‘රජය යෝජනා කරන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් වුවද ආණ්ඩුව සැබවින්ම ක්‍රියාත්මක කරන්නේ “සර්වභක්ෂික” වැඩපිළිවෙලක් බවත් කුමන තනතුරු දුන්නත් පොදුජන අරගලය මර්දනය කරන ආණ්ඩුවට සම්බන්ධ වෙන්නෙ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සියලු වාද භේද අමතක කොට, මත වාද මොහොතකට පසෙකින් තබා මේ රාජ්‍ය ප්රචණ්ඩත්වය පරාජය කරන්න එකතුවෙමු යැයි සියලු බලවේගවලට ආරාධනා කළ විපක්ෂ නායකතුමා මහින්ද රාජපක්ෂ විසින් සිය සමුගැනීමේ උත්සවයේදී ආරම්භ කළ ත්‍රස්ත පන්නයේ මර්දනය, ක්‍රියාත්මක වන බවද පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ කිරීමේ පනත උපයෝගී කරගනිමින් ආණ්ඩුව මේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හෝ නැති කිරීමට කිසිවෙකුට අයිතියක් නැතැයි ද පැවසීය.
ආණ්ඩුව අතිශය දුර්ධාන්ත ලෙස මර්දනය සිය අවිය බවට පත් කොට ගෙන සිටින තත්ත්වයක් තුළ, “මර්දනයට එරෙහි ජන පෙළගැස්ම “අද(24) පැවැත්විණි.
ඒ, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, කලාකරුවන්, බහුජන සංවිධාන සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය.
එම අවස්ථාවට බ්‍රිතාන්‍ය, කැනඩා, ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා ඇතුළු තානාපති කාර්යාලවල නියෝජිතයන්ද පැමිණ සිටි අතර විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් ද ඊට එක්ව සිටියහ.