ක්‍රිකට් ක්‍රීඩාව මුළුමනින්ම අමතක කර සිටි බොහෝ දෙනකුට නැවත වරක් ක්‍රිකට් පිළිබඳව ආදරයක් ඇති කරවමින් ඉන්දියාවේ පැවැති රෝඩ් සේෆ්ටී 2021 ක්‍රිකට් තරගාවලිය නිමාවට පත් විය. තරගාවලිය සංවිධානය කර තිබුණේ මාර්ග අනතුරුවලින් ආරක්ෂා වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහාය. නමුත් ක්‍රිකට්වලට ආදරය කරන හැම දෙනාම මේ තරගාවලිය හැඳින්වූයේ ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය ලෙසටය. එම නාමය එම තරගාවලියට කදිමට ගැළපෙන බව පැහැදිලි වූයේ තරගාවලිය අතරතුර ක්‍රීඩකයන් පෙන්වූ දක්ෂතා දෙස බැලීමේදීය.
මේ තරගාවලියට ක්‍රීඩා කළේ මීට වසර කිහිපයකට පෙර ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයන්ය. ඒ බොහෝ දෙනකු අතීතයේදී හැම දෙනාගේම ආදරය දිනා ගත් ක්‍රීඩකයන් විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එම තත්ත්වය බෙහෙවින් බලපෑවේ මෙරට ජනතාව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන තැනට පත් කරවූ ක්‍රීඩකයන් කිහිප දෙනකුම එම තරගාවලියට ක්‍රීඩා කිරීම මතය. ජාතික කණ්ඩායමේ දක්ෂතා හමුවේ කලකිරී සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් නැවත වරක් රූපවාහිනිය ඉදිරියේ ක්‍රිකට් තරග නැරඹීමට එක් රොක් වූයේ ඒ නිසාය. සැබවින්ම ලෙජන්ඩ්ස් තරගාවලිය මෙරට ක්‍රිකට් උන්මාදය නැවත ඇති කරවීමට සමත් විය.
සැත්කම් 4ක් කරලත් පරණ තාලෙට ගිය සනත්
ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු සුන් කරවමින් අවසන් මහා තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුවද, වසර ගණනාවකට පසු තරගාවලියක අවසන් මහා තරගයට පැමිණීමේ සතුට විඳ ගැනීමට එදා ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ට හැකි විය. ලෙජන්ඩ්ලාගේ පැමිණීම හරහා නැවත මතු වූ ශ්‍රී ලාංකික ක්‍රිකට් උද්දීපනය රැකගැනීමේ වගකීම දැන් ඇත්තේ ජාතික කණ්ඩායම අතේය. මේ අතර මේ තරගාවලිය අතරතුරදී කතාබහට ලක් වූ කරුණු කාරණා බොහෝය. මේ පසු විපරම ඒ පිළිබඳවය.
සනත් ජයසූරිය යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් යැයි පැවසුවහොත් කිසිවෙකු ඊට එරෙහි වන්නේ නැත. වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බොහෝ දෙනකු ඊට ඇබ්බැහි වූයේ ජයසූරිය නිසාය.
ජයසූරිය ක්‍රීඩා කරන කාලයේ තරුණ වයසේ සිටි අය දැන් මැදි වයසට පත් වී ඇත. මැදි වයසේ සිටි අය මහලු වියට පත්ව ඇත. එකල කුඩා දරුවන්ව සිටි අය දැන් තරුණ වියේය. නැවත වරක් ජයසූරිය ලෙජන්ඩ්ස් තරගාවලියට ක්‍රීඩා කළේ ඒ සියලු දෙනාගේ මතක ආවර්ජනය කරමිනි.
වසර ගණනාවකට පසුව වුවද ජයසූරිය ක්‍රීඩා කළේ 90 දශකයේ මැද භාගයේදී ක්‍රීඩා කළ ආකාරයටමය. හිස් ආවරණ, පා ආවරණ සැකසූවේ ඒ විදියටමය. ලෙජන්ඩ්ස් තරගාවලිය හරහා බොහෝ දෙනකු නැවත අතීතයට ගමන් කළේ ඒ හේතුව මතය.
තරගාවලිය ආරම්භයේදීම ෆේස්බුක් සටහනක් දැමූ ජයසූරිය සටහන් කර තිබුණේ “අපි ක්‍රීඩා කරන්නේ තරග ජයග්‍රහණය සඳහාය. ජයග්‍රහණය ලබා ගැනීමට උත්සාහ කිරීම සඳහා අපි තරග කරන්නේ නැත.” යනුවෙනි. ඒ කිවූ ලෙසම තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණීමට ජයසූරියලාට හැකි වූයේ වර්තමාන ක්‍රීඩකයන් සියලු දෙනාට ආදර්ශයක්ද ලබා දෙමිනි.
මේ අතර ජයසූරිය මෙවර තරගාවලියට ක්‍රීඩා කර තිබුණේ ශල්‍යකර්ම කිහිපයකින් අනතුරුව බවද පසුව අනාවරණය විය. ඒ හරහා සිදු වූයේ ජයසූරිය පිළිබඳ ජනතා ආදරය තව තවත් වැඩි වීමය. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආබාධ දකින ජනතාව ශල්‍යකර්ම හතරකින් අනතුරව ජයසූරිය ක්‍රීඩා කළ ආකාරය නැවත නැවත අගය කරන්නට විය.
තමා ආබාධ තත්ත්වයක පසුවන බව තරගාවලිය ආරම්භයේදීම ජයසූරිය තමන්ට දැනුම් දුන් බව තරගාවලිය අවසානයේදී කණ්ඩායම් නායක තිලකරත්න ඩිල්ශාන් මාධ්‍යයට පවසා තිබිණි. එහිදී ජයසූරිය පවසා ඇත්තේ ආබාධ තත්ත්වය මත තරග කිහිපයකට හෝ ක්‍රීඩා කිරීමට තමන් කටයුතු කරන බවය. නමුත් අවසානයේ ජයසූරිය තරගාවලියේ අවසන් මහා තරගය තෙක්ම ක්‍රීඩා කළේය. ජයසූරිය යනු ක්‍රිකට් ලෝකයේ පුරාවෘත්තයක් යැයි මුලදී සඳහන් කළේ මේ හේතු කාරණා සියල්ල මතය.
මහේල – සංගා නොගියේ ඇයි
මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යනු මෙරටින් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයන් දෙදෙනෙකි. ඒ හේතුව නිසාම අදටත් ඔවුන් දෙදෙනාට එක සේ ආදරය කරන ක්‍රිකට් රසිකයන් බොහෝය. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා විශිෂ්ටයන් සහභාගි වූ මෙම තරගාවලියට ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ගේ කනස්සල්ලට හේතු වී තිබිණි.
ඔවුන් දෙදෙනා තරගාවලියට ක්‍රීඩා නොකළේ කුමන හේතුවක් මතදැයි අනාවරණය නොවුණු නමුත් සංගා සහ මහේලත් මේ තරගාවලියට එක් වූයේ නම් ලෙජන්ඩ්ස් තරගාවලිය මීටත් වඩා ආදරණීය එකක් වන්නට තිබුණු බව හැම දෙනාගේම අදහස වී ඇත.
“ඩිල්ශාන් දැන් ඇති ගෙදර පලයන්” මේ මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේදී පැවැති තරගයක් අතරතුර ඇසුණු වදන් කිහිපයකි. ඒ තිලකරත්න ඩිල්ශාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට ආසන්නව සිටි කාලය වූ අතර තරග කිහිපයකදී සාර්ථකත්වයට පත් වීමටද ඔහුට හැකි වී නොතිබිණි.
ක්‍රීඩා කරන කාලයේදී ගෙදර පලයන් යැයි කිවූවද ඩිල්ශාන්ලා හිටියා නම් හොඳයි කියා අපේ රසිකයන්ට සිතෙන්නට වූයේ එම ක්‍රීඩකයන්ගේ සමුගැනීමෙන් පසුවය. ඇතැම් විට ක්‍රීඩාංගණයේදී එලෙස ප්‍රකාශ කළ තැනැත්තාට පවා එය කිහිප වරක් සිතෙන්නට ඇතුවාට සැක නැත.
ඩිල්ෂාන් ගෙදර පලයන්…
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරමින් ලෙජන්ඩ්ස් තරගාවලියට ක්‍රීඩා කළ ඩිල්ශාන් මෙවර තරගාවලිය නිමා කළේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමින් තරගාවලියේ වීරයා සම්මානයද හිමි කර ගනිමිනි. මෙවර තරගාවලිය තුළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩකයා සහ වැඩිම කඩුලු ගණනක් දවාගත් ක්‍රීඩකයා බවටද පත් වීමට තිලකරත්න ඩිල්ශාන් සමත් වූයේ මීට වසර කිහිපයකට පෙර පෙන් වූ ක්‍රීඩාශීලීත්වය නැවත වරක් පෙන්නුම් කරමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කිරුළු නොපලන් රජු ලෙස දිල්ශාන්ව හැඳින්වීමට සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනකු ඉන් පසුව කටයුතු කරන ආකාරයද දැක ගත හැකි විය. මේ අතර අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි විගසම ඩිල්ශාන් රෝහල් ගත කළ බවද වාර්තා වූ අතර ඔහු තරගාවලියට ක්‍රීඩා කර ඇත්තේ එම රෝගාබාධය සමඟින් බවද වාර්තා විය. ඒ හරහා ඩිල්ශාන් පිළිබඳ ප්‍රේක්ෂක ආදරය තව තවත් වැඩි වෙමින් ඇත. පරීක්ෂණ අවසානයේ ඕස්ටේ්‍රලියාව බලා ගිය ඩිල්ශාන් මේ වන විට එහි ප්‍රතිකාර ගනිමින් ඇත. ඒ කාලයේ ගෙදර පලයන් යැයි කිවූවද දැන් බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ ඩිල්ශාන්ලාට නැවත ඇවිත් ක්‍රීඩා කරන ලෙසටය.
ජයසිංහට බෝලෙන් ගහපු කව්ද මේ ගෝනි
චින්තක ජයසිංහ යනු ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේදී එතරම් කතාබහට ලක් වූ ක්‍රීඩකයෙක් නොවූ බව සැබෑවය. නමුත් මීට සති කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා වූ පුවතක් හේතුවෙන් ඔහු පිළිබඳ උණුසුම් කතාබහක් නිර්මාණය විය. ඒ චින්තක ජයසිංහ සහ සුරාජ් රන්දිව් ඕස්ටේ්‍රලියාවේ බස් රථ රියැදුරන් ලෙස සේවය කරන බවට එරට මාධ්‍ය ආයතනයක් වාර්තා කිරීමෙන් පසුවය.
ඒ උණුසුමේම පැවැති ලෙජන්ඩ්ස් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ජයසිංහට හිමිවීමත් එහිදී තරග කිහිපයක විශිෂ්ට ආකාරයෙන් ක්‍රීඩා කිරීමට ඔහුට හැකි වීමත් මත රටේ තරුවක් බවට පත් වීමේ අවස්ථාව ඔහුට උදා වී ඇත.
එමෙන්ම මේ තරගාවලිය සංවිධානය කර තිබූ අරමුණ සම්බන්ධයෙන් සැලකීමේදීද චින්තක ජයසිංහ කැපී පෙනුණු ක්‍රීඩකයෙකු විය. ඒ ඔහු පසුගිය වසරේදී ඕසටේ්‍රලියාවේදී දරුණු රිය අනතුරකට මුහුණ දී සිටීම මතය. එහිදී තමාගේ ආරක්ෂාව දෙවැනි තැනට දමා බස් රථයේ මගීන්ගේ ආරක්ෂාව පළමු තැනට දමා කටයුතු කළ චින්තකට ඒ හේතුවෙන් දරුණු තුවාල සිදු විය. අංශභාග තත්ත්වයට පත්වීමේ අවදානමක් පවා මතුව තිබූ චින්තක මාස ගණනාවක් රෝහල් ගතව සිටීමෙන් පසු නැවත ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව තරගාවලියේ සංවිධායකයින් පවා ඉතාම ඉහළින් අගය කරන ආකාරය දැක ගත හැකි විය.
මේ අතර තරගාවලියේ අවසන් මහා තරගයේදී චින්තක ජයසිංහට පන්දුවෙන් දමා ගැසූ මන්ප්‍රිට් ගෝනි කවුදැයි යන්න කෙරෙහිද සමාජ කතිකාවතක් මේ වන විට නිර්මාණය වී ඇත. තරගයේ 17 වැනි පන්දුවාරයේදී එලෙස ගෝනි එල්ල කළ පන්දු පහර හේතුවෙන් චින්තක දැඩි වේදනාවකට ලක් වූ ආකාරයද දැක ගත හැකි විය. කෙසේ නමුත් එය ගෝනි විසින් හිතා මතා සිදු කළ දෙයක් නොවන බව පැහැදිලිව දර්ශනය වූ අතර වහාම චින්තක අසලට ගොස් සමාව ගැනීමටද ගෝනි කටයුතු කළේය.
කලක් ඉන්දියාව නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන්නෙකු වූ ගෝනි පසුගියදා පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග කිහිපයකටද ක්‍රීඩා කළේය.
මෙල් නොදත් කුලේ: මැච් එකේදි පෙන්නයි බලේ
නුවන් කුලසේකර යනු කවදත් අපේ රටේ ක්‍රිකට් රසිකයන් ආදයර කළ ක්‍රීඩකයෙකි. කුලසේකර සතු නිහතමානීත්වයද ඒ ආදරය සඳහා බෙහෙවින් හේතු පාදක විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසර ගණනාවක් පුරා දක්ෂතා දැක්වුවද, කුලසේකරට ක්‍රිකට් ක්‍රීඩාවේදී හිමි වූයේ වේදනාත්මක සමුගැනීමකි. ජාත්‍යන්තරයේ විශිෂ්ට ක්‍රීඩකයන්ට හිමිවන සමුගැනීමේ තරගයක් පවා කුලසේකරට ලබා දීමට පාලකයෝ කටයුතු නොකිරීම හැම දෙනාගේම කනගාටුවට කරුණක් විය.
ඒ පිළිබඳව එකළ ජාතික තේරීම් කමිටු සභාපතිවරයා වූ අසන්තද මෙල් මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමට ඔහු පිළිතුරු දුන්නේ කුලසේකර කියන්නේ කවුදැයි පෙරළා ප්‍රශ්න කරමිනි. මෙල් මහතාගේ එම ප්‍රකාශයට එකල සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි විවේචන එල්ල විය.
මෙවර ලෙජන්ඩ්ස් තරගාවලිය අතරතුරදී බොහෝ දෙනකුට අසන්තද මෙල් මහතාගේ ප්‍රකාශය නැවත වරක් සිහිපත් වූයේ තරගාවලිය පුරා කුලසේකර දැක්වූ දක්ෂතා හේතුවෙනි. තරගාවලිය පුරාවට විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කුලසේකර එහිදී දවා ගත් කඩුලු ගණන 07කි. ඒ තරගාවලියේ හොඳම පන්දු යැවීම වූ ලකුණු 25කට කඩුලු 05ක් දවා ගැනීමේ දක්ෂතාවයද සමඟිනි.
මීට වසර කිහිපයකට පෙර මෙන්ම කුලසේකර දැක්වූ දක්ෂතාවය දුටු බොහෝ දෙනාගේ අදහස වූයේ ඔහුට නියමිත කාලයට පෙර ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදු වූ බවය. තේරීම් කමිටුවේ වැරැදි හේතුවෙන් තවත් වසර කිහිපයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව කුලසේකරට අහිමි වූ බව බොහෝ දෙනාගේ මතය විය.
හිටපු තේරීම් කමිටු සභාපතිවරයාටද එම චෝදනාව එල්ල වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් බොහෝ දෙනකු ප්‍රකාශ කර තිබුණේ නුවන් කුලසේකර යනු කවුදැයි අසන්තද මෙල් දැන්වත් දැන ගනු ඇති බවය.
චන්දන පොන්නම්පෙරුම










