ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද පත්වීම් සම්බන්ධයෙන් බලපෑම් නොකරන්නැයි කරන ලද ඉල්ලීමට එකඟ නොවන බවත්, අද වන විට ජනාධිපතිතුමන්ගේ ඇතැම් පත්කිරීම් සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් ඇති වී තිබෙන බවත් ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වසන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරයාගේ ජනවරම නිර්මාණය කිරීමට තම සංවිධානය විශාල වශයෙන් මහන්සි වූ බවත් ඒ නිසා අද ඒ ජනතාවගෙන් බැනුම් අහන්නට වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
අද තමන් ඇතුළු සංවිධාන සාමජිකයන්ට බස් එකේ කෝච්චියේ යන්න බැරි තත්ත්වයක් උදා වී ඇති බවත්, මළ ගෙදරක පවා යන්න බැරි තත්ත්වයක් උදා වී තිබෙන බවත්, ජාතික බලවේග නියෝජනය කරන ජනතාව මෙම පත්කිරීම් ගැන ප්‍රශ්න කරන බවත් ඔහු කියා සිටියේය.
එනිසා ජනාධිපතිතුමන් සිදුකරන සියලුම පත්කිරීම් හරි යයි කියමින් කට වසාගෙන ඉන්න පුළුවන් කමක් නැතැයි ද ඔහු පැවසීය.
ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත් කිරීම සම්බන්ධයෙන් ඔහු එහිදී දැඩි ලෙස විරෝධය එල්ල කළේය.








