1971 අප්‍රේල් මස ආරම්භ වූ ලංකාවේ පළමු තරුණ කැරැල්ලට වසර 50ක් සපිරෙන එළැඹෙන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව ඇතුළේ මහා කැරැල්ලක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මැති – ඇමැතිවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් එළැඹෙන අප්‍රේල් මාසයේදී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටින බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපය පුරාම ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ රැසක නියෝජිතයන් සාකච්ඡා පවත්වා ඇති අතර, දැනටමත් එම යෝජනාවට සැලකිය යුතු පිරිසකගේ අනුමැතිය හිමිව ඇති බවද දැනගන්නට තිබේ.
මේ වන විට ආණ්ඩු පක්‍ෂයේ සිටින නියෝජිතයන් ගෙන ඇති මෙම තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන්ටද තොරතුරු වාර්තා වී ඇති බව පැවසේ.
එම සාකච්ඡාවන්ට සහභාගිව සිටි මැති – ඇමැතිවරු කිහිපදෙනෙක්ම ඒ පිළිබඳ තොරතුරු ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දීමට පියවර ගෙන තිබීම ඊට හේතුවී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව එළඹිය හැකි තත්ත්වයට මුහුණ දීම සඳහා ආණ්ඩුවේ ප්‍රධානීන්ද මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවත්, පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රිවරුන් හරහා එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවත් වාර්තා වේ.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන් ඉකුත් බ්‍රහස්පතින්දා (11දා) දිනයේදී පළමු වතාවට ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ‘අපේ ගම’ පරිශ්‍රයේදී එළිබැස්සේ එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසට බවද පැවසේ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලදී ආණ්ඩු පක්‍ෂයේ ස්වාධීන වීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් සිටින බව සඳහන් වුවද මේ වන විට එම ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී ඇති බව ගණන් බලා ඇති බව දැනගන්නට තිබේ.
ආණ්ඩුවේ පිරිසක් මේ ආකාරයට ස්වාධීන වීමට ගෙන ඇති තීන්දුවත් සමඟ විපක්‍ෂයේ කිහිප දෙනකු ආණ්ඩු පක්‍ෂයට එක්කර ගැනීම සම්බන්ධයෙන්ද මේ වන විට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.
විපක්‍ෂයේ සුළු ජාතික පක්‍ෂ නියෝජනය කරන මන්ත්‍රිවරුන් සමඟ මෙම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර, දැනටමත් ඊට එම මන්ත්‍රිවරුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවක්ද දැනගන්නට ඇත.
ඒ අනුව එළඹෙන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව ඇතුළේ බරපතළ දේශපාලන කැරැලි ගණනාවක්ම සිදුවන ලකුණු මේ වන විට පහළ කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ.










