ගුරුවරියන්ටත් සුදුසු පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙන ලෙස පසුගිය දා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ගරුතර මහාසංඝරත්නය මාධ්‍ය වෙත පළ කරන ලද අදහස් දැක්වීම් කිහිපයකි.
නුගේගොඩ නාලාන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන්
නුගේගොඩ නාලාන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පෙන්වා දුන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 2022.09.27 දින නිකුත් කළ චක්‍රලේඛනය කිසි සේත් ම ගුරුවරුන්ට අදාළ නොවන බවත් මෙරට චිරකාලීන බෞද්ධ සංස්කෘතික උරුමය තුළ භික්ෂුන් වහන්සේ, හමුදා නිලධාරීන්, පාසල් ගුරුවරුන්, සිසුසිසුවියන් ආදී සෑම ක්ෂේත්රයක ම පිරිස්වලට ස්වකීය අනන්‍යතාව විදහාපාන නිල ඇඳුමක් පවතින බවත්, විවිධ පාර්ශ්වවල අභිමතය පරිදි එය වෙනස් කළ නොහැකි බවත් ය.
බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ පවා කාන්තා ඇඳුම් කාන්තාවන්ටත් පිරිමි ඇදුම් පිරිමින්ටත් මාරු නොකර භාවිත කළ යුතු බව පැහැදිලි ව කියා ඇති බවත් මේ සියලු ඇඳුම්වලින් පෙන්වා දී ඇති මෙරටට ආවේණික ඇඳුම් පැළදුම්, සිරිත්විරිත් නොතකා හැරීම ඉතා ව්‍යසනකාරී විය හැකි බවත් උන් වහන්සේ අවධාරණය කළ අතර අධ්‍යාපන අමාත්‍යතුමන් හා ලේකම්තුමාගේ අවධානය ද මේ කෙරෙහි යොමු කළහ.
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමියන්
ඇහැට පෙනෙන දේවල් වේගයෙන් ආකර්ෂණය කරගැනීම වගේ ම තමන්ට හමු වන ආදර්ශවත් චරිත අනුගමනයට පෙළඹීම දරුවන්ගේ ස්වභාවය බැවින්, පාසල් පද්ධතිය තුළ දරුවාට සමීපතම චරිතය වන පන්තිභාර ගුරුවරයා හෝ ගුරුවරිය අනුගමනයට දරුවන් නිරායාසයෙන් ම යොමු වන නිසා මාර්ගෝපදේශකයන් බඳු ගුරුවරුන් ඉතා ප්‍රවේසම් සහගත හැසිරීමක් ගුරු භූමිකාව තුළ ප්‍රදර්ශනය කළ යුතු බව කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමියෝ ප්‍රකාශ කළහ. ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා ගුරුවරියන්ට පහසු සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීමට එකඟ වුවහොත් විවිධ විලාසිතාවන්ගෙන් සැරසි පාසල් පැමිණෙන ගුරුවර ගුරුවරියන් වෙතින් දරුවන්ට සිය ආදර්ශවත් ගුරු චරිතය දැකිය නොහැකි වන බවත්, විවිධ දෙස් විදෙස් බලපෑම් මත ගෙනෙනු ලබන මෙවැනි අවිචාරවත් අමනෝඥ තීරණ පිටු දැකිය යුතු බවත් මෙය සිංහල බෞද්ධ රටක් බව ස්ටාලින් මහතා දැනගතයුතු බවත් ඒ හිමියෝ තරයේ ප්‍රකාශ කළහ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අග්ගමහා පණ්ඩිත සාහිත්‍යසූරී කොළඹ සබරගමු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමි
ගුරු සේවය යනු වෘත්තීය මට්ටමෙන් එහා ගිය සුවිශේෂී වූ සේවාවක් බවත්, බුදු දහමින් පෝෂිත දීර්ඝ ඉතිහාසයක් හිමි මෙරට සංස්කෘතිය තුළ ගුරුවරුන් දෙවිවරුන් ලෙස බුහුමනට ලක්වන බවත්, තමන්ට රිසි ඇඳුමක් අඳින ලෙස භික්ෂූන් වහන්සේලාට පැවසිය නොහැකි සේ ගුරුවරුන්ට ද තමන් රිසි ඇඳුමක් ඇඳ පාසල් පැමිණෙන ලෙස පැවසිය නොහැකි බවත් සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අග්ගමහා පණ්ඩිත සාහිත්‍යසූරී කොළඹ සබරගමු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමියෝ පැවසූහ. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ හිමියන් ප්‍රකාශ කළේ පක්ෂග්රාහි අවස්ථාවාදී වෘත්තීය සංගම් අද මේ දෙවිවරුන් බඳු ගුරුවරුන් පාරවල් පුරා ඇවිද්දවමින් රස්තියාදු කරවන බවයි.










