සුබවාදී රටක් ගොඩනැගීම වෙනුවෙන් එකට එක්වී වැඩ කිරීම උදෙසා තිබූ බලාපොරොත්තුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින්ම නැති කරගත් බවත් එහෙත්, අවස්ථාවාදී දේශපාලනය තමන් ළඟ නැති බවත් ආණ්ඩුවට එක් නොවී, රට ගොඩනැගීම වෙනුවෙන් විපක්ෂයේ සිට දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස්ව අරගල කළ පුරවැසි අරගලකරුවන්ට එරෙහිව ආණ්ඩුව දැන් අමුතු කතා කියන බවත්, ඇත්ත වශයෙන්ම ප්‍රචණ්ඩත්වය ආරම්භ වූණේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමුගැනීමේ “අරලියගහ මන්දිර මෙහෙයුමේ දී බවත්” විපක්ෂ නායකතුමා පැවසීය.
ප්‍රචණ්ඩත්වයටත්, ගිනි තැබීම්වලටත් තමන් එක හෙළා විරුද්ධ බව පැවසූ විපක්ෂ නායකතුමා නව වෙනිදාත් දවස පුරාම සිදු වුයේ ත්‍රස්තවාදය යැයිද පැවසීය.
අවස්ථාවාදී දේශපාලන ගෙම්බන්ට ඒකාන්ත වශයෙන්ම ජනතා අධිකරණයේ දී වන්දි ගෙවන්නට සිදුවන බව පැවසූ විපක්ෂ නායකතුමා එයින් ගැලවෙන්නට කිසිවකුට නොහැකි බවද පැවසීය.
අලුත් ගමනක් යන්නට ජනාධිපතිවරයා ආරාධනා කළ විට, ඒ පිළිබඳව වඩාත් සුබදායකව කල්පනා කරද්දී එදා මැදියම් රාත්‍රියේ ගෝල්පේස් අරගලයේ අරගලකරුවන්ට බියගුළු ප්‍රහාරයක් එල්ල කරමින් ආණ්ඩුවේ වැඩ කරන රටාව රටට හෙලිදරව් කළ බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
එය සාහසික ඔලමොට්ටලකමක් බවත් එයින් සිදුවූ විනාශය ශිෂ්ට සම්පන්න කිසිවකුට අනුමත කළ නොහැකි බවද පැවසීය.