපිළිවෙත් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න . ඔබ ලංකාවේ සිටියත්, විදේශයක සිටියත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. රට යළි ගොඩනැංවීමේ සාමූහික ව්‍යායාමයට එක් වන්න.

80) සෑම පාර්ශ්වයක්ම එකට එක්විය යුතුයි. යම්කිසි කාලයක් තුළ එක් අරමුණක් ඇතිව එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ගිවිසගත යුතුයි. සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. රට වෙනුවෙන් අප හැමගේම ජීවන රටාවන් වෙනස් කරගත යුතුයි.

81) සමාජ සාධාරණ කොමිෂන් සභාව ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර 25 සඳහා අලුත් ප්‍රතිපත්ති රාමුව මේ සමාජ සම්මුතිය පදනම් කර ගනිමින් නිර්මාණය කරනවා.

82) අපේ මාතෘභූමිය ආර්ථික හෝ සමාජයීය යටත් විජිතයක් බවට පත් කරන්නට ඉඩ දෙන්න බෑ. රට අරාජික කරන්නට ඉඩ දෙන්න බෑ. රටට සැබෑ ලෙස ආදරය කරන කිසිවෙක් ඊට ඉඩ දෙන්නෙත් නැහැ. අපි සියලු දෙනා සිටගත යුත්තේ රටට ආදරය කරන පාර්ශ්වයේ මිස, රට අරාජික කරන පාර්ශ්වයේ නෙවෙයි.

83) අතීතයේ සිරකරුවන් නොවී අපි අනාගතය ගැන සිතමු. අපි එකට එක්වෙමු. පොදු එකඟත්වයක් ඇති කර ගනිමු. ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වලින් පෝෂිතව ඉදිරියට යමු. රට වැටී ඇති අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට උපරිම සහාය දෙමු. දේශපාලන අරමුණු ගැන සිතන්නට අවශ්‍ය නම්, රට මේ අර්බුදයෙන් මුදා ගත් පසු ඒ ගැන සිතමු.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-02-08

SendShareShare
Previous Post

බද්දට එරෙහි විරෝධතාවට එරෙහිව පොලිසිය උසාවි යයි! වාරණ නියෝග දෙන්න උසාවිය බෑ කියයි!

Next Post

ආණ්ඩුවේ බද්දට එරෙහිව වැඩවර්ජන ඇරඹේ! පොලිසිය ලෝටස් පාර වහයි!

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.